රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බදු නීති කිහිපයක් සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් නව පනත් මාලාවක් ළඟදීම සකස් කරනු ඇත.

සංශෝධනය කිරීමට නියමිත නීති

-2017 අංක 24 දරන දේශීය ආදායම් පනත

-එකතු කළ අගය මත බදු පනත, 2002 අංක 14

-2011 අංක 21 විදුලි සංදේශ බදු පනත

- ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත, 1988 අංක 40

-2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත

එකතු කළ අගය මත බදු, පුද්ගලික ආදායම් බද්ද, ආයතනික ආදායම් බදු අනුපාත අඩු කිරීමට සහ එකතු කළ අගය මත බදු සහ ආදායම් බදු මත බදු පදනම හැකිලීම සඳහා 2019 පසු ලිහිල් බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට රජය තීරණය කළ බැවින් මෙම සංශෝධන අවශ්‍ය විය.

මේ නිසා රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර  රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් බදු නීති සංශෝධනය කිරීමට අවශ්‍ය පනත් කෙටුම්පත් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකයින් වෙත යොමු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ඇත.

mbm 163027

අනාගත පරපුරට රටක් - දරුවන්ට හොඳ අනාගතයක් තනන ගමනක සිටි ශ්‍රී ලංකාව දරුණු විනිමය අර්බුදයකය. එදිනෙදා අවශ්‍ය ප්‍රමාණයට තීරණ ගන්නා තත්ත්වයට වැටී තිබේ. ඉන්ධන හිඟය. ගෑස් නැත. විදුලිය කප්පාදුව අද වන විට අවසන් වන බව කියැවේ. අවශ්‍ය කරන බෙහෙත් වර්ග පවා ආනයනය සීමා කර ඇත. නැවත වටයකින් ආනයනික ද්‍රව්‍ය පාලනයක් ගැන අවධානය යොමු වී ඇති වකවානුවකි.

ආර්ථිකය කළමනාකරණය කර ගැනීම උගහටය. ආණ්ඩුව තුළ ප්‍රශ්න මතු වී තිබේ. විස¾දුමක් කරා ගමන් කරන්නට කරන යෝජනා නොසලකා හැරීම ගැන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එළිපිට කැරැල්ලක් මෙහෙයවමින් සිටී. ආණ්ඩුවට සම්බන්ධ පිරිස්, විපක්ෂය, විද්වතුන් රට නැවත ගොඩනඟන අදහස් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත. 

වියදම අඩු කිරීම වෙනුවට ආදායම වැඩි කර ගැනීම

ජන සමාජයේ අප සියලුම දෙනාට පොදු ධර්මතාවක් තිබේ. පහළට වැටෙන්නට කැමැති නැත. එදිනෙදා ගත කරමින් සිටි ජීවිතයෙන් පහළ තැනකට වැටීම ප්‍රශ්නයකි. ආණ්ඩුව තුළ හා ආණ්ඩුවෙන් පිටස්තර පිරිස් යෝජනා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනාවල කැපී පෙනෙන එක කාරණයක් ඇත. අඩු කිරීම්ය. සීමා කිරීම්ය. මෙම සීමා පහළ පෙළැන්තියට පමණකි. මැති ඇමැතිවරුන්ගේ විදුලිය බිල, වාහන පරිහරණය, වැටුප් හා දීමනා, විදේශ සංචාර ගැන අවධානයක් නැත. පටි තදකරගත යුතු සාමාන්‍ය ජනතාව පමණක්ද යන විමතිය ඇතිවේ. දුප්පතාගේ බස් රථය නතරවන නමුත් ඇමැතිවරුන්ගේ හා නිලධාරීන්ගේ වාහන පුරුදු පරිදි එහා මෙහා යයි. දැන් පවතින ආර්ථික ගැටලු නිරාකරණයට හදිසි සාකච්ඡා සඳහා විය හැකිය. නිදහස ලැබුණ දවසේ සිට තිබුණ හදිසි සාකච්ඡා අවසානයේදී රට ගෙනැවිත් තබා ඇති තැන ඍණ ආර්ථිකයකි. ණය ගෙවා ගත නොහැකි සමාජයකි. මැති ඇමැතිවරු පමණක් නොව රජයේ නිලධාරීන්ද පවතින දරුණු පීඩනය ගැන වගකිව යුතුය. 

රටට අවශ්‍ය වියදම අඩු කිරීම නොවේ. අවශ්‍ය තරමට වියදම හොයා ගන්නා වැඩපිළිවෙළකි. ප්‍රමාණවත් ආදායමක් උපයා ගෙන ණය ගෙවන්නටත්, අත්‍යවශ්‍ය දේ ආනයනයටත් මඟ පාදා ගැනීමකි. 

අය - වැය වාර්තා පෙන්වන පරිදි ජාතික ආදායම අඩු වී තිබේ. වියදම ඉහළ නැඟ ඇත. රට තුළ උද්ධමනය වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. ආහාර මිල ගණන් සියයට විසි පහකින් වැඩි වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දක්වයි. මහ බැංකුව දක්වන පරිදි විදේශ විනිමය සංචිත දරුණු පිරිහීමකය. ත්‍රස්තවාදය පරාජය කරන දැවැන්ත යුද මෙහෙයුමක් පැවැති කාලයේදී පවා නොතිබුණ තරමට විනිමය සීමා වී ඇති බව කියැවේ. විදේශ රටවලට ගෙවිය යුතු ණය පියැවීම අවහිර වී ඇති අතර දිගින් දිගටම කල් ඉල්ලන්නට සිදුවී ඇත. එය සුදුසු පියවරක් නොවේ.

වර්ධනයක් ඇති කරන පියවරවලින් හුස්මක්

ආර්ථිකයට හුස්ම ගැනීම සඳහා වර්ධනයක් ඇති කළ යුතුය. එදා වේල පිරිමසා ගැනීම අරමුණු කරගෙන ගන්නා තීරණවලින් වර්ධනයක් ඇති නොවේ. ආනයන අඩු කරන පසු සිදුවන්නේ කුමක්ද? රේගු බදු පහත වැටේ. වරායෙන් ගෙන්වන දේ නිෂ්පාදන, සේවා හා අලෙවි අංශවලට යොමුවේ. එම අංශවල ලක්ෂ ගණනක පිරිසක් නිරතය. නැවත නැවතත් කරන චක්‍රිය ගනුදෙනුවලින් යැපෙන ප්‍රවාහයක් සිටී. විදේශ විනිමය හිඟය අනුව ආනයනය නතර කරන සේ යෝජනා කිරීම පහසුය. තවත් වටයකින් ආර්ථිකය හිරවන විට තැළෙන පෙළෙන ජනතාවගේ ජීවිත ගැන අවධානය යොමු කරන්නේ කොතැනින්ද? 

