කොළඹ කිරුළපන ශ්‍රී පුෂ්පාරාමය වාර්ෂිකව සංවිධානය කරන, මිහිඳු මහා පෙරහැර එළඹෙන 06 වෙනිදා පැවැත් වීමට සියලු කටයුතු සූදානම් බව , ශ්‍රී පුෂ්පාරම විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය දිවිතුරේ සමන්ත හිමි පැවසූහ.
කොළඹ දිස්ත්‍රික්කයේ පැවැත්වෙන එකම මිහිඳු පෙරහැර මෙම මිහිඳු පෙරහැර බවත්, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුලු රාජ්‍ය ආයතනවල සහාය මෙම පෙරහැරට ලැබෙන බවද ස්වාමින් වහන්සේ පෙන්වා දුන්හ.
මෙහි නිර්මාතෘව වැඩසිටි බෙන්තර ඇල්පිටිය දෙපළාතේ ප්‍රධාන සංඝනායක විනයාචාර්ය ශාස්ත්‍රපති විශාරද පණ්ඩිත දිවිතුරේ සුගතවංශ නායක ස්වාමීන් වහන්සේ එම විහාරස්ථානය ආරම්භ කරන ලද්දේ 1955 දී ය.
එවකට කුඩා විහාරස්ථානයක් වූවත් දිවිතුරේ සුගතවංශ නායක ස්වාමීන් වහන්සේ ආරම්භ කරන ලද ශාසනික වැඩපිළිවෙළේ දී ප්‍රධාන තැනක් මිහිඳු පෙරහර වෙත යොමු කරන ලදී. කාලයාගේ ඇවෑමෙන් උන්වහන්සේ අපවත් වූයෙන් පසුව ශ්‍රී පුෂ්පාරාමයේ නායක ස්වාමීන් වහන්සේගේ පදවියට පත් වූයේ ‘ඇල්කඩුවේ නාගිත ස්වාමීන් වහන්සේ’ ය.
අතීතයේ සිට විහාරස්ථානය මගින් සිදු කළ සමාජ සත්කාරයන් ඇල්කඩුවේ නාගිත ලොකු හාමුදුරුවන් ඉතා සංවිධානාත්මකව ඉටු කරමින් කිරුළපන ග්‍රාමයේ දුවා දරුවන් වෙනුවෙන් පෙර පාසල් ආරම්භ කරමින්, විහාරස්ථානය මඟින් සිදුවිය යුතු යුතුකම් කිරුළපන ගම වෙනුවෙන් ඉටුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගුරුහාමුදුරුවන්ගේ මඟ යමින් ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘මිහිඳු මහා පෙරහර’ විශාල පෙරහැරක් බවට පත් වී ඇත.
ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය මඟින් මිහිඳු පෙරහර සංවිධානය කරමින් වීථි සංචාරය කරන 31 වන වසර මෙයයි.