Thursday, 28 March 2024

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීම- අදාළ පනත් කෙටුම්පත උපදේශක කාරක සභාවට

Posted On Thursday, 08 July 2021 10:51

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීම- අදාළ පනත් කෙටුම්පත උපදේශක කාරක සභාවට

 

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වැටුප ඉහළ නැංවීමට අදාළ සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත් කරන පනත් කෙටුම්පත (ජූලි 07) දින ගරු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට ලක් විය.

ඒ අනුව දැනට පවත්නා අවම මාසික වැටුප රු.10,000.00 සි ට රු. 12,500.00 දක්වා සහ අවම දෛනික වැටුප රු.400.00 සිට රු. 500.00 දක්වා ඉහළ නැංවීමට අදාළව 2016 අංක 03 දරණ සේවකයින්ගේ අවම වේතනය පනතේ 03 වන වගන්තිය සංශෝධනය කිරීමට එමගින් අදහස් කෙරේ.

මෙම නීති කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් පනවා ඇති කිසිදු තහනමකට හෝ සීමා කිරීමට යටත් නොවන බව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බවට නීතිපතිවරයාගේ ව්‍යවස්ථාපිත සහතිකය යොමු කර ඇති බවත් ඒ අනුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කිරීම පිළිබඳවත් කාරක සභාවේ අවධානයට යොමු විය. එමෙන්ම 2017 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තාව සහ 2018 වර්ෂය සඳහා ජාතික වෘත්තිය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාවද කාරක සභාව වෙත යොමු කිරීම සිදු කරන ලදි.

මෙම කාරක සභාවට රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන් වන ජගත් පුෂ්පකුමාර , රාජිකා වික්‍රමසිංහ, ගරු කෝකිලා හර්ෂණී ගුණවර්ධන යන මහත්ම මහත්මීහුද, කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරිහුද සහභාගි වූහ.