Displaying items by tag: මෙරට ප්‍රථම අස්ථි බද්ධය සිදුකල වැද්දන්ගේ වෛද්‍ය වරයාගේ කැලණියේ බංගලාව
මෙරට ප්‍රථම අස්ථි බද්ධය සිදුකල වෛද්‍ය ස්පිට්ල් ගේ කැලණියේ බංගලාව
කැලණියේ හැංගිලා තියෙන ස්පිට්ල්ගේ බංගලාව
* ඉස්සර මෙහේ වත්තේ වැද්දොත් හිටියලු
* මේ ගෙයි භූතයො ඉන්නවා කියා හිතෙනවා
දොස්තර ආර්.එල්. ස්පිට්ල් යනු මෙරට එක්තරා යුගයක් යැයි කීම වරදක් නැත. හේතුව නම් ඔහු එදා නොසිටින්නට අද අප අපේ ආදිවාසීන් පිළිබඳ විමසිලිමත් නොවනු ඇත. වෛද්‍යවරයකු වූ ස්පිට්ල් වෙදකමට අමතරව ප්‍රිය කළේ කැලෑවල ඇවිදීමටය. වැද්දන් ඇසුරු කිරීමට ය. ඔහු පිළිබඳ බොහෝ කතා ඇත්තේ ය. ස්පිට්ල් මහතා පිළිබඳ විමසන විට අපට හැම විටම සිහියට නැඟෙන්නේ කොළඹ රේඩියෝ සිලෝන් එක ඉදිරිපිට ඇති ඔහුගේ ‘විචර්ලි’ නම්වූ ඉපැරැණි නිවසයි. අද එම නිවසේ ‘විචර්ලි’ ජාත්‍යන්තර පාසල පවත්වාගෙන යන්නේ ය. ස්පිට්ල් මහතා පිළිබඳ කිසිම සෙවිල්ලක් බැලිල්ලක් කිරීමට අවශ්‍යතාවක් නොතිබූ මොහොතක මා මිතුරෙක් අපූරු ඔත්තුවක් දුන්නේ ය. “අන්න ස්පිට්ල් මහත්තයාගේ බංගලාවක් තියෙනවලු කිරිබත්ගොඩ මාකොළ දකුණේ.”
මිත්‍රයාගේ ඔත්තුවට අනුව ස්පිටල් මහතාගේ පොත පත කියවා ඇති ඔහුගේ ඉතිහාසය පිළිබඳ දන්නා වැඩිහිටි කිහිප දෙනෙකුගෙන් ම මෙම බංගලාව පිළිබඳව විමසා බැලීමි. ඇසූ කිසිවෙක් ඒ ගැන යමක් කියන්නට නොදැන සිටියහ. අවසානයේ අපි කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය දියමුල්ල මහතා ඇමැතුවෙමු.
“මේක බොරු ගමනක්ද? ඉකුත් ඉරිදා එම ස්ථානයට යනතුරු ම සිතට වදදුන් එකම ප්රශ්නය එය විය.
“ආර්.එල්. ස්පිට්ල් හෙවත් රිචඩ් ලයනල් ස්පිට්ල් උපත ලබන්නේ 1881 දෙසැම්බර් මස නව වැනිදාය. ස්පිට්ල්ගේ පියා වන්නේ 1760 දී මෙරටට පැමිණි ඕලන්ද රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකි. ඔහු නම් වෛද්‍ය ෆෙඩ්රික් ජෝජ් ස්පිට්ල් ය. මව සිලියා ජෑන්ස්ය. තංගල්ලේ දී උපත ලැබූ ස්පිට්ල් තංගල්ල පුත්තලම පාසල්වල ඉගෙනුම ලබා වයසින් වැඩෙත්ම වැඩිදුර ඉගෙනුම ලැබීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කෙරේ. රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලබා පසුව වෛද්‍ය පීඨයට ඇතුළත්වන ස්පිට්ල් වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා පිටත්ව යන්නේ ය. ඔහු එල්.එම්.එන්. විභාගය සමත් වන්නේ 1905 දී ය. එංගලන්තයට ගොස් එෆ්.ආර්.සී.එස්. උපාධිය සමත්ව ඔහු 1909 දී නැවත ලංකාවට පැමිණෙන්නේ ය. බර්ගර් ජාතිකයකු වන වෛද්‍ය ස්පිට්ල් 1936 සිට 1938 දක්වා ලංකා ඩම් බර්ගර් සංගමයේ සභාපති ධූරය ද උසුලනු ලබයි.
