Friday, 29 March 2024

කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම වළක්වන අන්දමේ වැරදි ප්‍රචාර සමාජ මාධ්‍ය පිටුවල හුවමාරු කිරීමෙන් වළකින්න

Posted On Monday, 27 September 2021 15:44

කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම වළක්වන අන්දමේ වැරදි ප්‍රචාර සමාජ මාධ්‍ය පිටුවල හුවමාරු කිරීමෙන් වළකින්න


කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම වළක්වන අන්දමේ වැරදි ප්‍රචාර සහ සමාජ මාධ්‍ය පෝස්ට්, තම සමාජ මාධ්‍ය පිටුවල හුවමාරු කිරීමෙන් වළකින්නැයි කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය මංජු වීරසිංහ මහතා, සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටියේය.

එන්නත්කරණයට විරුද්ධ පිරිස් ඇතැම් දුර්මත සමාජ මාධ්‍ය පිටු හරහා ෂෙයා කරන බව පෙන්වා දුන් ඒ මහතා මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවැන්නයි ඉල්ලා සිටියේය.පවතින ගෝලීය වසංගතයට ඇති එකම විසඳුම එන්නත්කරණය බව ඒ මහතා අවධාරණය කළේය.

අද (27)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහචාර්යවරයා මේ බව සඳහන් කළේය.

එන්නත නොගත් මෙරට වැඩිහිටි පුද්ගලයන්ගේ මරණ සංඛ්‍යාව වැඩි බවත් එහෙත් මේ වන විට ඉතා උනන්දුවෙන් එම පුද්ගලයින් එන්නත් ලබා ගැනීම සඳහා යොමු වන බවද ඒ මහතා කීය.
ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ එන්නත නොලැබු අයගේ මරණ සංඛ්‍යාව ඉදිරියේදී වැඩි වීමේ අවධානයක් ඇති බවත් එන්නත සඳහා යොමු නොවූ පිරිස් ඉදිරියේදී දැඩි අවධානමකට ලක් විය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

කොවිඩ් මර්දන එන්නතෙහි , දෙවන මාත්‍රාව ලබා ගෙන මසක් පමණ ගත වූ පසු එහි සම්පූර්ණ ආරක්ෂාව ලැබෙන බවත් මේ හේතුවෙන් මරණ සංඛ්‍යාව අවම කර ගත හැක. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබූ එන්නත 08ක් පවතින බවත් එම සම්පූර්ණ අනුමැතිය ලැබූ එන්නත් පමණක් මෙරට භාවිතා කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.