Thursday, 28 March 2024

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අතරමංව සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 320 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නැවත සියරට

Posted On Monday, 01 March 2021 08:53

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අතරමංව සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 320 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නැවත සියරට

 

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සමඟ එක්ව අතරමංව සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 320 දෙනෙකු 2021 පෙබරවාරි 25 වැනි දින මස්කට් හි සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය මඟින් ආපසු ගෙන්වා ගැනීම සඳහා විශේෂ විධිවිධාන යෙදීය.

වීසා බලපත්‍ර කල් ඉකුත්වීමෙන් පසුව ඕමාන සුල්තාන් රාජ්‍යයේ රැඳී සිටි අතරමං වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 81 කට වැඩි පිරිසක් මෙයට ඇතුළත් ය. අනෙකුත් අය අතර, රැකියා අහිමිවූ, තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවාසයේ රැකවරණය ලැබූ, බන්ධනාගාරවලින් නිදහස් වූ සහ වෛද්‍ය හදිසි අවස්ථා යටතේ සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් ද වූහ.

මෙම ශ්‍රී ලාංකික අසරණ සංක්‍රමණික සේවකයින්ට ඔවුන්ගේ දඬුවම් සහ දඩ මුදල් සම්පූර්ණයෙන් අත්හැර දමා ඕමාන් රාජ්‍යයෙන් පිටත්ව යාම සඳහා ඕමාන් රජය පොදු සමාවක් ලබා දුන්නේය. මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඔවුන්ට ආපසු සිය රට බලා යාමට අවශ්‍ය ගමන් ලිපි ලේඛන නොමිලේ ලබා දෙන ලදී. ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා අසරණ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් සිය දඬුවම්/දඩ මුදල්වලින් නිදහස් කොට ආපසු සිය රට බලා පැමිණීම සඳහා ලබා දෙන ලද නොමසුරු අනුග්‍රහය වෙනුවෙන් සුල්තාන් හයිතම් බින් තාරික් රජතුමාගේ රජය වෙත සිය කෘතඥතාව පළ කළේය.

මෙම අසරණ වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 320 දෙනා සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත පැමිණීමෙන් පසු, ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වූ අතර, ඔවුන් සියලු දෙනාටම දින 14 ක් සඳහා නවාතැන්, ආහාර සහ වෙනත් පහසුකම් සහිතව නිරෝධායන පහසුකම් රජය විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක දී ලබා දීමට කටයුතු කෙරිණි.