වෛද්‍ය ස්පිට්ල් කොළඹ මහ රෝහලේ දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකි.
ලංකාවේ ප්‍රථම වරට අස්ථි බද්ධ කිරීමේ සැත්කමක් සිදු කළේ වෛද්‍ය ස්පිට්ල් විසින් යැයි අතීත වාර්තාවල සඳහන්ව ඇත. යටත් විජිත සමයේ ලංකාවේ රජයේ දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස ස්පිට්ල් හඳුන්වා දීමට පුළුවන. වෛද්‍ය විද්‍යාව එතරම් දියුණු නැති කාලය දැනට වසර එකසිය හයකට පමණ පෙර සරනේලිස් නම් 17 හැවිරිදි තරුණයකු 1912 ඔක්තෝම්බර් මාසයේ දිනෙක දකුණතේ ආබාධයක් නිසා කොළඹ රෝහල විටින් විට මෙයට ප්‍රතිකාර කළ ද නිට්ටාවට සුවයක් නොවී ය. වෛද්‍ය ස්පිට්ල් රෝගය හඳුනා ගත්තේ ය. ඔහුගේ නියමය වන්නේ අස්ථියක් බද්ධ කළ යුතු බව ය. මාස ගණනකට පසු සරනේලිස් රෝහල් ගතව සිටින අතරේ ම වයස අවුරුදු 30 ක් වු මිනිසකු රෝහලට පැමිණෙන්නේ ඩයිනමයිට් පිපිරීමක් නිසා යළි යථා තත්ත්වයට ගත නොහැකි තරමට හානි වූ අතක ආබාධයක් සහිතවය. මේ වෙනුවෙන් කළ හැකිව තිබූ එකම දෙය අත ඉවත් කිරීමය.
මෙහිදී වෛද්‍ය ස්පිට්ල් තීරණයකට එන්නේ ය. එනම් ඩයිනමයිට් පිපිරුමෙන් හානි වී තිබෙන අත ඉවත් කර ලබාගන්නා අස්ථි කොටස් සරනේලිස්ගේ අතට බද්ධ කිරීමටය. ඉවත් කර ගන්නා අස්ථි කොටස් උණුසුම් සේලයින් වතුරේ බහා තබා සරනේලිස්ට අස්ථි සැත්කම සිදු කරන්නේ ය. වෛද්‍ය ස්පිට්ල් සුදුසු අයුරින් සැත්කම සිදු කරන්නේ ය. සැත්කමෙන් මාස පහකට පමණ පසු සරනේලිස් ගමට යන්නේ ක්‍රියාකාරී අතක් ද සහිතවය. ඔහු තම සේවය උපරිම කැපවීමෙන් කළ අයෙකි. නමුදු බාලවියේ සිටම කැලේ කොළේ සතා සීපා සමඟ ඇවිදීමට ගැවසීමට ඔහු ප්‍රිය කළේය. එය එසේ වීමට හේතුව වූයේ ඔහුගේ පියා කුඩා ස්පිට්ල්ට විශ්වාසවන්ත වැඩිහිටියෙකු සමඟ කැලේ බැලීම සඳහා පිටත්කර හැරුමය.
වෛද්‍ය සේවයේ යෙදී සිටිය ද ස්පිට්ල් ඒ පුරුද්ද අත් නොහැරියේ ය. ඔහු වැද්දන් සොයා දඹාන, පොල්ලේබැද්ද ආදී ප්‍රදේශවලට නිතර ගියේ ය. ඒ ගිය ගමන්වලදී වැද්දෝ ඔහු හා බොහෝ හිතවත් වූයේ ය.
මීට වසරකට දෙකකට පෙර පොල්ලේබැද්දට ගිය විටෙක එහි ආදිවාසී නායක් හෝඹා ඇත්තන් අපට හමුවිය. ඔහු වයෝවෘද්ධය. හෝඹා ඇත්තන්ට වෛද්‍ය ස්පිට්ල් හමුවන විට හෝඹා කොලු ගැටයෙකි. වෛද්‍ය ස්පිට්ල් ගැන සිහිකරන විට ඔහුගේ දෑස කඳුළෙන් පිරුණි.