ආනයන යනු තවත් රටකින් ගෙන එන දේ බව මතක තබාගත යුතුය. ඇපල් සහ මිදි ප්‍රතික්ෂේප කළ හැකිය. එය ජාත්‍යන්තර වෙළෙඳාමේ එක පැත්තකි. ඇමෙරිකාවෙන් ඇපල් ගෙන්වන අතර එයට හිලව් වශයෙන් ඇඟලුම් මිලදී ගනී. ඇපල් ප්‍රතික්ෂේප කරන පසු ඇඟලුම් පමණක් මිලදී ගන්නට සූදානම්ද? කහ ආනයනය නතර කළ පසු ඉන්දියාවේ වගාකරුවන්ට ප්‍රශ්න මතු විය. වාහන ආනයනය නතර කළ පසු ඒවා නිපදවන හා ප්‍රතිඅපනයනය කරන රටවලට දැනෙන කාරණයක් විය. ශ්‍රී ලංකාව කුඩා රටකි. කුඩා වෙළෙඳපොළකි. එම වෙළෙඳපොළ අවහිරවීමද කිසියම් පිරිසකට දැනෙන කාරණයක් බව අමතක කළ යුතු නැත. 

ආර්ථිකයට හුස්ම ගැනෙන්නට නම් වර්ධනයක් වුවමනා කෙරේ. පිබිදීමක් අවශ්‍යය. සාමාන්‍යයෙන් ආර්ථිකයක් ඍණ අගයකට පත් වූ පසු නැවත වර්ධනයක් සිදුවේ. වෙළෙඳපොළ සිද්ධාන්තයකි. සුදුසු පියවර අනුව තීරණ ගැනීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි. ශ්‍රී ලංකාවට වෙළෙඳ ගිවිසුම් තිබේ. ජාත්‍යන්තර සම්බන්ධතා ඇත. තානාපති කාර්යාල ප්‍රධාන රටවල  තිබේ. පවතින නිෂ්ක්‍රිය තත්ත්වය වෙනුවට වෙනස්කම් සඳහා සහාය ලබා ගැනීම වරදක් නොවේ.

විදේශ විනිමය උච්ඡාවචනය වැළැක්වීම දැනට පවතින විනිමය හිඟය තවත් උග්‍ර කරන හේතුවක් බව පෙනේ. වේගයෙන් අවප්‍රමාණය වනු ඇති බවට මතු වූ සැකය පදනම් කරගෙන තද රෙගුලාසි පනවා ඇත. ඊයේ එනම් මාර්තු හත්වැනිදා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ගත් තීරණය අනුව  විනිමය අනුපාතිකය තරමක් ලිහිල් කර තිබේ. මෙතෙක් පැවැති ඇමෙරිකානු ඩොලරයකට රු. 201.00ක් මිල නියම කර අතිරේකව රු. දහයක් ගෙවන තීරණය වෙනුවට රු.230.00ක මිලක් නියම කර තිබේ. රටට විනිමය ලැබෙන මඟ අවහිරවීම එයින් මඟ හැරෙන්නේ නැත. නීත්‍යනුකූල විනිමය වෙළෙඳපොළට එපිටින් සංචිත හැදෙමින් තිබේ. ප්‍රධාන නගරවල වෙළෙන්‍ෙදා් රුපියල් දෙසියපනහ දක්වා මිලකට ඩොලර් මිලදී ගනිමින් සිටිති. විදේශ ගතවන සහ පිටරටවල් සමඟ ගනුදෙනු කරන පිරිසට විනිමය ලැබෙන්නේ එතැනින්ය. විකුණුම් මිල රු. දෙසියහැත්තෑව දක්වා නැඟ තිබේ. බි්‍රතාන්‍ය පවුමක් රු. තුන්සිය හතළිහකි. මෙම මිල පවතින පසුබිම තුළ රටට එන විනිමය වාණිජ බැංකුවලට නොලැබීම පුදුමයක් නොවේ. සංචාරකයන්ට හෝටල් ගාස්තු විදේශ විනිමයවලින් ගෙවන සේ යෝජනා කළ පසු වාණිජ බැංකුවලට විනිමය ලැබෙන්නේ කෙසේද? 

මෙම තීරණාත්මක අවස්ථාවේදී රෙගුලාසි ලිහිල් කළහොත් රටට විනිමය ලැබීම ඉක්මන් වනු ඇත. පිටරටවල සේවය කරන පිරිස වැනි කොටස් ගෙන එන විනිමය සඳහා වැඩි රුපියල් ප්‍රමාණයක් නීත්‍යනුකූලව ලැබෙන පසු ඒවා සාමාන්‍ය ජනතාවගේ ආදායම වැඩි කරන හේතුවකි. ලක්ෂ විස්සකට වැඩි විදේශ ගත ශ්‍රමිකයන් පිරිසක් සිටින අතර ඔවුන් එවන විනිමය මෙරට වැඩිම ආදායම බව සඳහන් කළ යුතුය. පසුගිය වසරේ ප්‍රේෂණ ලැබීම් සීමා වී තිබේ. විනිමය රෙගුලාසි බලපෑම ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකිය.

සංචාරක පැමිණීම, ආයෝජනවලින් හෝ වෙනත් ආධාරවලින් රටට සංචිත ලැබුණ පසු විනිමය අගය ශක්තිමත් වන අතර එතෙක් තාවකාලික පියවරක සිටීම පහසු බව මහ බැංකුව කල්පනා කරන බව පෙනේ. එම පියවර සමඟ රට තුළ පැන නැඟී ඇති විකෘතිය බරපතළ අවදානමකි. කිසියම් අවස්ථාවක රෙගුලාසි ලිහිල් කරන්නට සිදුවුවහොත් එකවරම සිදුවිය හැකි විනිමය අනුපාතිකයේ මිල වෙනස්කම් දරාගැනීමට දුර්වල ආර්ථිකයකට හැකිද යන්න වෙනම අධ්‍යයනය කළ යුතුය.

