Saturday, 08 November 2025

සුනාමි පෙරහුරු වැඩසටහන සම්බන්ධව අනියත බියක් ඇති කර නොගන්න - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්

Posted On Tuesday, 04 November 2025 15:15

සුනාමි පෙරහුරු වැඩසටහන සම්බන්ධව අනියත බියක් ඇති කර නොගන්න - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්

 

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනයට සමගාමීව ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය (IOWave ) හෙට පෙරවරු 8.30 දිස්ත්‍රික්ක හතරක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
මෙම වැඩසටහන පෙරහුරු වැඩසටහනක් පමණක් බවත් ජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත් ඒ මහතා විශේෂයෙන් එහිදී අවධාරණය කළේය.
ඒ අනුව මඩකලපුව , ගාල්ල, යාපනය සහ කළුතර දිස්ත්‍රික්කයේ තෝරාගත් ග්‍රාම නිලධාරී වසම් 5කදී මෙම පෙරහුරු වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර එදිනට සැබෑ සුනාමි තත්වයක් ඇති වුවහොත් මෙම වැඩසටහන වහාම නතර කර ඒ පිළිබඳව ජනතාව කඩිනමින් දැනුවත් කිරීමට අවශ්‍ය නිල ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ සහ ප්‍රතිචාර යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කර ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එසේම යුනෙස්කෝ නිල මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් පැවැත්වෙන මෙම පෙරහුරු වැඩසටහන අධීක්ෂණය සඳහා අන්තර්ජාතික නිරීක්ෂකයන් දෙදෙනෙකු සහභාගී වන බව සඳහන් කළ ඒ මහතා සුනාමි ව්‍යසනයට සූදානම් රටක් ලෙස නම් කිරීම ශ්‍රී ලංකාව ලබන ජයග්‍රහණයක් බවත් හෙතෙම සඳහන් කළේය.
ඉන්දියානු සාගර කලාපයේ රටවල් 28 ක් හෙට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව සඳහන් කළ ඒ මහතා ශ්‍රී ලංකාව සුමාත්‍රා කලාපයට බලපාන සුනාමි තත්වයන්ට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම වැඩසටහනේදී පෙර පුහුණුවීම් සිදු කරන බවද පෙන්වා දුන්නේය.
සුනාමි පෙරහුරුව පැවැත්වෙන ග්‍රාමනිලධාරී වසම්වල ජනතාවට මින් පෙර ඒ පිළීබඳව දැනුවත් කිරීම් සිදු කර ඇති බව සඳහන් කළ ඒ මහතා වැඩසටහන පැවැත්වෙන කාලය තුළ මාර්ග වසා තැබීමක් සිදු නොකෙරන අතර අනවශ්‍ය මාර්ග තදබදයක් ඇති වීම වැළැක්වීමට පොලීසිය කටයුතු කරන බවද සඳහන් කළේය.
ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ සහ සන්නිවේදන පද්ධති පරීක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම , සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි වලංගු කිරීම සහ ප්‍රජාව සහ පළමු ප්‍රතිචාර දක්වන්නන් අතර සූදානම වැඩිදියුණු කිරීම මෙම පෙරහුරු වැඩසටහනේ අරමුණ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.