Ravi Jayawickrama Arachchige
වෙළෙඳ විජ්ජා කපා හැරීම
රටක ආර්ථිකය හැසිරවීම අතිශය දුෂ්කර හා සංකීර්ණ ක්‍රියාවලියකි. පාරිභෝගිකයාට සහන ලැබෙන විට ගොවියා අඬන්න පටන් ගනී. ගොවියාට සහන සලසන විට පාරිභෝගිකයා අඬන්න පටන් ගනී. මේ අතර සමාගම්වල ක්‍රියාකාරිත්වය වෙනම පවතී. අතරමැදියන්ගේ ක්‍රියාකාරිත්වය ද වෙනම පවතී. මේ සියල්ලම තෘප්තිමත් කරන ආර්ථික වැඩපිළිවෙළක් කිසිවකුට නිර්මාණය කළ නොහැකිය. අවම ලෙස පාරිභෝගිකයා හා ගොවියා යම් පමණකින් හෝ තෘප්තිමත් වන ආර්ථික ක්‍රියාවලියක් සැකසිය හැකි නම් අවුලකින් තොරව ආර්ථිකය ගලා යනු ඇත. නැත හොත් ක්‍රියාත්මක වනු ඇත. නිදහස් වෙළෙඳපොළක් පවතින රාජ්‍යයක එවැන්නක් සිදු කිරීම ද ඉතා අපහසුය. එහෙත් එය කළ යුතුය.
ජීවන වියදම් කමිටුවේ රැස්වීමකදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ගොවියා හා පාරිභෝගිකයා තෘප්තිමත් වන ආර්ථික ක්‍රියාවලියක් කෙසේ හෝ ආරම්භ කළ යුතු බවය. ඒ සඳහා ආදර්ශයක් පෙන්වා දුන් ජනාධිපතිවරයා ගොවියා ගසා කන අතරමැදියන්ගේ ක්‍රියාවලිය නවතා දැමීම වැදගත් බව කියා සිටියේය. එය කළ හැක්කේ කෙසේ ද මාර්ග දෙකක් ඇත. පළමු මාර්ගය වන්නේ රජය මැදිහත් වී ගොවියාගේ අස්වැන්න මිලට ගැනීමය. දෙවන මාර්ගය වන්නේ ගොවියාට කෙළින්ම වෙළෙඳපොළ හා සම්බන්ධ විය හැකි අවස්ථාවක් ඇති කිරීමය. දෙවන මාර්ගය වඩාත් ප්‍රායෝගික බව පෙනී යයි. ඊට ගොවි ජනතාව ද එකඟ වනු ඇත.
අතරමැදියන්ගේ ගසා කෑම අපේ වෙළෙඳපොළ තුළ ජයටම සිදු වෙයි. ගොවි බිමට එන අතරමැදියා ඉතා අඩු මිලකට අස්වැන්න කොල්ල කා ගනී. ගොවියා එම මොහොතේ පහසුව තකා අතරමැදියාට හසුවන ආකාරය දැක ගත හැකිය. ඒ හැරත් දුප්පත් ගොවියාට ප්‍රවාහන පහසුකම් නැත. වෙළෙඳපොළ සම්බන්ධතා නැත. මෙහි වාසිය අතරමැදියාට ලැබෙයි. ගොවි බිමට යන අතරමැදියා වට්ටක්කා කිලෝව රුපියලකට දෙකකට මිලට ගනී. එය වෙළෙඳපොළ වෙත එන්නේ ගත් මිලට වඩා දහ ගුණයකින්වත් මිල වැඩි කිරීමෙන් පසුවය. මේ ක්‍රමය නිසා එක අතකින් ගොවියා සූරාකෑමට ලක් වෙයි. තව අතකින් පාරිභෝගිකයා සූරාකෑමට ලක් වෙයි.