ආයෝජන කැඳවීම ගැන සමාජයේ මතය

විදේශ විනිමය අවශ්‍ය බව ශ්‍රී ලාංකිකයන් දැනගෙන සිටින කරුණකි. අපනයන නංවන්නට, ආයෝජන කැඳවන්නට හෝ තාවකාලික ණයක් ගැනීමට විරුද්ධවන හේතුව කුමක්ද? ඒවා රටට විනිමය ලබාගත හැකි ප්‍රධාන මාර්ග අතළොස්ස අතර තිබේ. ආයෝජන සම්බන්ධයෙන් විශාල විරෝධයක් ඇත. කොළඹ වරාය පරිශ්‍රයේ ආයෝජනය ගැන දීර්ඝ විරෝධයක් තිබිණි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ගැන කැමැත්තක් නොතිබිණි. රිදීමාලියැද්ද ප්‍රදේශයේ සීනි කම්හලක් ඉදිකිරීම ගැන දැන් ආන්‍ෙදා්ලනයක් ඇත. විනිමය පමණක් නොව විදුලිය අර්බුදයක් පැන නැඟෙන බව පෙනෙන මානයේ යුගදනවි බලාගාරයට එරෙහිව අධිකරණයේ නඩු පැවැරීය. මෙවැනි පටු පිළිවෙළ ජාත්‍යන්තර ආයෝජන අවහිර කරයි. විදේශ විනිමය උපයා ගැනීමට අනෙක් මඟක් යෝජනා නොකරන විද්වත් පිරිස ආයෝජනවලට අවහිර කිරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? රටට ධනය උපයා ගත හැකි අනෙක් මාර්ගයක් හෙළි නොකරන්නේ ඇයි?

ආර්ථික බලපෑම් ලිහිල් කර ආයතනික පද්ධති නවීකරණය කළ හැකිය. අවශ්‍ය උත්පාදනය තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සංචිතයක් ලබා ගැනීමේ අවස්ථාවක් තිබේ. තෙල් නැවක් ගෙන්වන්නට වත්කමක් නැති අවස්ථාවක සිටින ආණ්ඩුව මූල්‍ය අරමුදලේ පිටිවහලක් නොලබන හේතුව කුමක්ද? සංචිත පිරිහී, ණය ගෙවා ගත නොහැකි අර්බුදකාරී රටක් ලෙස මූල්‍ය අරමුදලේ සරණ යෑම වෙනුවට සාකච්ඡාවකින්, සංවාදයකින් පසු තීරණ ගැනීම සුදුසුය. දේශපාලන තීරණ, විරුද්ධ පක්ෂයේ බලපෑම් එවැනි පියවරකට ගමන් නොකරන්නට රාමුව සකස් කර ඇති බව පෙනේ. අවසානයේදී තවත් වටයකින් අර්බුදයකට පත්වීම හැර අනෙකක් අපේක්ෂා කළ නොහැකිය.

වාණිජ ණයවලින් අඩාල කරන්නේ අනාගතයයි

විදේශ වෙළෙඳාම සඳහා අවස්ථාව පාදා ගැනීමත්, ආයෝජනවලින් විනිමය ගෙන්වාගැනීමත් පසෙකට කරන ආණ්ඩුව ණය ගැනීම කෙරෙහි වැඩි බරක් තබා තිබේ. ඉන්දියාවෙන් අඩු පොලී ණයක් ගැනීමට සූදානම්ය. පසුගිය වසරේ වෙළෙඳ පරතරය ඇමෙරිකානු ඩොලර් බිලියන අටක් වූ බව මතක් කළ යුතුය. ඉන්දියාවෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය කිසිසේත් ප්‍රමාණවත් නැත. චීනයෙන්, බංග්ලාදේශයෙන් ණය ඉල්ලමින් සිටී. සංවර්ධන බැ¾දුම්කර වශයෙන් ණය ඉල්ලන පියවරකට ශ්‍රී ලංකාව අවතීර්ණ වී ඇති අතර එය ආර්ථිකයෙහි වඩාත් දරුණු තත්ත්වයක් උද්ගත කරනු ඇති බව පෙන්වා දිය යුතුය. 

ඉන්දියාවෙන් ලැබෙන ද්වීපාර්ශ්වික ණය හුවමාරුව සුළු පොලියකට බව දැක්වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සියයට එකකට අඩු පොලියකට ණය ලබා ගත හැකිව ඇති බව සඳහන් කළ යුතුය. සංවර්ධන බැ¾දුම්කර වශයෙන් ජාත්‍යන්තරයෙන් ගන්නා ණයවලට සියයට හයක් දක්වා ඉහළ වාර්ෂික පොලියක් ගෙවන්නට සිදුවේ. මෙම අවුරුද්දේ ගෙවන්නට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන හයක පමණ ඉතිරි කොටස පියැවීම සඳහා වාණිජ ණය ගැනීමෙන් තවත් වටයකින් ණය අර්බුදයක් කරා යොමුවීම වැළැක්විය නොහැකිය. මෙම තීරණාත්මක අවස්ථාවේදී දේශපාලන පක්ෂ, විද්වත් පිරිස හා පොදු මහජනතාව විශාල කැපවීමකට යා යුතුව තිබේ. වඩාත් සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන්නට ආණ්ඩුවට බල කළ යුතුය. පටු විවේචන, අධෛර්යය කිරීම් අවසානයේදී අලවන පැලැස්තරය අනාගතයේදී තවත් වටයකින් අනාගත පරපුර අවදානමකට පත් කරනු ඇත.

ශාමින්ද වත්තේගෙදර


මිනිසකුගේ සිතට නිරායාසයෙන් ම ඇතිවන හැඟීම් අතර, ආදරය ප්‍රධාන තැනක් ගනී. ‘ආදරය’ යනු, කෙනකුගේ ජීවිතයට උත්තේජනයක් එක්කරන දෙයකි. සිතක් තුළ ආදරයක් හටගත් විට, සිත සතුටින් පිරී යයි. මේ නිසා, තමා ආදරය කරන තැනැත්තා හෝ තැනැත්තිය ප්‍රීතිමත් කිරීම සඳහා, ඕනෑම දෙයක් කළ හැකි ය. ආදරයට එතරම් වූ ප්‍රබල ශක්තියක් තිබේ. ආදරයක් සදාකාලිකව, නොවෙනස්ව පවත්වා ගන්නට නම්, දෙදෙනාගේ ආදරය දෙදෙනාට ම දැනිය යුතු ය.

ආදරය දැනෙන අන්දමින් කටයුතු නොකරන නිසා, බොහෝ සබඳතා තුළ විරසක බව, තනිකම, වෙන්වීම වැනි අවාසනාවන්ත තත්ත්ව ඇති වේ. විශේෂයෙන් පෙම්වතුන්ව සිට, ආදරය කරන සමයට වඩා විවාහයෙන් පසු ඒ ආදරය එලෙසින් ම පවත්වා ගැනීම බොහෝ දෙනකුට ගැටලුවකි. වසර පහක් හයක්, එසේත් නැතිනම් වසර හතක් පමණ කාලයක් පෙම්කොට විවාහ වී, මැසිවිලි නඟන්නේ වසර දෙකක්වත් ගතවන්නට පෙර ය. එසේ නම්, ඒ ගැන ඔබ දැනුම්වත් විය යුතු ය. ඔබත් විවාහ වීමට සිටින පෙම්වතකු හෝ පෙම්වතියක නම්, අඹු සැමියන් අතර විරසක බව ඇතිකරන ප්‍රධාන කරුණු පිළිබඳ දැනුම්වත් විය යුතු ය.

