Wednesday, 16 July 2025

ළමයින් සිඟමනේ යෙදවීමට නීතියෙන් තිත Featured

Posted On Thursday, 03 July 2025 17:21

ළමයින් සිඟමනේ යෙදවීමට නීතියෙන් තිත

 

අවුරුදු 16 ට අඩු දරුවන් වීදියේ සිඟමනේ යෙදවීම ජූලි 01  සිට සපුරා තහනම්

වයස අවුරුදු 16 ට අඩු ළමයින් සිඟමනේ යෙදවීම, වෙළෙදාම් කටයුතුවල යෙදවීම සහ වයස අවුරුදු 16- 18 අතර ළමුන් ගෘහ සේවය ඇතුළු අනතුරුදායක රැකියාවල යෙදීම ජූලි මස 01 දින සිට සපුරා තහනම් කිරීමට හැකි වන පරිදි දැනට පවතින නීතිමය විධිවිධාන දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පසුගියදා (25) කැබිනට් අනුමැතිය හිමි විය .

“ වීදියේ සිඟමන් යදින වෙළඳාමේ යෙදෙන සහ වෙනත් අනාරක්ෂිත රැකියා ක්ෂේත්‍රවල යෙදෙන දරුවන් වෙනුවෙන් තාවකාලික පරිත්‍යාග ලබා දීම වෙනුවට ඔවුන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් සහ සමාජ සුරක්ෂිතභාවය පිළිබඳ අයිතිවාසිකම් තහවුරු කිරීම අප රජයේ අරමුණයි. ’’

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මේ බව ප්‍රකාශ කළේ ජුනි මස 12 වැනිදාට යෙදී තිබූ ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදීය.

සෑම වසරකම ජුනි මස 12 වැනිදාට යෙදෙන ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනයේ මෙවර තේමාව වූයේ සුරක්ෂිත නිරෝගී පරපුරක් යන්නයි. සෑම වසරකම මෙම දිනය සමරමින් ළමා ශ්‍රමිකත්වයට එරෙහි පාගමන් දැනුවත් කිරීම් යනාදී වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව සිදු කරන අතර මේ වසරේ සමරනු ලැබූ ළමා ශ්‍රමිකත්වයට එරෙහි දිනය තවත් එක් පා ගමනකට සීමා නොවී තවත් එක් දැනුවත් කිරීමකට සීමා නොවී දරුවන් වෙනුවෙන් හඩක් නඟන දරුවන් මහමඟට නොවැටෙන රටක් බවට පත් කරන බව ළමා කටයුතු අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

මෙම මාධ්‍ය සාකච්ඡාවෙන් දින කිහිපයකට පසු වාර්තා වූයේ වීදි ආශ්‍රිතව සිඟමනේ සහ රැකියාවල යෙදෙන දරුවන් ආරක්ෂිත කිරීමේ මෙහෙයුම ආරම්භ වී ඇති බවයි. ඒ් අනුව ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා එක්ව සිදු කරන ලද මෙහෙයුම් මගින් අනාරක්ෂිත දරුවන් 21ක් දිස්ත්‍රික්ක රැසකින් හඳුනා ගෙන ඇති අතර මෙම අනාරක්ෂිත බාල වයස්කාර දරුවන් ආරක්ෂිත භාරකාරත්වයන්ට පත්කිරීමට කටයුතු කර තිබේ.

අධ්‍යාපනය ලැබිය යුතු වයසේ දරුවන් වීදිවල සිඟමනේ යෙදීම සහ අන්තරායකර රැකියාවන්වල යෙදවීම සම්බන්ධයෙන් මෙරට ශක්තිමත් නීති පද්ධතියක් පවතී . 2022 අංක 39 දරන ළමයින් හා තරුණ තැනැත්තන් (සංශෝධන) පනතට අනුව 18 ට අඩු සියලුම දරුවන් ළමයින් ලෙස සලකන අතර වයස අවුරුදු 16 දක්වා දරුවකු අනිවාර්ය අධ්‍යාපනය ලැබිය යුතු වයස ලෙස සැලකේ. 16 ට අඩු දරුවෙකු පාසල් අධ්‍යාපනයට යොමු නොවනවා නම් ඒ සඳහා විරුද්ධ වීමට නීතිමය ප්‍රතිපාදන පවතී.

2024 වර්ෂයේ දත්තවලට අනුව රජය, ස්වේච්ඡා සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන මඟින් රට පුරා පවත්වාගෙන යනු ලබන ළමා සංවර්ධන මධ්‍යස්ථාන 356 ක ළමුන් 9191 ක් පමණ නේවාසිකව රැකවරණය ලබමින් සිටියි.

