Saturday, 08 November 2025

වනාන්තර පද්ධතිවලට සිදුවන හානි සම්බන්ධයෙන් දැනුම් දීමට "වන සුරැකුම් ඒකාබද්ධ ඒකකය" හෙට විවෘත කෙරේ

Posted On Sunday, 02 November 2025 14:18

වනාන්තර පද්ධතිවලට සිදුවන හානි සම්බන්ධයෙන් දැනුම් දීමට "වන සුරැකුම් ඒකාබද්ධ ඒකකය" හෙට විවෘත කෙරේ

 

ශ්‍රි ලංකාවේ වනාන්තර පද්ධතිවලට සිදුවන හානි සම්බන්ධයෙන් දැනුම්දීමට "වන සුරැකුම්" නමින් ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයක් හෙට (03)විවෘත කෙරෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා පවසයි .

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

1955 යන ක්ෂණික දුරකතන අංකය ඔස්සේ වනාන්තර පද්ධතියට සිදුවන හානි සම්බන්ධයෙන් වන සුරැකුම් මෙහෙයුම් ඒකකයට දැනුම් දිය හැක. මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.
වනාන්තර ගිනි තැබීම්, අනවසර එළි කිරීම්, අලි ඇතුන් ඇතුළු වන ජීවීන්ට සිදුකරන අපරාධ සහ වනාන්තර පද්ධතිවලට සිදුවන ඕනෑම හානියක් සම්බන්ධයෙන් මෙම කෙටි දුරකතන අංකය ඔස්සේ මෙම මෙහෙයුම් මාධ්‍යස්ථානයට දැනුම් දිය හැක.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා , පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා , ආරක්ෂක ලේකම් සහ බුද්ධි අංශ ප්‍රධානීන් සම්බන්ධ වෙමින් හෙට කොළඹ පරිසර අමාත්‍යාංශයේ, වන සංරක්ෂණ අංශයේදී මෙම මධ්‍යස්ථානය විවෘත කෙරේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව , වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ,පොලිස් විශේෂ කාර්‍ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයින් සම්බන්ධ කරගනිමින් මෙම ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පැවසුවේය.