Thursday, 18 April 2024

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමියෝ අපවත් වෙති

Posted On Monday, 22 March 2021 05:07

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමියෝ අපවත් වෙති

 

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වූහ.

අද (22) අලුයම 3ට පමණ කොළඹ පෞද්ගලික රෝහලක දී උන්වහන්සේ අපවත් වු බව වාර්තා වේ.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අපවත් වන විට 88 හැවිරිදි වියේහි පසු වුණි.

බස්නාහිර පළාතේ, මිනුවන්ගොඩ, කොටුගොඩ ගම් පියසෙහි දහමට ලැදි සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් යුතු පවුලක පවුලේ බාලයා වශයෙන් 1933 ජනවාරි 26 වන දා උපත ලැබී ය. පියා ඇඳවිතාරණ ගේ හර්මානිස් රුද්‍රිගු නමින් පතළ වැවිලිකරුවෙකි. මව සෙලෙස්තිනා රුද්‍රිගු නම් පිංවත් මාතාවය. දැනට කොටුගොඩ ශ්‍රී රාහුල මහා විද්‍යාලය නමින් හඳුන්වනු ලබන එදා කොටුගොඩ බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් ව මූලික අධ්‍යාපනය ලබමින් සිටිය දී සිරිලක සසුන්කෙත බැබලවීමේ පෙර පින් ඇති නිසා ගිහිගෙය හැර පියා උණවටුනේ ධම්මපාල නාහිමිපාණන් වහන්සේ ගේ ආචාර්යත්වයෙන් 1948 අගෝස්තු මස 17 වන දා ගල්කිස්සේ ශ්‍රී ධර්මපාලාරාමයේ දී කොටුගොඩ ධම්මාවාස නමින් සසුන් බිමට පිළිපන්හ.

1949 දී තෙවළා දහම් විෂයෙහි පරිණත දැනුමක් ලැබීම පිණිස රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙණට ඇතුළත්ව ද්විතීය අධ්‍යාපනය ලැබීමෙන් පසුව, උන්වහන්සේ උසස් අධ්‍යාපනය සඳහා 1952 දී කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනට ඇතුළත් විය. එහිදී පණ්ඩිත පලන්නොරුවේ විමලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ධර්මාචාර්යත්වයෙන් සිංහල, පාලි සංස්කෘත භාෂා ශාස්ත්‍ර හා ත්‍රිපිටක ධර්මය පිළිබඳව ද හැදෑරූ උන්වහන්සේ විද්‍යෝදය පිරිවෙණ මගින් පවත්වන ලද විනයාචාර්ය සද්ධර්මාචරිය යන විභාගය ඉහළින් ම සමත් විය. වලානේ සට්ඨිසර නාහිමි, පූජ්‍ය කම්මට්ඨානාචාර්ය මාහෝ සුමේධ, පූජ්‍ය පණ්ඩිත යටිපහුවේ මේධානන්ද නාහිමි යන හිමිවරුන් යටතෙහි, ධර්ම විනය, ශබ්ද ශාස්ත්‍රාදිය හදාළ උන්වහන්සේ 1954 ජූලි 10 වන දින කලුගඟේ උදකුක්ඛේප සීමා මාලකයේ දී අති පූජ්‍ය අග්ග මහා පණ්ඩිත බේරුවල සිරිනිවාස මාහිමිපාණන් වහන්සේ ගේ උපාධ්‍යයෙන් උපසපන්වූ හ. අතිශය නිරහංකාර ගුණයෙන් මෙන් ම විශාර ද පාණ්ඩිත්‍යයෙන් යුත් ධම්මාවාස හාමුදුරුවෝ මධුර මනෝහර ලෙස ධර්ම දේශනා කිරීමට ඇති සුවිශේෂී හැකියාව නිසා ම ලක් වැසි ජනතාව ගේ මහත් පැසසුමට මෙන් ම ප්‍රසිද්ධියට පත් වූ සේක.

කොළඹ දෙමටගොඩ ප්‍රධානඝර ධර්මදූත ආයතනයෙන් ධර්මදූත කටයුතු පිළිබඳව පරවාහැර වජිරඥාන නායක හාමුදුරුවන්ගෙන් හා පෙම්රොක් විද්‍යාලයෙන් ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳව උසස් අධ්‍යාපනයක් ලද උන්වහන්සේ මුල් අවධියේ සිට ම ධර්මදූත කටයුතු වල යෙදුණාහ. යටත් විජිත සමයේ දී අධිරාජ්‍යවාදී පාලකයන් විසින් විනාශ කරන ලද රට ජාතිය ආගම සහ භාෂා ශාස්ත්‍ර යළි නංවාලනු වස් අනූපමේය සේවාවක් කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ජාතික සිත් සතන් පුබුදුවා පොදු ජනයා තුළ ජාතික මමත්වය ජනිත කිරීමට මේ රටේ ගෙනගිය ධර්මදූත ව්‍යාපාරය අනුගමනය කරමින් අපේ ධම්මාවාස හාමුදුරුවෝ ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල මෙන් ම දෙස් විදෙස් හි ධර්මදූත මෙහෙවරෙහි යෙදුණු ආකාරය ප්‍රශංසනීය ය. උන්වහන්සේ ගේ සිත්කළු ධර්මදේශනා තුළ පිරිසුදු බුද්ධ ධර්මයට අදාළ කාරණා ද ජාතිය ගොඩනැඟීමේ උපදේශ ද ඇතුළත් වූයේ චිත්තාකර්ශනීය විලාසයකිනි.

 

විශාරද පාණ්ඩිත්වයකින් හෙබි උන්වහන්සේ සතු මධුර ලෙස ධර්ම දේශනා කිරීමේ හැකියාව නිසා ජනතාව අතර වඩාත් ප්‍රසාදයට පත් වූ හිමිනමකි. උන්වහන්සේ රටවල් රැසක ධර්ම දූත කටයුතු සඳහා වැඩම කළ අතර බෞද්ධ පුනරුදය සඳහා කටයුතු කළ හිමි නමකි. ජනතාවගේ දහම් දැනුම වර්ධනය කිරීම උදෙසා කටයුතු කළ උන්වහන්සේට උතුම් වූ නිවන් සුව ප්‍රාර්ථනා කරමු.