* එකිනෙකා අතර පිළිසඳරක් නොමැති වීම

පෙම්වතුන්ව සිටින කාලයේ කවුරුත්, නිතර මුණගැසීමට, කතාබහ කිරීමට කැමැති ය. නිතර හමු වී පිළිසඳරේ යෙදීමෙන්, එකිනෙකා තේරුම් ගත හැකි ය. එහෙත්, මේ කතාබහ විවාහ වී කලක් ගතවන විට දක්නට ලැබෙන්නේ නැත. දෙදෙනා එකිනෙකාගෙන් දුරස් වේ. බොහෝවිට සැමියා රූපවාහිනිය බැලීම, කාර්යාල රාජකාරි කිරීම ආදියේ නිරත වන විට, බිරිය එදිනෙදා නිවසේ වැඩ කටයුතුවල යෙදෙයි. එහෙත්, දවසේ වැඩපළ අවසන් වූ පසු ඉස්තෝප්පුවට වී තේ පැන් සංග්‍රහයක් රස විඳිමින්, දෙදෙනාට පිළිසඳරේ යෙදීමට හැකිනම්, බැඳීම් ශකිත්මත් වේ. සිතේ ඇතිවී තිබූ පීඩා සංසිඳී යයි.

*ප්‍රියමනාප ලෙස කතා නොකිරීම

ඕනෑම මනුෂ්‍යයකු තවත් මනුෂ්‍යයකුට ප්‍රියමනාප වන්නේ හෝ නොවන්නේ, කතා කිරීමේ විලාසය මත ය. පොල්ලෙන් ගසන්නා සේ කතා කිරීම, ගෞරවයෙන් කතා කිරීමට පුරුද්දක් නැතිකම, හැඟීමෙන් කතා නොකිරීම ආදිය එකිනෙකා අතර ගැටුම් ඇති වීමට හේතු වේ. කිසියම් අවස්ථාවක සැකයක්, රහසක් සිතේ පවතින විට, ප්‍රසන්නව කතා කිරීම අපහසු ය. එහෙත්, එසේ වීමෙන් ඔබට සිදුවන සෙතක් නොමැති බැවින්, හැකි උපරිමයෙන් යළි යථා තත්ත්වයට පත්වීම හොඳ ය. ප්‍රියමනාප ලෙස කතා කිරීම සැබැවින් ම දියුණු කරගත යුතු කුසලතාවකි.

*ආවේග පාලනය කර ගැනීමට අසමත් වීම

කෙනකු තුළ ඇතිවන ආවේග පාලනය කර නොගතහොත්, එය අනිවාර්යයෙන් ම අරගලයකට හේතු වේ. එම ආවේගය පිටකළ විට, නිසැකව ම අනෙක් පාර්ශ්වයෙන් ඊට ප්‍රතිචාර ලැබේ. ඒ ප්‍රතිචාරය බොහෝ අවස්ථාවල දී ගැටුමක් නිර්මාණය කරයි. ආවේගකාරීව හැසිරුණ බොහෝ පුද්ගලයන් කිසිවකුගේ හොඳක් දකින්නේ නැත. ඒ නිසා, කිසියම් ආවේගයක් ඇතිවූ විට, වැඩක නිරත වන්න. ඒ වගේම, බිරියට හෝ ඔබට ආවේගයක් ඇතිවූ විට, එක් අයකු අනෙකාට ආවේගය පිට කරන්නට ඉඩහැර, නිහඬව සිටීම, ගැටුම් අවම කිරීමට හේතු වේ. පසුව නිදහසේ ඒ ගැන කතාකර, එම ගැටලුව හිතින් මුළුමනින් ම බැහැර කරගත යුතු ය.

* ගෙදර දොර වැඩ සහයෝගයෙන් නොකිරීම

කාන්තාවන් මානසික පීඩනයට ගොදුරු වන කරුණු අතර කැපී පෙනෙන කාරණයක් ලෙස, තනිවම නිවෙසේ බොහෝ වැඩ ප්‍රමාණයක් කරන්නට සිදුවීම සඳහන් කළ හැකි ය. විවාහ වී රැකියාවකට යන කාන්තාවක් නම්, රාජකාරි කටයුතු වගේ ම, නිවෙසේ වැඩපළ ද කිරීමට සිදු වේ. ඒවා බිරිය පමණක් සිදු කරන විට ඇතිවන වෙහෙස අපමණ ය. එම රාජකාරි එදිනෙදාම කිරීමට සිදුවන දේ ය. එබැවින්, සැමියා හා බිරිය යන දෙදෙනා ම එක්ව, සහයෝගයෙන් යුතුව නිවෙසේ එදිනෙදා කටයුතු කිරීම, දෙදෙනාගේ ම මානසික පීඩනය අවම කිරීමට හේතු වේ.

* අගය කිරීම, කෘතවේදීතාව ගැන නොතැකීම

ජීවත් වීමට ආදරය අවශ්‍ය ම යැයි පිළිගන්නේ නම්, නිතර ම කරුණු දෙකක් ගැන සැලකිලිමත් විය යුතු ය. පළමු වැනි කාරණය නම්, අගය කිරීම ය. දෙවැනි කාරණය කෘතවේදී වීම ය. එය වයස් බේදයෙන් තොරව සියල්ලන් බලාපොරොත්තු වන්නකි. කෙනකු තමන් අගය කරනවා දකින්නට කැමැති නම්, තමන් පළමුව අනෙක් තැනැත්තා අගය කළ යුතු ය. කෘතවේදීතාව සම්බන්ධයෙන් ද එය අදාළ ය. අගය කිරීමට, කෘතවේදීතාවට අවශ්‍ය වන්නේ වචන පමණකි. එහෙත්, ඒ සඳහා හිස් වචන ප්‍රමාණවත් නැත. බර වචන හෙවත් හදවතට දැනෙන වචන කතා කළ යුතු ය.

*අනවශ්‍ය සැකය

හේතුවක් නැතුව සැක කිරීම මින් අදහස් කෙරේ. සැකසංකා ඇතිවන්නේ දෙදෙනා දෙදෙනාට විවෘත නොවන නිසා ය. විවාහයෙන් පසු ‘මම’ යන වචනය අහෝසි විය යුතු ය. ‘අපි’ යන වචනය ශක්තිමත් විය යුතු ය. බොහෝ දෙනා ප්‍රේමය සුන්දරයි කියා කීව ද, විවාහය සුන්දර යැයි නොකියන්නේ, ඒ තුළ මුහුණ දෙන්නට සිදුවන අභියෝග නිසාවෙනි. ඒ නිසා, මනා අවබෝධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය. නැතිනම් ඔබගේ ප්‍රේමය හත් අවුරුදු ප්‍රේමයක් වුව ද, විවාහ වී වසරකින් බිඳවැටිය හැකි ය.