2025 වර්ෂය සඳහා අයවැය මගින් ආයතනික රැකවරණය හා භාරකාරත්වයේ සිටින ළමුන් සඳහා මාසිකව රුපියල් 5000 ක දීමනාවක් ලබා දීම සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 1000 ක්.

එම යෝජිත ජීවන වියදම් දීමනාව වඩාත් ඵලදායි වන අයුරින් ලබා දීම සඳහා රුපියල් 5000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 3000 ක් භාරකාරීත්වය යටතේ සැලසිය යුතු අධ්‍යාපන, සෞඛ්‍ය සහ අනෙකුත් සුබසාධන වියදම් වෙනුවෙන් ළමයා රැදී සිටින සංවර්ධන මධ්‍යස්ථානයට හෝ භාරකාරිත්වය දරන්නාට ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා ලබා දීමටත් ඉතිරි රුපියල් 2000 ක මුදල දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ජාතික ඉතිරි කිරීමේ ගිණුමක මාසිකව තැන්පත් කිරිමටත් පසුගියදා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සටහනට ද අනුමැතිය හිමි විය.

දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන ශක්තිමත් නීති පද්ධතියක් පවතිද්දීත් දරුවන් සුරක්ෂිත කිරිමේ වැඩපිළිවෙළ හා සම්බන්ධව කටයුතු කළ හැකි ග්‍රාම නිලධාරී , පරිවාස නිලධාරී, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි, මුල් ළමා විය සංවර්ධන නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරී ,සමාජ සේවා නිලධාරී, කාන්තා සංවර්ධන නිලධාරි ,ජාතික ළමා රක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය නිලධාරී, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ දරුවන් පිළිබදව සොයා බලන නිලධාරී සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ප්‍රාදේශීය නිලධාරී යනාදී වශයෙන් නිලධාරීන් රැසක් සිටියදී තවමත් මෙරට දරුවන් මහමඟට වැටේ නම් ඔවුන්ගේ අධ්‍යාපන අයිතීන් අහිමි වේ නම් ඒ පිළිබඳව යළිත් සිතා බැලිය යුතු නොවේද?

වත්මන් රජයේ අරමුණ වන්නේ මෙවන් දරුවන් ආයතනගත කිරීමට වඩා දරුවෙකුට විකල්ප රැකවරණයට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා ක්‍රියාත්මක විය හැකි යාන්ත්‍රණයක් සකස් කිරිමයි.

මේ සියලුම නිලධාරීන් සම්බන්ධ කරගෙන බිම් මට්ටමේ සිට ඒකාබද්ධ යාන්ත්‍රණයකින් දරුවන් සුරක්ෂිත කිරිමේ වැඩපිළිවෙළ ක්‍රිියාත්මක කරන බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යවරිය අවධාරණය කරයි . විශේෂයෙන් ම බිම් මට්ටමේ සිටින නිලධාරීන් සමඟ සම්බන්ධ වී ග්‍රාම නිලධාරී මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් මෙම වැඩපිළිවෙළ සක්‍රිය කර අවදානම් සහගත දරුවන් හඳුනා ගෙන ඔවුන්ට අවශ්‍ය රැකවරණය ලබා දීමට කටයුතු යොදන අතර එම ඒකාබද්ධ යාන්ත්‍රණ වැඩපිළිවෙළ මේ වන විටත් ආරම්භ කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

විශේෂයෙන්ම සිඟමනේ යෙදෙන , භාණ්ඩ අලෙවි කරන , අන්තරායකර රැකියාවන්වල නිරත වන දරුවන් හඳුනාගත්විට ඒ සඳහා 1998 අංක 29 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ III වන වගන්තිය මගින් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමේ හැකියාව පවතී.

ජාතික ළමාරක්ෂක අධිකාරී පනතට අනුව ස්ත්‍රීන් තරුණ අය සහ ළමයින් සේවයේ නියුක්ත කිරීමේ පනතේ ප්‍රතිපාදන කඩ කරමින් යම් ළමයෙකු සේවයේ යෙදුවහොත් එය ළමා අපචාරයක් ලෙස සැලකිය යුතු බවට ජාතික ළමාරක්ෂක අධිකාරී පනතේ සඳහන් වෙයි. ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රාජපක්ෂප මහත්මිය පවසන්නේ අපචාර ක්‍රියා බහුලවම සිදු වුවත් වාර්තා වීම 5% ක් වත් ඉක්මා නොයන බවයි.