මේ දිනවල කහ හිඟයක් පවතී. කහ කුඩු ග්‍රෑම් සියයක් රුපියල් හයසියයට අලෙවි කළ අවස්ථා ද වාර්තා වී තිබිණි. කහ හිඟය ඇති වූයේ කහ ආනයනය නවතා දැමීම නිසාය. රටට අවශ්‍ය තරම් කහ කුඩු සැපයිය හැකි යැයි ගොවියා කියනමුත් එය ඉටු වී නැත. කහ ඇතුළු තවත් පාරිභෝගික භාණ්ඩ රැසක් ආනයනය කිරීම නවතා ඇත්තේ දේශීය ගොවීන්ගේ ඉල්ලීම මතය. එහෙත් ඉන් පාරිභෝගිකයා අමාරුවේ වැටී ඇත. මේ නිසා කළු කඩයක් ද බිහි වී ඇත. පොල් සම්බන්ධයෙන් ඇත්තේ තවත් ගැටලුවකි. වාර්ෂික පරිභෝජනයට අවශ්‍ය පොල් ප්‍රමාණය ඇතත් එය වෙළෙඳපොළට එන්නේ නැත.
කොවිඩ් අර්බුදය ද සැලැකිල්ලට ගත් රජය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හතරක ආනයන බදු කපාහැරීමට පියවර ගත්තේය. එය රටේ සමස්ත ජනතාවට ලබා දුන් සහනයකි. ඒ අනුව ටින් මාළු, පරිප්පු, ලොකු ලූනු හා සීනි අඩු මිලට ගත හැකි විය යුතුය. පාරිභෝගික ජනතාව බදු කපා හැරීම ගැන ප්‍රසාදය පළ කරන අතර, ව්‍යාපාරිකයා පසු වන්නේ වෙනත් මතයකය. රජය කියන පිළිවෙළට ව්‍යාපාර ගෙන යා නොහැකි බවට ඔවුහු තර්කයක් ඉදිරිපත් කරති. බදු කපාහරින්නේ නම් අඩු මිලට භාණ්ඩ අලෙවි කරන්නට බැරිකමක් තිබෙන්නට බැරිය. බදු මුදල අහෝසි වූ පසු ව්‍යාපාරිකයාට අඩු මුදලකට භාණ්ඩ ගැනීමට හැකි වෙයි. එහි වාසිය පාරිභෝගිකයා වෙත ද කාන්දු විය යුතුය.
නිදහස් ආර්ථිකයක් තුළ වෙළෙඳපොළ හැසිරවීම සම්බන්ධයෙන් ආණ්ඩුවකට කළ හැක්කේ සොච්චම් ක්‍රියා මාර්ගයකි. අපි ඊයේ ද මේ තීරුව ඔස්සේ ඒ කරුණ පැහැදිලි කළෙමු. එහෙත් සොච්චම් බලපෑම උපායශීලි ලෙස යොදා ගත හොත් වෙළෙඳපොළ හැසිරීම පිළිබඳ යම් බලයක් රජය වෙත ලබා ගත හැකිය. ජනාධිපතිවරයා පෙන්වා දෙන අන්දමට එම බලපෑම මඟින් ගොවියාට හා පාරිභෝගිකයාට යන දෙදෙනාටම සහන ලබා දිය හැකිය. ගොවිතැන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජීවනෝපායකි. ඒ හැරත් රටේ මුළු ජනගහනයෙන් වැඩි පිරිස කුමන හෝ අංශයකින් කෘෂිකර්මයට දායකත්වයක් සපයති. ඒ අනුව ආර්ථිකයේ ප්‍රධාන තැනක් ගොවියාට හිමි විය යුතුය. ඉන් අර්ථවත් වන්නේ ගොවියාගේ ද අත මිට සරු විය යුතු බවය.
අපට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නැතිකමේ පාඩුව මෙබඳු අවස්ථාවලදී හොඳින් පෙනී යයි. ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ ආර්ථික ක්‍රියාවලියේ නිත්‍යතාවක් ඇති කිරීම වැදගත්ය. එබඳු පසුබිමකදී ආර්ථික වැඩසටහන් වරින්වර වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නැත. මේ ආපදා අවස්ථාවේ ගොවියා හා පාරිභෝගිකයා යන දෙදෙනාටම සහන අවශ්‍ය වෙයි.
අවසානයට පසු වූ ව්‍යාප්තිය
මහජනතාවට සැමන් පරිප්පු ලාබෙට කන්න පුලුවන්ද?