ඉහත සඳහන් කාරණා පිළිබඳ අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් ඔබට කිසිඳු මුදලක් වැය නොවේ. අවශ්‍ය වන්නේ ඕනෑකමත්, යහපත් ආකල්පත් පමණි. පෙම්වතුන් ලෙස ප්‍රේම කරනවාට වඩා, විවාහ දිවියට ඇතුළත් වීමෙන් පසු පෙරටත් වඩා ආදරය සමඟ මුසු වූ අවබෝධයක් අවශ්‍ය ම ය. නැතිනම්, හෙට දිනයේ ඔබේ විවාහ ජීවිතය අපායක් බවට පත් වේ. යුගදිවියට ඇතුළත් වීම යනු එවන් තත්ත්වයක් අපේක්ෂා කිරීමක් නොවන නිසා, අවධානයෙන් මේ කාරණා ගැන සිතමු.

 

මනෝවිද්‍යා උපදේශක
දිනුක මදුෂාන් වන්නිනායක

Dinamina පුවත්පතට ‍යොමු කළ ලිපියකි.


ගොවිතැන ගැන කෙරෙන පර්යේෂණ අනුව අනාගතයේ ගොවියා උදැල්ලක් හෝ නගුලක් ගෙන මහපොළව හා ගැටෙන්නේ නැත. හෙතෙම සිය පරිගණකය සමග කාමරයකට වී පහසුවෙන් සිටින්නට ඉඩ තිබේ. යන්ත‍්‍රානුසාරයෙන් ක‍්‍රියාත්මක වන ගොවිපොළවලින් එළවළු, පළතුරු ඇතුළු බව භෝග නිෂ්පාදනය කරන්නට බොහෝ දුරට ඉඩ තිබේ. වේගයෙන් වර්ධනය වන ජනගහනයට ප‍්‍රමාණවත් වන ආහාර නිෂ්පාදනය සඳහා නවීන තාක්ෂණය අත්‍යවශ්‍ය බව පැහැදිලිය. සම්ප‍්‍රදායික ගොවිතැන හෝ වගා ක‍්‍රම අභිබවා යන පද්ධතියක් නිර්මාණය විය යුතුය. ගොවිපොළට රොබෝ ආක‍්‍රමණයක් සිදුවනු ඇත. එය සිහිනයක් නොවේ. පසුගියදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ගොවිබිමට ගැලපෙන රොබෝවරු නිපදවා තිබේ. මහාචාර්ය සාලා සුක්රියා මෙම කණ්ඩායමේ ප‍්‍රධානී වශයෙන් ක‍්‍රියා කරන අතර හෙතෙම ජර්මනියේ පැවැත්වෙන සම්මන්ත‍්‍රණයක දී සියලු අනාවරණ එළිදක්වන්නට සූදානම් කර තිබුණි. ලෝකයේ සීමා මායිම් බිඳ දමන අදහස් යනුවෙන් මෙම ජාත්‍යන්තර සැසිවාරය නම් කර තිබීම විශේෂත්වයකි.

C36C9114 5052 42BF A832 6C6BF01B5FDA

වසර 2050 වනවිට ලෝක ජනගහනය බිලියන 9 ඉක්මවනු ඇත. මෙකී ජනකොටසට ආහාර නිපදවීම පහසු නැත. ආහාර හිඟය ඉදිරියේ විශාල ගැටලු පැන නැගෙන්නට ඉඩ ඇත. දුප්පත්කම ඉහළ යන අතර දැන් පවතින වගා ක‍්‍රම හා නිෂ්පාදනය වැඩි දියුණු කරන පියවර වෙනස් මාර්ගයකට අවතීර්ණ නොවුණහොත් අර්බුදයක් ඇති වෙයි. මිනිස් ශ‍්‍රමයෙන් පමණක් ගොවිතැන් කිරීම පහසු නැත. යාන්ත‍්‍රික මෙවලම් අවශ්‍යය. මෙම යන්ත‍්‍ර හසුරුවන්නට සමත් ශ‍්‍රමිකයන් හිඟය. මිනිස් ශ‍්‍රමයට ගෙවීමට සිදුවන වියදමද සලකා බැලිය යුතු පැත්තකි. ඉහළ වැටුප් හා පහසුකම් සහිතව ගොවිපොළවල සේවය කරන ශ‍්‍රමිකයන් නිපදවන දේ වලට වැඩිපුර පිරිවැයක් දරන්නට සිදුවෙයි. අධික මිලකට එම නිෂ්පාදන විකුණන්ට සිදුවෙයි. ජනගහනය වැඩිවන අතරතුර මිල දී ගැනීමට ධනය නැති පිරිසට එයින් පිළිතුරක් ලැබෙන්නේ නැත. වැටුප් හෝ බෝනස් ගෙවන්නේ නැති එහෙත් සතියේ දින හතක් පැය විසි හතරම වැඩ කරන රොබෝවරැ හොඳම විසඳුමකි. සිඩ්නි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම සාධාරණ අවස්ථා සහිත සමාජයක් වෙනුවෙන් ගොවිපොළට එවන රොබෝවරු ගැන පර්යේෂණ මාලාවක් පවත්වමින් සිටී.

අලුතින් නිර්මාණය කර ඇති රොබෝවරු ගොවිපොළ හා සත්ව පාලන කටයුතු සම්බන්ධ මෙහෙයැවිය හැකිය. කෙත් වතු සකස් කර අස්වද්දන යන්ත‍්‍ර නිපදවා තිබේ. නියමිත පරිදි ඇට හෝ පැළ සිටුවිය හැකිය. නඩත්තුව විශේෂ කාර්යයකි. එයට ගැලපෙන රොබෝ යන්ත‍්‍ර පෙළකි. ඒවායේ සන්නිවේදක තිබේ. කැමරා පද්ධති සවිකර ඇත. වල් පැළ හඳුනාගෙන ඒවා ගලවා ඉවත් කරන්නට එකී රොබෝවරු සමත්ය. අනෙක පස බුරුල් කර පොහොර යොදන්නට ද හැසිරවිය හැකිය. අස්වනු නෙලන කාලයේදී විශේෂ රොබෝවරු සිටී. පැසුණු ගෙඩි හා කරල් තෝරා වෙන්කර නෙලාගැනීමට තරමට බුද්ධිමත්ය. සත්ව පාලනය සඳහා නිපදවා ඇති රොබෝවරු සතුන්ට ආහාරදීම, රැකබලා ගැනීමට දක්ෂය. සතුන් හැසිරෙන අන්දම හා අනෙකුත් ගොවිපොළ කටයුතු ස්වයංක‍්‍රීයව හාම්පුතුන්ට තොරතුරු සන්නිවේදනය කරති. දිවා රාත‍්‍රී නොතකා සේවය කරන හෙයින් විශාල වාසියකි. අනෙක ගොවිපොළ හා සත්ව පාලන කටයුතු වලට නිපදවා ඇති රොබෝවරු සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙයි. අස්වද්දන, පැල සිටුවන, අස්වනු නෙළන සහ ඒවා ප‍්‍රවාහනය කරන රොබෝ යන්ත‍්‍රවල වහළයෙහි සෝලා පැනල් සවිකර තිබේ. 

