Wednesday, 16 July 2025

මාර්ග ආරක්ෂාව සහ රක්ෂණය වෙනුවෙන් පාසල් සිසුන් දැනුවත් කෙරේ

Posted On Monday, 23 June 2025 09:26

මාර්ග ආරක්ෂාව සහ රක්ෂණය වෙනුවෙන් පාසල් සිසුන් දැනුවත් කෙරේ

 

මාර්ග ආරක්ෂාව සහ රක්ෂණය පිළිබඳව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සංවිධානය කරන පළමු වැඩසටහන මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පාසැල් 20ක දරුවන් 1,300ක් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම මස 26 වැනි දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පි.සී.සුගීෂ්වර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
වර්තමාන දත්තවලට අනුව දිනකට පුද්ගලයන් 7 දෙනෙකු මාර්ග අනතුරු හේතුවෙන් මිය යන බවත් පුද්ගලයින් 10 දෙනෙකු ආබාධිත තත්වයට පත්වන බවත් පෙන්වා දුන් ඒ මහතා මෙම තත්වය ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට යහපත් තත්වයක් නොවන බවත් පෙන්වා දුන්නේය.
මෙම තත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට කටයුතු කළ බව සඳහන් කළ ඒ මහතා පාසල් දරුවන් ඔස්සේ මෙම පණිවිඩය දෙමව්පියන්ට, වැඩිහිටියන්ට සමාජගත කිරීම ප්‍රායෝගික වන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය , මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව , ශ්‍රී ලංකා පොලීසිය සහ රක්ෂණ නියාමන කොමිෂන් සභාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන අතර උදෑසන මාතර වෙරළ තීරය ආශ්‍රිතව වැඩසටහන් රැසක් පැවැත්වෙන අතර ප්‍රධාන දේශනය රුහුණු විශ්වවද්‍යාලයේ රබීන්ද්‍රනාත් තාගෝර් ශාලාවේදී පැවැත්විමට නියමිත වේ.
මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රමානුකූල සහ විද්‍යාත්මකව දැනුවත් කිරීමේ විශේෂ ව්‍යාපෘති රැසක් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සිදු කෙරෙන බව ද ඒ මහතා සඳහන් කළේය.