“සුදු හූරා අපට බොහෝම හිතවත්. සුදු හූරාගේ දුව ක්‍රිස්ටිනා එක්ක මං සෙල්ලම් කරනවා. ඒ කාලේ හැමතැනම මැලේරියාව. සුදු හූරා කතමයි අපිට බෙහෙත් ගෙනැල්ලා දෙන්නේ. සුදු හූරගේ කොළඹ ගෙදරටත් මං ගිහින් තියෙනවා. ඉස්සර ක්‍රිස්ටිනා නෝනා මාව බලන්න එනවා. මගේ ඇහැට කාචය දාලා දුන්නෙත් ඒ නෝනා” වැද්දන් අදද වෛද්‍ය ස්පිට්ල් සිහි කරන්නේ ගෞරවයෙනි.
වෛද්‍ය විද්‍යාවට වඩා වෛද්‍ය ස්පිට්ල් සේවය කර ඇත්තේ සාහිත්‍යයට යැයි විටෙක අපට සිතේ. ඒ සිතුවිල්ල එසේ වන්නේ ඔහු ලියූ පොත පත තවමත් අපේ මතකයේ ඇති බැවිනි. “සුදු ගෝනා” කියවූයේ බාල වියේදී ය. නමුදු සුදු ගෝනා තවමත් සුන්දර මතකයකි. වනයේදී හමුවන සුදුගෝනා දෙවන රාජසිංහ රජුගේ යුගයට සම්බන්ධ අපූරු කතාවකි. ඕලන්ද නැවක සිටි ‘හෑන්ස්’ නම් තරුණයා කැලයේ අතරමං වී සතුන් හා මිතුරු වෙමින්, ගඩා ගෙඩි කමින් ගෙවන අපූරු කතාව ස්පිට්ල් ලියන්නේ 1958 දී ය. එය අපේ ළමා මනසේ තවමත් සැරිසරන අදත් රසවිඳින කතාවකි. සුදු ගෝනා පමණක් නොව, මැකී ගිය දඩමං, වනසරණ ආදී වශයෙන් ස්පිට්ල් ලියූ කතා රැසක් සිංහලයට නැඟිණි. වෛද්‍ය ස්පිට්ල් ගැන බොහෝ මතකයන් අලුත්වන්නට වූයේ කිරිබත්ගොඩ මාකොළ ස්පිට්ල් බංගලාවට යන ගමනේදී ය. ස්පිට්ල් පිළිබඳ තොරතුරු සොයන විට ඔහු පිළිබඳ කියවූ ලිපියකවත් මෙම නිවෙස ගැන සඳහනක් හමුවූයේ නැත. තොරතුරු තිබුණේ කොළඹ ගුවන් විදුලිය ඉදිරිපිට ඇති ‘විචර්ලි’ බංගලාව ගැන පමණි. එසේ නම් අප මේ පැමිණි ගමනින් පලක් වේද? සිත ඇත්තේ දෙගිඩියාවකි.
“මේ තියෙන්නේ ස්පිට්ල්ගේ වත්තේ පැරණිම ළිඳ. මොන හේතුවකට ද දන්නේ නැහැ ඒක නම් තවම ඉවත් කරල නැහැ. මම මගේ ඉඩම ගත්තේ වෙන්දේසියකින්. මම පරණ පත්තිරු සෙව්වා. එතකොට තමයි දැන ගත්තේ මේ ඉඩම වෛද්‍ය ස්පිට්ල්ට අයිතිව තිබුණ බව. 2008 තමයි මං ගත්තේ. එතකොට අර පේන අධිවේගී මාර්ගය හදලා තිබුණේ නැහැ. ඒ හරියේ තිබුණේ ලස්සන කුඹුරු යායක්. අපේ ගෙවල්වලට හැරෙන පාර නම් කරලා තියෙන්නේ ‘ස්පිට්ල් ඇවනිවු’ කියලා. තව ටිකක් එහාට වෙන්න තමයි ස්පිට්ල් බංගලාව තියෙන්නේ. ඉස්සර මේක ගන කැලෑවක් ලු.”
ආචාර්ය දියමුල්ල අපට තොරතුරු කියන්නට විය.