පරිගණක තාක්ෂණය මගින් දත්ත සම්බන්ධයෙන් විශාල පරිවර්තනයක් කර තිබේ. බිග් ඩේටා අනුව සියල්ල විනිශ්චය කළ හැකි වී තිබේ. රොබෝවරැ අවතීර්ණවීම අනෙක් පියවරකි. සිඩ්නි විශ්ව විද්‍යාලයේ පර් යේෂණ කණ්ඩායම වානිජ වශයෙන් ගොවිපොළ රොබෝවරු නිපදවන්නට තීරණය කර ඇති අතර වසර දෙකකට පමණ කලින් ආරම්භ කරන ලද වැඩපිළිවෙළ සාර්ථකවීමක් සේ දැක්වෙයි. අනෙක පාසල් මට්ටමේ සිට ඉගෙනගන්නා දරුවන්ට තාක්ෂණය හා රොබෝවරුන්ගේන් වැඩගන්නා අන්දම ඉගැන්විය යුතු බවද මහාචාර්ය සාලා සුක්රියා අවධාරණය කරයි.

ඕස්ට්‍රේලියාවෙන් එන වාර්තා එක පැත්තක් පමණකි. ලෝකයේ අනෙක් රටවල්ද විවිධ පර්යේෂණ ආරම්භ කර ඇත. චීනය සම්පූර්ණයෙන්ම කෘත්‍රිම බුද්ධියෙන් පාලනය වන ගොවිපොළ ඉදිකරන සැලසුම් ක්‍රියාවට නගා ඇත. යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කරන ගොවිතැන් කිරීම ආරම්භ කර ඇති බව අනාවරණය වෙයි. ක්ෂින්හුවා පුවත් සේවය වාර්තා කළ පරිදි චීනයේ ෂින්ජියෑන්ග් ප‍්‍රදේශයේ රියැදුරු රහිත ට‍්‍රැක්ටර් ගොවිපොළ සී සෑම කරගෙන යයි. සපයන ලද විධාන අනුව පරිගණකයේ දත්ත කියැවිය හැකි ස්වයං ක‍්‍රියාකාරී ට‍්‍රැක්ටරය නියමිත තීරැවේ ධාවනය කරමින් පොළව පෙරළන අතර එයින් පසු ධාන්‍ය වැපිරීමද සිදුකරයි.  

මහ පොළවේ තත්ත්වය ගැන පරීක්ෂාකාරීව සිටින කෘත්‍රිම චන්ද්‍රිකා දෙකක් චීනය පසුගිය කාලයේ කක්ෂ ගත කළේය. ඒවා කෘෂිකාර්මික අංශයේ තොරතුරු සන්නිවේදනයට පමණක් යොමුකර ඇත. වාතයේ ආර්ද්‍රතාවය, කාලගුණ වෙනස්කම් සහ අස්වැන්න සම්බන්ධ දත්ත මෙමගින් එකතු කෙරේ. මේවා සමග එකතු වන ඩ්‍රෝන යාත‍්‍රා වගා කරන ක‍්‍රමවේදය වෙනස්කර ඇත. මිනිසුන් රහිත ඩ්‍රෝන යාත‍්‍රා වගාවට අවශ්‍ය පොහොර හා රසායනික ද්‍රව්‍ය විසුරුවීමට යොදා ගැනේ. අස්වැන්න නෙළීම එවා ගබඩා කරා යොමු කිරීමද යාන්ත‍්‍රිකව කළ හැකි රොබෝ යන්ත‍්‍ර නිපදවා ඇත.  

ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ගොවිපොළක රොබෝ ශ‍්‍රමිකයන් යොදවන්නේ 2018 වසරේදීය. එම රොබෝ පද්ධතිය සාමාන්‍ය ශ‍්‍රමිකයන්ට සාපේක්ෂව තිස් ගුණයකින් දක්ෂතාව පෙන්වා තිබේ. රෙබෝවරුන්ට ඉල්ලුම වැඩි වී ඇති අතර 2016 වසරට වඩා ගොවිපොළ ස්වයංක්‍රීයකරණ මෙවලම් වෙනුවෙන් කරන ආයෝජනය අද වනවිට සියයට 29 කින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වෙයි. මේවායෙන් පෙන්වන්නේ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඇතිකරන අලුත් වෙනස්කම්ය. නිෂ්පාදන පිරිවැය අඩ ඉටුකරන්නට ඒවා බලපාන අන්දමය. ගොවිපොළ අයිතිකරු කෙතට බැස වැඩකරනු වෙනුවට මෙහෙයවන්නෙකු බවට පත්වන ආකාරය බව පෙන්වා දිය යුතුය. සිදුවන වෙනස්කම් අනුව අලුතින් හිතන්නට නැඹුරැ නොවෙන කෘෂිකර්මයට ගැටලු මතුවෙන්නට ඉඩ තිබේ. ලෝකයේ වෙනත් තැන්වල ඉතා අඩු මිලට නිපදවන විට තාක්ෂණය භාවිතා නොවන ගොවිබිමක නිපදවන දේ වෙනුවෙන් විශාල වියදමක් දරන්නට සිදුවිය හැකිය. අවසානයේදී එයට වන්දි ගෙවන්නේ පාරිභෝගිකයන්ය. 

උපුටා ගැනීම -දේශය පුවත්පත  - මිලින්ද මොරගොඩ මහතාගේ "යුගානුවර්තනය"  

 

වයිට් ස්ටාර් ලයින් නැව් සමාගම 1912 නිපැයූ ඓතිහාසික ඛේදවාචකයට මුල්වූ ලොව අපූර්වතම නෞකාව ටයිටැනික් නැවතත් පුනරුප්පත්තිය ලබන්නටයි සුදානම. වසර 107කට පෙර අත්ලාන්තික් සාගර පත්ලේ ගිලීගිය මුල් නැව හා සර්ව සම ටයිටැනික් 2 නමින් හඳුන්වන අලුත් නැව බ්ලූ ස්ටාර් ලයින් නම් ඕස්ට්‍රේලියානු නැව් සමාගමේ නිපැයුමක් ලෙස කලඑළි බසින්නකි. පුරාවෘත්තයක් බවට පත්වූ නොගිලෙන නැව ලෙස පුරසාරමට ලක්වූ ටයිටැනික් නැව ගැන ඉදිරිපත් වූ මතයක් වුණේ මේ කාලයේ එය හදන්නට ගියොත් අඩුම තරමේ ඩොලර් මිලියන 400ක්වත් වැයවන බවය. ඒ නිසා එය නැවත තැනෙන්නට ඉඩක් නැති අතීතයට අයත් පුරාවෘත්තයක් වනු ඇති බවය. එනමුත් 1997දී මුල් ඛේදවාචකය ගැන හැදූ ටයිටැනික් චිත්‍රපටිය, මේ වෙද්දී ඩොලර් බිලියන 1.84කට වඩා මුදලක් උපයා ඇති නිසා ඕනෑනම් ඒ මුදලින් ටයිටැනික් නැව් එකට පහක් හදන්න පුළුවන් බවට අදහසක්ද ඉදිරිපත්ව තිබුණා. ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙක් වන Clive Palmer මේ අදහස යථාර්ථයක් බවට පත් කරන්නට දැන් වැඩ අරඹා හමාරයි.

