Ravi Jayawickrama Arachchige
වගා හානි ගෙවන්න වීමෙන් පෝර අවුලේ සැබෑව තේරේවි
කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් තමන් විඳි අනේක දුක් ගැහැට පිළිබඳව කතා කරමින් සිටි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පසුගියදා සිත නිවාගන්නා කතාවක් කියා තිබිණි. ඒ කතාවට අනුව මෙවර මහ කන්නයේදී වගා හානි වූ වී ගොවීන්ට සිදුවූ අලාභය වෙනුවෙන් රුපියල් කෝටි 4000ක් වන්දි ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අඩුවන වී කිලෝවක් වෙනුවෙන් රුපියල් 25ක් බැගින් වන්දි ලබාදෙන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කළ ප්‍රකාශයේ සඳහන් විය.
අමාත්‍යවරයාට අනුව කාබනික පොහොර භාවිත කිරීමේ වැඩපිළිවෙළේදී අස්වනු හානියක් සිදුවුවහොත් වන්දි ලබාදෙන බවට දුන් පොරොන්දු අනුව රජය මේ පියවර ගෙන තිබේ. කුමන හේතුවක් නිසා වුවද වගා හානි සිදුවූ වී ගොවීන්ට වන්දි ලබාදීම යහපත් පියවරක් වශයෙන් හඳුන්වමු. රට මෙතරම් ආර්ථික අගාධයකට වැටී සිටියදීත් ගොවීන්ට වන්දි ගෙවීම සඳහා රුපියල් කෝටි 4000ක් වෙන්කිරීම ගැන රජයට ද ප්‍රශංසාව හිමිවිය යුතුය. එසේ වුවද වගා හානි සිදුවූ තේ, පොල්, එළවළු සහ පලතුරු වගා කරන්නන්ටද වන්දියක් දීමට හැකි වී නම් එය වඩාත් යහපත් තීන්දුවක් විය හැකිය. ඔවුන්ටද සිදුවී ඇත්තේ වී වගා කළ ගොවීන්ට සිදුවූ හානිමය. විශේෂයෙන් එළවළු, බඩඉරිඟු සහ පලතුරු ගොවීන්ට මෙය තමන්ට කොළඹට කිරි - ගමට කැකිරි ආකාරයේ සැලකිල්ලක් දැක්වීමක් වශයෙන් පෙනී යා හැකිය.
වී ගොවීන් සම්බන්ධයෙන් කතා කළහොත් මෙම කෝටි 4000ක වගා හානි වන්දිය ලැබීමට සුදුස්සෝ දස ලක්ෂයකට අධික පිරිසක් සිටිතියි අමාත්‍යවරයා පෙන්වා දී තිබිණි. ඔවුන් වගා කර ඇති මහ කන්නයේ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 08කට ආසන්න බවද සඳහන් විය. මේ අනුව වගා හානි වන්දි ගෙවීම තරමක සංකීර්ණ කටයුත්තක් බව පැහැදිලිව පෙනී යයි. තමන්ගේ නොවන කුඹුරු වගා කළ ගොවීන්ට වන්දි ලැබෙයිද යන්නත් පැහැදිලි නැත. අමාත්‍යවරයා පවසන ආකාරයට කුඹුරු හෙක්ටයාරයකට ලැබිය යුතු අස්වැන්න හා ලැබෙන අස්වැන්න අනුව අඩුවන ප්‍රමාණයට ගෙවන වන්දිය තීරණය කෙරෙනු ඇත.
අක්කර ගණන් වගා කළ වී ගොවීන්ට ඉහත සඳහන් පරිදි වන්දි ගෙවන විට කිලෝවකට ලැබෙන මුදල කොතරම්දැයි ගණන් බැලුවොත් එය එතරම් විශාල නොවන බව තේරුම් ගැනීම අපහසු නැත. කෝටි 4000ක මුදල ආසන්නව ගොවීන් දස ලක්ෂයක් අතරේ බෙදී යා යුතුය. මේ ක්‍රමයට වන්දිය ලබාගැනීමට ගොවීන්ටද සෑහෙන කට්ටක් කෑමට සිදුවන බවකුත් පෙනෙන්නට තිබේ. පාඩුව සිදුවීදැයි බැලීමට වී අස්වනු කපන තුරු සිටිය යුතුය. එම සංඛ්‍යාලේඛන සකස් කිරීම සඳහා ජන හා සංඛ්‍යාලේඛන, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්වී ප්‍රාදේශීය හා කෘෂිකර්ම සේවා නිලධාරී මට්ටමින් අස්වැන්න පිළිබඳ නිරීක්ෂණය කරමින් සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.
