ජනාධිපතිතුමාගේ අය වැය යෝජනා ප්‍රකාරව සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ තිරසර සැළසුම් කරණයට අනුව භාණ්ඩ ප්‍රවාහන සේවාව කාර්යක්‍ෂම කිරීමේ අරමුණින් ස්ථාපිත කෙරෙන භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථාන ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත්කරමින් බස්නාහිර පළාතේ ගම්පහ, වේයන්ගොඩ බහුවිධ භාණ්ඩ ප්‍රවාහන හා ගබඩාකරණ මධ්‍යස්ථානය පිහිටුවීමට යොදාගැනීමට නියමිත භූමි ප්‍රදේශය නිරීක්‍ෂණය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා ඊයේ (2025.10.28) සහභාගි විය.
මෙරට ආර්ථිකයේ ආනයන අපනයන ක්‍රියාවලිය පුනරුද යුගයට යාවත්කාලීන කරමින් ප්‍රවාහන ක්‍ෂේත්‍රය විධිමත් සහ ශක්තිමත් කිරීමට රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික වැඩසටහනේ එක් අදියරක් ලෙස මෙම භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම සිදු කෙරේ.
ආහාර දෙපාර්තමේන්තුව සතු වේයන්ගොඩ පිහිටි අක්කර පනහක පමණ වන දැනට ඌන උපයෝජනයක්ව පවතින, අතහැර දමා ඇති භූමි ප්‍රදේශය සංවර්ධනය කර මෙම භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානය ඉදිකිරීමට සැළසුම් කර ඇත.
මෙහි දැනට පවතින ආර්ථික මධ්‍යස්ථානයට, සති පොළට, හමුදා කඳවුරට සහ ඖෂධ ගබඩාවට නව භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීමත් සමග පහසුකම් රැසක් සැලසේ.
මෙම නිරීක්‍ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා : ‘ජනාධිපතිතුමා අය වැය යෝජනාවෙන් ඉදිරිපත් කළ ආකාරයට මෙරට පොදු ප්‍රවාහන සේවාව, භාණ්ඩ ප්‍රවාහන සේවාව විධිමත් කරන්න රජය පහසුකම් සකස්කර තිබෙනවා. එම වැඩපිළිවෙල යටතේ කොළඹ වරායට ආසන්න වේයන්ගොඩ ප්‍රදේශයේ මෙම නව බහුවිධ භාණ්ඩ ප්‍රවාහන හා ගබඩාකරණ මධ්‍යස්ථානය ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. ඒ සඳහා පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර එම වාර්තාව අනුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නවා. මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වෙළඳ අමාත්‍යංශය ඇතුලු ආයතනවල පූර්ණ දායකත්වය මේ සඳහා ලබා ගන්නවා. මෙම ස්ථානයට 1990 වසර වන තෙක් දුම්රිය සේවාව ක්‍රියාත්මක වී තිබෙනවා. නමුත් පසුකාලීනව එය නතරවීම අපරාධයක්. වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ සිට දුම්රිය මාර්ගය දීර්ඝකර භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න සැළසුම් කර තිබෙනවා.
රජයේ මූලික කළමනාකරණ ප්‍රතිපත්තිය යටතේ ප්‍රවාහන හා ගබඩාකරණය විධිමත්ව සිදුකර ගැනීමට මෙම ව්‍යාපාතිය මගින් හැකියාව ලැබෙනවා. මේ සඳහා ජනතාවගේ ඉඩම් අහිමි වෙන්නේ නැහැ. ජනතාව ඉවත් කිරීමක් සිදුවන්නේත් නැහැ. ප්‍රවාහනයේදී හා ගඩඩාකරණයේදී ඇතිවන ගැටලුවලට විසඳුමක් මෙම ව්‍යාපෘතිය අවසන් වීමත් සමග ලැබෙනවා.’
මෙම අවස්ථාවට ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර්, දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) අවන්ති සේනාරත්න, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ආහාර දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