 

බ්ලූ ස්ටාර් ලයින් නම් ඕස්ට්‍රේලියානු නැව් සමාගමට අයත් මේ කියන අලුත් ටයිටැනික් II යාත්‍රාව 2022 දී ගමන් ආරම්භ කිරීමටයි නියමිත. මුල් නැවට ගෞරව කිරීමක් වශයෙන් එය ගමන් කළ ගමන් මාර්ගයේම අලුත් නැවත් හා..හා... පුරා කියා ගමන් කරවීමටයි නැව් සමාගම තීරණය කර තිබෙන්නේ. 1912 දී සිය මංගල ගමන සවුතැම්ප්ටන් හා නිව්යෝර්ක් නගර අතර සිදු කිරීමේදී මුල් නැව අයිස් කන්දක වැදීමෙන් මුහුදුබත්ව ගියේ ලෝක ඉතිහාසයේ සදා නොමැකෙන කඳුළු සටහනක් තබමිනුයි.

 

RMS Titanic නෞකා අනතුර ඉතිහාසයේ සිදුවූ දරුණුම නාවික අනතුර වශයෙන් සැලකෙනවා. එවකට ලෝකයේ ඉහළම ඉංජිනේරු තාක්ෂණයෙන් නිපදවා තිබූ විශාලතම චලනය වන වස්තුව (Largest moving object ever built) වූයේද Titanic නැවයි. කිසිදා නොගිලෙන නෞකාවක් (An unsinkable ship) ලෙස සැලකුණු Titanic නෞකාව සිය ප්‍රථම ගමනේදීම උතුරු අත්ලාන්තික් සාගරයේදී විශාල පාවෙන අයිස් පර්වතයක ගැටීමෙන් සමස්ත ලෝකමය කම්පාවට පත්කරමින්‍ මුහුදුබත් වූණා.

එවකට විශාලතම නෞකාව ලෙස ලෝ සුපතල වූ නෞකාව අඩි 900 ක් දිගින් සහ මහල් 25ක උසකින් ද යුක්ත වුණා. යුගයේ හොඳම තාක්ෂණය උපයෝගී කරගෙන නිපදවූ Titanic ටොන් 46000 ක ඇදහිය නොහැකි ස්කන්ධයකින්ද සමන්විත වුණා. විශේෂතම කරැණ නම් මෙය සැලකුණේ කිසිදා නොගිලෙන නෞකාවක් (An unsinkable ship) වශයෙන් වීමයි. ඊට හේතුවක් තිබුණා. සාගරයේදී සිදුවිය හැකි දරුණුම අනතුර වන්නේ නෞකා 2 ක් එකිනෙක ගැටීමයි. එවැනි අනතුරකට මුහුණ දුන්නත් Titanic නැව මුහුදේ දින 2- 3 ක් සුරක්ෂිතව පාවෙමින් තිබෙන ආකාරයටයි නැව නිර්මාණය කර තිබුණේ. සාමාන්‍යයෙන් අනතුරකදී එම කාලය වෙනත් නැවක සහය ලබාගන්න හොඳටම ප්‍රමාණවත්. කෙසේ නමුත් ඒ සියලු විශ්වාස පුස්සක් කරමින් 1912 අප්‍රේල් 14 වැනිදා Titanic නැව අයිස් කුට්ටියක වැදීමෙන් පසු පැය 3 ක් ඇතුළත සම්පූර්ණයෙන්ම මුහුදුබත් වී ගියා.

1912 අප්‍රේල් 10 වැනිදා එංගලන්තයේ සවුත්හැම්ස්ටන් වරායෙන් RMS Titanic නැව දියත් වුණා. නැවේ ගමනාන්තය වූයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගර වරාය. නැව් කාර්ය මණ්ඩලයට අමතරව 2227ක මගීන් පිරිසක් මෙහි යාත්‍රා කළා. නමුත් ගමනාන්තය වූ නිව්යෝර්ක් වෙත ළඟා වූයේ මුලු පිරිසෙන් තුනෙන් එකකටත් අඩු ප්‍රමාණයක් පමණයි.

1912 අප්‍රේල් 14 වැනිදා රාත්‍රි 11.35ට පමණ අති විශාල අයිස් කන්දක් නෞකාවට සැතපුම් කාලක් පමණ ඉදිරියෙන් දර්ශනය වුණා. නැව් කාර්ය මණ්ඩලය වහාම නැවේ වේගය අඩාල කර හැරවීමට උත්සහ කළත් නෞකාවක් අති දැවැන්ත ස්කන්ධය නිසා එය ඉතාමත් අපහසු වුණා.

රාත්‍රී 11.40ට Titanic අයිස් පර්වතය හා වේගයෙන් ගැටුණු අතර අඩි 900ක් වූ නැව් බදේ අඩි 300 කට ඉන් හානි වුණා. ගැටීමෙන් නැවේ ප්‍රධාන අංගන 16න් 6 කට දරුණු ලෙස හානීවී තිබුණා. මධ්‍යම රාත්‍රිය එළඹෙන විට නැවේ පහල අංගන ක්‍රමයෙන් ජලයෙන් පිරෙමින් පැවතුණා.

අළුයම 1.20 වනවිට ජලය ක්‍රමයෙන් ඉහළට පැමිණෙමින් පැවතුණා. 2.00 පමණ වනවිට නැවේ ඉදිරි කොටස දක්වාම ජලය පිරී තිබුණා. එක්වරම නැවේ අවරපෙති (propellers) සහිත කොටස ජලයෙන් ඉහළට එසවුණා. නෞකාව සුවිසල් ස්කන්ධයකින් යුක්ත වූ නිසා මධ්‍යයෙන් දෙකට වෙන්වුණා. 20 වන සියවසේ මුල් භාගයේ මිනිසා විසින් නිපදවූ විශාලතම චලනය වන වස්තුව සිය අවසන් ගමන් ගියේ ඒ අයුරින්. ගණිතයානුකූලව නෞකාවේ විනාශයට ඍජුවම බලපෑ කරුණ අයිස් පර්වතයේ ගැටීම වුවත් ඊට අමතරව වක්‍රව බලපෑ කරුණු රාශියක් තිබෙනවා.