මේ කියන මට්ටමින් සියල්ල සිදුවන්නේ නම් යහපත් නමුත් ඒ ආකාරයට නිසි සම්බන්ධීකරණයක් නොමැති වුවහොත් ගොවීන් ඊළඟට උද්ඝෝෂණ පටන්ගනු ඇත්තේ පොහොර ඉල්ලමින් නොව වන්දි ඉල්ලමින් බව සැමදෙනා විසින්ම අවබෝධ කරගත යුතුය. දැනටමත් එවැනි උද්ඝෝෂණ දක්නට ලැබේ. මේ තරම් ප්‍රශස්ත මට්ටමින් රජයේ සියලු දෙපාර්තමේන්තු මුල සිටම කටයුතු කළා නම් ගොවීන්ට වගා හානියක් සිදුවීමට ඉඩක් නොමැති බවද පෙන්වා දීමට කැමැත්තෙමු. කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේදී එකවර හදිසි නොවී රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස් අනුව ක්‍රියා කළා නම් මේ ආකාරයට ගොවීන්ට වන්දි ගෙවීමට කෝටි දහස් ගණන් වෙන් කිරීමට සිදුවන්නේ ද නැත.
වී ගොවීන්ගේ ප්‍රශ්න සහ සහල් මිල මේ වනවිට රටේ පොදු මහජනතාව දැඩිව පීඩනයට පත්කර තිබේ. වී වගාව පිළිබඳව නිසි අවබෝධයකින් ක්‍රියා නොකිරීමේ අමිහිරි ප්‍රතිඵල මේ වනවිට මුළු රටම විඳිමින් සිටියි. වී ගොවීන්ගේ වගා හානියට වන්දි ගෙවීමක් සිදුවුවද ඒ හේතුවෙන් අස්වැන්න අඩුවීම නිසා සහල් මිල ඉහළ යාමෙන් පාරිභෝගික ජනතාවට ගෙවන්න සිදුව ඇති වන්දියට කවුරුත් වගකියන්නේ නැත. වැඩිදුර යා යුතු නැත. පසුගිය වසරේ ජනවාරියේ රටේ පැවැති වී නිෂ්පාදනය සහ සහල් මිල ගණන් මේ වසරේ ජනවාරිය සමඟ සංසන්දනය කිරීම පමණක් ප්‍රමාණවත්ය. අස්වැන්න අඩුවීම සහ ඊට සාපේක්ෂව සහල් මිල ගණන් ඉහළ ගොස් ඇති ආකාරය එයින් මැනගත හැක.
අස්වැන්න අඩුවිය හැකි බවට පුරෝකථනය කෙරෙද්දී පිටරටින් හාල් ඇටයක්වත් නොගෙන්වන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කළ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ වනවිට කතා කරන්නේ වී ගොවීන්ට වන්දි ගෙවීම පිළිබඳවය. එහෙත් පිටරටින් හාල් ඇටයක් නොව ටොන් ගණනින් ගෙන්වීමට සිදුවූයේ කෘෂිකර්ම ප්‍රතිපත්තියේ වරදකින්ම මිස ගොවීන්ගේ වරදකින් නොවන බව පිළිගැනීමට ආණ්ඩුවට අවසානයේ සිදුව තිබේ. රසායනික පොහොරින් කාබනික පොහොරට මාරුවන ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීමට පෙර මේ සියලු කරුණු සමාලෝචනයට භාජන කර තිබුණා නම් ආණ්ඩුව මේ කට්ට කන්නේ නැත.