ඉස්සර මෙය ගන කැලෑවක් නම් ගෝඹා ඇතුළු වැද්දන් එකල පැමිණ ඇත්තේ මේ බංගලාවට දැයි මට එක්වරම සිහිවිය. අක්කර පනහක් වූ භූමි භාගයේ දැන් තැනින් තැන නව නිවාස ඉදි වෙමින් තිබෙන්නේ ය. ඒ අලුත් මෝස්තරයේ නිවාසය. ඒ අතර පැරණි මෝස්තරයේ ගරා වැටුණු නිවෙස නෙතට ගෙනාවේ කඳුළකි.
මේ එක්තරා යුගයක් නියෝජනය කරන පුරා වස්තුවක් නොවේද? මේ නිවෙස වසර සියයකට වඩා පැරණි ඇතැයි බැලූ බැල්මට සිතිය හැකි ය. නිවෙස ආසන්නයට යාමට අසීරු ය. ඒ එහි සිටින බලු රෑන නිසා ය. වෛද්‍ය ස්පිට්ල්ට තවමත් ආදරය කරන අසල්වැසියකු අපට ස්පිට්ල් වත්තේ දී හමු විය. ඔහු දුලාන් යාපා ය.
“මම පොඩි කාලේ ඉඳලම ඩොක්ටර් ස්පිට්ල් ලියපු සුදු ගෝනා, මැකී ගිය දඩමං ආදී පොත් කියවලා තියෙනවා. ඒ පොත් නිසා තමයි මම ස්පිට්ල්ට ආදරේ කරන්න පටන් ගත්තේ. මේ ඉඩම ස්පිට්ල්ගේ වත්තක් කියලා දැන ගත්තාම හිතට පුදුම සතුටක් දැනුණා. ඒ බව දැන දැනම තමයි අපි මෙහෙට ආවේ. මේ බංගලාව සංරක්ෂණය කරනවා නම් තමයි හොඳ? මේ බංගලාව දකින කොට මට හිතෙනවා ස්පිට්ල් මහත්තයා මේ ගෙදර ඉඳගෙන තමයි සුදුගෝනා ආදී පොත් ලියන්න ඇත්තේ කියලා.” දුලාන් අපට පැවැසුවේ ගරා වැටුණ නිවෙස පෙන්වමිනි.
වසර ගණනාවක් පැරණි නිවෙස වටා අද ඇත්තේ නවීන පන්නයේ නිවෙස් ය. ස්පිට්ල්ගේ බංගලාවට මේ වනවිට අයිතිකරුවන් කිහිප දෙනෙකුම ඇතැයි යන්න වටපිටින් ලැබුණ තොරතුරු ය. අප එහි ගියේ ඒ පිළිබඳ සොයා බලන්නට නොවේ. එනිසා වසර ගණනාවක් තිස්සේ මෙම බංගලාව බලාගන්නා අය හමුවීමු.”
ඔහු සිය නම ගම කියන්නට මෙන් ම ඡායාරූපයකට පෙනී සිටින්නට ද අදිමදි කළේ ය.
“මම ස්පිට්ල් මහත්තයාගේ පොත් කියවලා තියෙනවා. ඒ පොත් හරි ලස්සනයි. ඉස්සෙල්ලාම මේ ඉඩම වෙන්දේසි කළේ සෙලින්කෝ එකෙන්. මං එතකොට එතැනින් වැටුපක් ගත්තා. ඊට පස්සේ මං වැටුපක් ගත්තේ නෑ කාගෙන්වත්. දැන් මමයි මගේ සත්තු ටිකයි මෙතැනට වෙලා ඉන්නවා. හරක් හතර පස් දෙනෙක් ඉන්නවා. උන්ගෙ ගොම ටික විකුණලා ලැබෙන කීයෙන් හරි ජීවත් වෙනවා. ඉස්සර මේ වත්තේ පොල් තිබුණා. පැරණි මිනිස්සු නම් කියනවා. ඉස්සර ස්පිට්ල් මහත්තයා මෙහෙ වැද්දෝ ගෙනැල්ලා පදිංචි කරගෙන හිටියා කියලා. දැන් මේ ගේ තියෙන්නේ පර්චස් 42 ක ඉඩමක. ගෙයි කාමර හතරක් තියෙනවා. තව දිගට කෑල්ලක් තිබුණා. ඒක කඩලා දාලා ඇතුළේ බල්ලෝ ඉන්නවා. උන්ට මම එක වේලයි කන්න දෙන්නේ. හාල් කිලෝ දෙකක් උයනවා. අහල පහල මිනිස්සු නම් කියනවා මේ ගෙදර භූත බලවේග තියෙනවා කියලා. මටත් වෙලාවකට එහෙම කියලා හිතෙනවා. ඒත් මං ඕවා ගණන් ගන්නේ නැහැ. හැම තිස්සෙම පිරිත් දාගෙන ඉන්නේ” මුරකරු බුලත් කහට පිරි දත් පෙන්නා හිනැහෙමින් පවසන්නේ ය.