Titanic නැවට හානි කළ උතුරු අත්ලාන්තික් සාගරයේ පාවෙන අයිස් කුට්ටිවල කතාව ආරම්භ වූයේ මීට වසර 3000 කට පමණ ඉහත සිටයි. ග්‍රීන්ලන්තයේ සිට කඩාවැටෙන හිම කවදාවත් දිය නොවේ. එලෙස පහළට කඩාහැලෙන හිම දීර්ඝ කාලයක් සම්පීඩනය වීමෙන් විශාල ග්ලැසියර බවට පත්වේ. නමුත් ඒවායේ ඇති සුවිසල් ස්කන්ධය නිසා මේවා මුහුදට වැටී දිනකට අඩි 65ක් පමණ අත්ලාන්තික් සාගරයේ එහා මෙහා චලනය වේ. ඇතැම් අයිස් කුට්ටි අඩි 670ක් පමණ දිගින් හා අඩි 240ක් පමණ උසකින්ද යුක්ත වේ. Titanic නැව හා ඝට්ටනය වූයේද එවැනි විශාල අයිස් කන්දකි.

කෙසේ නමුත් උතුරු අත්ලාන්තික් සාගරයේ මෙලෙස පාවෙන අයිස් කඳු නාවිකයන්ට නම් නුහුරු නුපුරුදු දේවල් නොවේ. අනෙක් අතට එදා නැවේ කපිතාන්වරයා වූ ජෝන් ස්මිත් ඉතාමත් පලපුරුදු කපිතාන්වරයෙකි. ඒ නිසා ඔහුට මෙවැනි අයිස් පර්වත අනපේක්ෂිත අලුත් දෙයක් විය නොහැකිය. ඇතැම් විට Titanic නැවේ ඇදහිය නොහැකි ස්කන්ධයත්, ශක්තිමත් භාවයත් නිසා එදා ඔහු මෙවැනි පාවෙන අයිස් කඳු සුළුකොට තකන්නට ඇති. කෙසේ නමුත් අවසාන ප්‍රතිඵලය වූයේ ගමන් කළ මුලු මගීන් 2227 න් 1517 කට මහමුහුද සොහොන බවට පත්වීමයි. 1900-1912 වර්ෂවල නිරීක්ෂිත පාවෙන අයිස් කුට්ටිවල දත්ත අනුව කැපී පෙනෙන විශේෂත්වය නම් 1912 වර්ෂයේ ඉතාමත් වැඩි වශයෙන් පාවෙන අයිස් කඳු නිරීක්ෂණය කරන්නට හැකි වීමය. මීට අමතරව Titanic නිර්මාණයේදී භාවිතා කළ ඉංජිනේරු තාක්ෂණික දෝෂයන්ද මේ අනතුරට වක්‍රව හේතු සාධක වූ බවයි විද්වතුන්ගේ අදහස.

අලුතෙන් ටයිටැනික් නිවුන් නැව තනන බ්ලූලයින් සමාගම ඔවුන්ගේ ප්‍රධාන මූලස්ථානය පැරිස්වල පිහිටුවා තිබෙනවා. මෙවර මෙම නොගිලෙන සිහිනය සැබෑ කරගන්නට සිතට ගත් ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙක් වන Clive Palmer මෙම ටයිටැනික් 02 ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දෙ 2012 වර්ෂයේදීය. මේ ව්‍යාපෘතියේ අවසානයත් සමග චීනයේ Jiangsuහි සිට ඩුබායි දක්වා පළමුවරට යාත්‍රා කිරීමට හැකිවනු ඇති බවයි ඔහුගේ බලාපොරොත්තුව. 1912 වසරේ අනපේක්ෂිත ලෙස මුළු ලොවම කම්පාවට පත්කරමින් අයිස් කුට්ටියක ගැටී ජීවිත විශාල සංඛ්‍යාවක් සමඟ මුහුදුබත්වූ ටයිටැනික් නෞකාවේම සර්වසම ප්‍රතිනිර්මාණයක් ලෙසය මෙම අලුත් නෞකාවද සකස් කොට ඇත්තේ. නමුත් මෙවර එහි ආරක්ෂාව මෙන්ම මගී ආරක්ෂණය ගැනද දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. මගීන් 2700කට ප්‍රමාණවත් ලෙස මෙයට ජීවිත ආරක්ෂක යාත්‍රා පහසුකම් සකසා තිබෙනවා.

මගීන් 1680කට පහසුවෙන් ගමන් කළ හැකි මෙහි උපරිම මගී ධාරිතාවය 2435ක් බවයි කියන්නේ. ඊට අමතරව නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් සේවකයන් ගණන 900ක් වනවා. අති නවීන ඩිජිටල් තාක්ෂණයෙන් මෙහි පාලක මැදිරිය බලගන්වා ඇති අතර සැටලයිට් සහ රේඩාර් සඥා පද්ධතිය නවීනම තාක්ෂණික ප්‍රමිතීන් යටතේ සකස් කොට තිබෙනවා.

මීටර් 270ක් දිගින් යුතු මෙම නෞකාවේ උස මීටර් 53ක් වේ. බර ටොන් 40000කි. තට්ටු 9ක් ඇති ටයිටැනික් 02 නෞකාවේ මගී කාමර 840ක් ඇත. සුඛෝපභෝගී ව්‍යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක්, පුස්තකාලයක් මෙන්ම සුපිරිම ගණයේ භෝජන ශාලා සහ කාමර පිහිටා ඇත. මුල් ටයිටැනික් නැවේ පිටත හා අභ්‍යන්තර අලංකරණය කර තිබූ ආකාරයටම එම ටයිටැනික් නැවටම ආවේණික වූ ප්‍රධාන පඩිපෙළ පවා මෙම ටයිටැනික් II යාත්‍රාවේද නිර්මාණය කර තිබෙනවා. ටයිටැනික් II ට ආසන්න වශයෙන් මගීන් 2,400 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 900 ක් පමණ රැගෙන යාමට හැකියාව ඇති බවයි කියන්නේ. පළමු ටයිටැනික් නෞකාවේ ගිලාබැසීමෙන් වසර 106කට පසු යාත්‍රා කිරීමට සූදානම් මෙම නෞකාව 21 වන සියවසේ නෞකාව ලෙස හඳුන්වා දී තිබෙනවා.

► සුගත් පී කුලතුංගආරච්චි

By: Deshaya

Page 3 of 22