Thursday, 25 April 2024

විදුලි සංදේශ වෘත්තීය පාඨමාලා සඳහා ආධුනිකයින්ට නොමිලේ අවස්ථාව

Posted On Thursday, 08 July 2021 10:45

විදුලි සංදේශ වෘත්තීය පාඨමාලා සඳහා ආධුනිකයින්ට නොමිලේ අවස්ථාව


උසස් තාක්ෂණික දැනුමෙන් යුතු විදුලි සංදේශ තාක්ෂණික ශිල්පීන් දෙස් විදෙස් ශ්‍රම වෙළඳපොළට දායාද කිරීමේ අරමුණු ඇතිව නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ අනුබද්ධ ජාතික ආධුනීකත්ව කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය (NAITA) සහ Huawei Technology Lanka පුද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම (07) නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේදී සිදු විය.

නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් අත්සන් කෙරුණු මෙම අවබෝධතා ගිවිසුම මගින් විදුලි සංදේශ වෘත්තියේ උසස් තාක්ෂණික පුහුණුව ලබාදීම සදහා නව පාඨමාලා ආරම්භ කිරිමත් Huawei Technology Lanka පුද්ගලික සමාගම සතු තාක්ෂණික දැනුම ආධුනික වෘත්තීකයන්ට ලබාදෙමින් නව රැකියා අවස්ථාවන් බිහිකිරිමටත් අවස්ථාව සැලසේ.

මෙම නව පාඨමාලා ප්‍රතිසංස්කරණය කරන ලද ඔරුගොඩවත්ත ආධුනිකත්ව පුහුණු මාධ්‍යස්ථානයේදී ආරම්භ කිරීමට නියමිත අතර Huawei Technology Lanka පුද්ගලික සමාගම විසින් නොමිලේ සියළු නවීන පහසුකම් වලින් සමන්විත ගෘහස්ථ සහ එළිමහන් ප්‍රායෝගික පුහුණුව ද ඇතුළත් අංග සම්පූර්ණ විද්‍යාගාරයක් ස්ථාපනය කරයි. අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමෙන් අනතුරුව අමාත්‍යවරිය විසින් එම පරිශ්‍රයේ නීරික්ෂණ චාරිකාවක් නිරත වු අතර මේ වන විට ස්ථාපනය කර ඇති ආදර්ශ සන්නිවේදන කුළුණු හා පාඨමාලා ක්‍රියාත්මක වන ආකරය පිළිබද අවධානය යොමු කරන ලදි.

පුහුණු ප්‍රථම අදියරේ ආධුනිකයන් 30 දෙනෙකුගෙන් ආරම්භ වන මෙම උසස් විදුලි සංදේශ තාක්ෂණ ශිල්පී පාඨමාලාව තුළින් ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන් ද ඇතුළත්ව‍ ලබාදීමට සැලසුම් කර ඇත. විදුලි සංදේශ පද්ධති පිළිබඳ සවිස්තරාමක න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ද සමඟින් පද්ධති නඩත්තුව සහ ආරක්ෂාව පිළිබඳ පුහුණුවද මෙම පාඨමාලාවට ඇතුළත් වේ. චීනයේ ස්ථාපිත Huawei ප්‍රධාන ආයතනය සමඟ සහසම්බන්ධ වෙමින් සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට පාඩම් ඉගැන්වීමටත් අදාල සමාගම විසින් කටයුතු සැලසුම් සකස් කර ඇත.

මෙම අවස්ථාවන් සදහා Huawei Technology Lanka පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ලියැං යී මහතා, අධ්‍යක්ෂ රිකාඩෝ මහතා, මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆර් ලී මහතා, මහජන සම්බන්ධතා කළමනාකාර ජිතේන්ද්‍ර ඇන්ටෝනියෝ මහතා, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් දීපා ලියනගේ මහත්මීය , ජාතික ආධුනිත්ව කාර්මික පුහුණු කිරිමේ අධිකාරියේ සභාපති නලීන් ගම්ලත් මහතා ඇතුඵ පිරිසක් සහභාගී විය.