නිවෙස ඇතුළට යාමට කොතෙක් ඇහුවද ඔහුගෙන් ඊට අවසර නොලැබිණි. ඒ ඇතුළේ සිටිනා බල්ලන්ගෙන් අපට අනතුරක් වේ යැයි ඔහු විශ්වාස කළ බැවිනි. පැරණි රෝහලක් මෙන් යැයි සිතිය හැකි අයුරින් ගොඩ නඟා ඇති ස්පිට්ල් බංගලාවේ මුළුතැන්ගෙය ඇත්තේ වෙනමය. බරාදය සහිත ඉස්තෝප්පුව කඩා බිඳ දමා ඇත. එහි තිබූ කබොක් ගල් වෙනම ගොඩ ගසා ඇත.
දැන් මෙහි අයිතිකරු යැයි කියන සුබසිංහ මහතාට අපි දුරකථනයෙන් ඇමතුවෙමු.
“මගේ තාත්තා බොහෝම හොඳ ගනුදෙනු කරුවෙක් කියලා දැන ගෙන තමයි ස්පිට්ල් මහත්තයාගේ දුව ක්‍රිස්ටින් මේ ඉඩම ඔහුට විකුණලා තිබුණේ.” ඒ සුබසිංහ පුත්‍රයා අපට පැවසූ තොරතුරු ය.
වෛද්‍ය ස්පිට්ල් යනු මෙරට එක්තරා යුගයකි. මා නැවත එසේ ලියමි. ඔහු තම අතින් වියදම් කරගෙන කැලෑවේ ඇවිද්ද ආදි වාසීන් හා ජීවත් වූ පරිසරයට ආදරය කළ පරිසරවේදියෙකි. වරක් කොළඹ නගර සභාව මුල්වී ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම ගැන දේශනාවක් පවත්වා ඇත්තේ ය. මෙහි ප්‍රධාන තැනක් ගෙන ඇත්තේ වෛද්‍ය ස්පිට්ල්ගේ දේශනයයි. මේ දේශනය අසා සිටි අගමැති ඩී.ඇස්. සේනානායක මහතා තුරුලතා හා වන සත්ව ආරක්ෂක ප්රඥප්තිය සකස් කිරීමට ස්පිට්ල් මහතා හා කරුණු සාකච්ඡා කළ බව පැරණි තොරතුරුවල සඳහන් වේ.
වන සත්ව දෙපාර්තමේන්තුව පිහිටීමට ද, විල්පත්තු අභයභූමිය ඇතිවීමට ද වෛද්‍ය ස්පිට්ල් මහතාගේ මැදිහත්වීම තිබූ බව එම යුගයේ ලියැවුණ ලිපිවල සඳහන්වේ. ‘ලෝරින්’ නමින් පරිසර සඟරාවක් ද ස්පිට්ල් මහතා එළිදක්වා ඇත.
ස්පිට්ල් බංගලාව දෑස් ඉදිරිපිට ම ගරා වැටෙමින් තිබේ. වෛද්‍ය ස්පිට්ල් මහතා අසූ පස් වැනි වියේදී මෙලොව හැර ගියේ ය. වසර සිය ගණනක් පැරණි මේ නිවෙසට හිමිකම් කියන ස්පිට්ල් පරපුරේ කිසිවෙක් දැන් සොයා ගත නොහැක. මෙය තවත් ගරා වැටී යාමට දෙනවාද? නැතිනම් සුරකිනවාද?
(විශේෂ ස්තූතිය කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණි චන්දිමා නිශ්ශංක මහත්මියට.)
ඉනෝකා සමරවික්‍රම සිළුමිණ පුවත්පතේ
සිත්මල් යාය අතිරේකයට ලියූ ලිපියකි
ඡායාරූප - ගයාන් පුෂ්පික
(පැරණි ඡායාරූප අන්තර්ජාලයෙන්)