බ‍්‍රැන්ඩික්ස් තියරිය සහ මැල්තස් තියරිය (පරිත්‍යාගශීලීන්ගේ ගබ්සා රාජ්‍යය)
ශ්රී ලංකාවේ වර්තමාන කොරෝනා වසංගත තත්ත්වය ගාමන්ට් ෆැක්ටරියකින් මතුවීමත් සමගම මේ රටේ ඇඟලූම් කර්මාන්තයේ වැඩි දෙනා විසින් කතා නොකරනු ලබන පැතිකඩක් ගැන සාකච්ඡා කිරීමට අපට අවස්ථාව ලැබී තිබේ. මේ පැතිකඩ වූ කලී ඇඟලූම් සේවිකාවන් සූරාකෑමට ලක්වීම පිළිබඳ කතාවය. ඒ කතාව ගැන සාකච්ඡා කිරීමට කලින් මතක් කළ යුතු අනෙක් වැදගත් කාරණාව වන්නේ මේ රටේ ඇඟලූම් සේවිකාවන්ට ගතකිරීමට සිදුවී ඇති අන්ත අසරණ ජරා ජීර්ණ ජීවිතයයි. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ තිස්පන් දහසක ශ‍්‍රම බළකායක් වැඩ කරති. මේ තිස්පන්දහසෙන් සියයට හැත්තෑ පහක් පමණ තරුණියෝය. ඔවුන්ගෙන් වැඩිදෙනා කටුනායකට එන්නේ දුර පළාත්වලිනි. එවැනි ඇතැම් ඇඟලූම් සේවිකාවක් ඇගේ පවුලේ වැඩිමලා විය හැකි අතර ඇය කොළඹ රස්සාවකට යෑම එම පවුලේ අනාගතය විසඳන තීරණාත්මක සාධකයක් ලෙසට ගණනය කිරීම එම පවුලේ අය විසින්ම කරනු ලැබේ. මේ වූ කලී ලංකාවේ පහළ මධ්‍යම පන්තියේ සහ දුප්පත් පන්තියේ චින්තනයයි.
කොළඹින් දුර බැහැර පිටිසරබද ගමක දරුවකු රස්සාවකට කොළඹ ඒම ඉහත සඳහන් පන්තීන් දෙක විසින් මීට අවුරුදු සියයකට පෙර සලකන ලද්දේත් නිධානයක් ලැබුණාක් මෙනි; අද සලකන්නේත් නිධානයක් ලැබුණාක් මෙනි. නිධානයේ තරම දන්නේ කොළඹ එන එකාය. එය කිසි කලෙකත් ගොඩගැනීමට බැරි නිධානයකි. ගාර්මන්ට් ෆැක්ටරිවල වැඩට එන පිටිසරබද ගැමි ළමයින් මනසින් දුටු ලෝකය ෆැක්ටරි තුළ නැත. ඔවුහු රුපියල් දහහත් දහස් පන්සියයක හෝ රුපියල් විසි දහසක මූලික පඩියකට ජීවිත පටන් ගනිති. ඔවුන්ට නවතින්නට සිදුවන්නේ බෝඩිමකය. ඒ සඳහා එක් තරුණියකට අවම වශයෙන් බෝඩින් කුලිය ලෙස රුපියල් හත්දහස් පන්සියයක්වත් ගෙවීමට සිදුවේ. ඇය සිටින බෝඩින් කාමරය තුළ තවත් ගාමන්ට් සේවිකාවෝ හතක් හෝ අටක් සිටිති. බෝඩින් අයිතිකාරයා හෝ අයිතිකාරිය මෙය හඳුන්වන්නේ ”හත්දහස් පන්සියයේ කෑලි” හතක් අටක් ලෙසය. බෝඩින් ගාස්තුව ගෙවීමෙන් පසු රුපියල් දස දහසක් හෝ දොළොස් දහස් පන්සියයක් ගමේ සිටින තම පවුලේ අයට යැවීමට මේ තරුණියට පුළුවන. එවිට ඇගේ වියදමට තඹ සල්ලියක්වත් ඉතිරි වන්නේ නැත. එසේ නම් ඊළඟ මාසයේ සිට ඇය ඕ. ටී. කළ යුතුය. ඕ. ටී. වලින් ද ගොඩ ඒමක් නැති ඇය දරිද්‍රතාවයේ පතුලටම වැටෙන්නීය.