අදහස් දක්වන සභාපති ප්‍රීති ඉනෝකා රාජපක්ෂ මහත්මිය -

‘’මෙවැනි සිදුවීම් වාර්තා වීම අවම නිසා අපි වින්දිතයින් වෙනුවෙන් ළමා හිතකාමී වැඩපිළිවෙළක් සකසල තියෛනවා. 1929 ළමා උපකාරක දුරකතන සේවාව. මේ සම්බන්ධයෙන් ඕනෑම දරුවෙකුට හෝ ඔවුන්ගේ භාරකරුවෙකුට තමන්ගේ නමින් හෝ හෝ නිර්නාමිකව පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුඵවන්. ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණ වාචික පැමිණිල්ලක් වුනත් ඉදිරිපත් කරන්න පුළුවන්.පැමිණිල්ලක් නොමැති වුව ද සමාජ මාධ්‍යයේ සැලකිය යුතු සිද්ධියක් වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් වුව ද විමර්ශනයන් සිදු කිරීමට අපිි වගබලා ගන්නවා. ’’

ජාතික ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මෙන්ම පරිවාස දෙපාර්තමේන්තුව ද දරුවන් සුරක්ෂිත කිරිමේ වැඩපිළවෙළ හා කටයුතු කරන පුමුඛ රාජ්‍ය ආයතනයක්. පරිවාස දෙපාර්තමේන්තුව යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හාරසියයක් පමණ නිලධාරීන් කටයුතු කරයි. යම් කිසි පවුලක වින්දිතභාවයට පත් විය හැකි දරුවෙකු සිටිනවා නම් එයට ඉක්මන් ප්‍රතිචාර දක්වා කටයුතු කිරීම මෙම නිලධාරීන්ගේ වගකීමයි.

ළමා ශ්‍රමය සම්බන්ධයෙන් රජයේ ආයතනයක් ලෙස නීතිය ක්‍රියාත්මක කිරිමට බලතල හිමිව ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවටයි. කම්කරු කොමසාරිස් (ශ්‍රම ප්‍රමිති) එන්.ආර්. රණවක මහත්මිය පවසන්නේ වයස අවුරුදු 18 ට අඩු තැනැත්තන් සේවයේ යෙදීමේදි අදාළ කරගත යුතු අනතුරුදායක රැකියා ලැයිස්තුවක් 2021 නොවැම්බර් 18 වනදා සිට සංශෝධනය කර ඇති බවයි. ඒ අනුව අනතුරුදායක රැකියා ලැයිස්තුවේ රැකියා 71 ක් මේ වන විට නීතිය හමුවේ බලාත්මක වී තිබේ. ඒ යටතේ 2021 සංශෝධනයෙන් ගෘහ සේවය ඇතුළත් කර තිබේ. ඊට අමතරව ස්පාවල වැඩ කිරිම , මානසික යහපැවැත්මට හානිදායක වන්නාවු පරිගණක හෝ ඉලෙක්ට්‍රොනික උපාංගයන්ට අදාළ කටයුතුත් ළමයාගේ සෞඛ්‍යයට ආරක්ෂාවට හා සදාචාරයට හානිවන ක්ෂේත්‍ර ලෙස දක්වා තිබේ.

ඒ අනුව මේ වන විට දරුවන් සුරක්ෂිත කිරිමේ කාර්යය වෙනුවෙන් ශක්තිමත් නීති පද්ධතියක් මෙරට ක්‍රියාත්මක වන බව කම්කරු කොමසාරිස් අවධාරණය කරයි.

මෙලෙස වීදියේ සිඟමන් යැදීම, වෙළෙඳාම, අන්තරායකාරී රැකියාවල යෙදෙන හෝ වෙනත් කවර හෝ ආකාරයකින් අනාරක්ෂිත තත්ත්වයේ සිටින දරුවන් පිළිබඳ තොරතුරු ජාතික ළමා රක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක සේවය , පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ 109 හදිසි ඇමතුම් සේවය වෙත දිවයිනේ ඕනෑම පොලිස් ස්ථානයක් මගින් හෝ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ක්ෂේත්‍ර නිලධාරීන් වෙත දැනුම් දීමෙන් ඔවුන්ගේ අනාගතය වඩාත් සුරක්ෂිත කිරීමට කටයුතු කිරිම අප සැමගේ වගකීමකි.

- ඉරේෂා මධුරකාවිනී -

රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

Read 12 times