මෙසේ දුක් විඳින තරුණියන්ට මුදලෙන් උපකාර කිරීම සඳහා ඉදිරිපත් වන පරිත්‍යාගශීලී තරුණයන් බොහෝය. පුණ්‍ය කටයුතු සඳහා මුදල් පරිත්‍යාග කළ හැකි ධනවත් අය ලංකාවේ මෙපමණ සිටින බව දන්නේ නම් ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුව මේ රටට ණය දීමට කවදාවත් ඉදිරිපත් නොවනු ඇත. මේ පරිත්‍යාගශීලීන් වැඩිදෙනා අත මේ අසරණ තරුණියෝ ලිංගික කෙළි බඩු බවට පත්වෙති. තමන් කරන ත්‍යාගශීලී උපකාර වෙනුවෙන් මේ නරුම නීච කාලකණ්ණි පිරිමි පෙර කී තරුණියන්ගේ කන්‍යාභාවය ලබා ගනිති. එසේ කන්‍යාභාවය ඉල්ලා සිටින අවස්ථාවේදී මේ තරුණියන් එම ඉල්ලීම බැහැර කිරීමට නොහැකි තරමට කායිකව හා මානසිකව පේ‍්‍රම උගුලේ සිරවෙලාය. ඊළඟ පියවරේදී මේ නීච පිරිමින් වෙතින් එම තරුණියන්ට දීමනා දෙකක් ලැබේ. ඉන් පළමුවැන්න වූ කලී දරු ගැබකි. දෙවැන්න බෙහෙත් නැති සමාජ රෝගයකි. පළමුවැනි ප‍්‍රශ්නය විසඳීමට ගබ්සා කඩවල සිටින හොර දොස්තරවරුන්ට පුළුවන. දෙවැනි ප‍්‍රශ්නයට උත්තරය කොළඹ මහ රෝහලේ තිස් තුනේ කාමරේය. මේ කාමරේ තුළදී වුව ඇතැම් සමාජ රෝග සුව කළ නොහැක. ඒ අතින් බලන විට කොරෝනා යනු සුළු උණකි. කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ආශ‍්‍රිත බෝඩින් කාමර වැඩි හරියක් තුළ විවිධ ගාමන්ට්වල සේවිකාවෝ ලැගුම්ගෙන සිටිති. ඒ අනුව එක් කෙනකුට කොරෝනා හැදුනොත් මුළු කාමරයටම කොරෝනා වැළඳෙයි. බ‍්‍රැන්ඩික්ස් ටේලර් සාප්පුවට හැදුණු කොරෝනා රෝගය නෙක්ස්ට් ගාමන්ට් එකටත්, හෙළ ක්ලෝදින්ග් ගාමන්ට් එකටත් පැතිර ගියේ මෙකී න්‍යායට අනුව විය යුතුය.
ශ‍්‍රී ලංකාව යනු කම්කරු නීති රීතීන් ඉහළින්ම තිබෙන රටකි. කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පැළ කරන ලද විශාල එන්. ජී. ඕ. ගස් මේ රටේ ඇත. අවාසනාවකට මෙන් මේ එන්. ජී. ඕ. ගස් වලින් ඇඟලූම් සේවිකාවන්ට කිසිම හෙවණක් ලැබී නැති අතර එන්. ජී. ඕ. කට්ටියගේ සේවක අයිතිවාසිකම් පමණක් ඉහළින්ම සුරැකී ඇත. කවර ගාමන්ට් ෆැක්ටරිය කවර බයිලාව කිව්වත් මෙය තමයි සැබෑ තත්ත්වය. ශ‍්‍රී ලංකාවේ ගාමන්ට් ව්‍යාපාරය පටන් ගත්තේම මේ පරිහානිගත තත්ත්වය තුළ සිටය. එය අදටත් එසේමය. වෙනිවැල්ගැට සහ පැරසිටමෝල් පොවා කුණුහරුපයෙන් බැණ තරුණියන්ගෙන් වැඩ ගැනීම ගාමන්ට් ක්ෂේත‍්‍රය තුළ එදත් සිදු විය. අදත් සිදු වෙයි. ආණ්ඩුව කළ යුත්තේ මෙය හෙටත් සිදු නොවීමට වගබලා ගැනීමය. එහෙත් කිසිදු ආණ්ඩුවක් ඒ වෙනුවෙන් කිසිම මඟුලක් කර නැත. ඒ නිසා බ‍්‍රැන්ඩික්ස් තියරිය ඒ ආකාරයෙන්ම පවතින අතර මැල්තස් තියරිය කවදාවත් ගොඩයන්නේ නැත.