Friday, 29 March 2024

mbm 163027

අනාගත පරපුරට රටක් - දරුවන්ට හොඳ අනාගතයක් තනන ගමනක සිටි ශ්‍රී ලංකාව දරුණු විනිමය අර්බුදයකය. එදිනෙදා අවශ්‍ය ප්‍රමාණයට තීරණ ගන්නා තත්ත්වයට වැටී තිබේ. ඉන්ධන හිඟය. ගෑස් නැත. විදුලිය කප්පාදුව අද වන විට අවසන් වන බව කියැවේ. අවශ්‍ය කරන බෙහෙත් වර්ග පවා ආනයනය සීමා කර ඇත. නැවත වටයකින් ආනයනික ද්‍රව්‍ය පාලනයක් ගැන අවධානය යොමු වී ඇති වකවානුවකි.

ආර්ථිකය කළමනාකරණය කර ගැනීම උගහටය. ආණ්ඩුව තුළ ප්‍රශ්න මතු වී තිබේ. විස¾දුමක් කරා ගමන් කරන්නට කරන යෝජනා නොසලකා හැරීම ගැන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එළිපිට කැරැල්ලක් මෙහෙයවමින් සිටී. ආණ්ඩුවට සම්බන්ධ පිරිස්, විපක්ෂය, විද්වතුන් රට නැවත ගොඩනඟන අදහස් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත. 

වියදම අඩු කිරීම වෙනුවට ආදායම වැඩි කර ගැනීම

ජන සමාජයේ අප සියලුම දෙනාට පොදු ධර්මතාවක් තිබේ. පහළට වැටෙන්නට කැමැති නැත. එදිනෙදා ගත කරමින් සිටි ජීවිතයෙන් පහළ තැනකට වැටීම ප්‍රශ්නයකි. ආණ්ඩුව තුළ හා ආණ්ඩුවෙන් පිටස්තර පිරිස් යෝජනා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනාවල කැපී පෙනෙන එක කාරණයක් ඇත. අඩු කිරීම්ය. සීමා කිරීම්ය. මෙම සීමා පහළ පෙළැන්තියට පමණකි. මැති ඇමැතිවරුන්ගේ විදුලිය බිල, වාහන පරිහරණය, වැටුප් හා දීමනා, විදේශ සංචාර ගැන අවධානයක් නැත. පටි තදකරගත යුතු සාමාන්‍ය ජනතාව පමණක්ද යන විමතිය ඇතිවේ. දුප්පතාගේ බස් රථය නතරවන නමුත් ඇමැතිවරුන්ගේ හා නිලධාරීන්ගේ වාහන පුරුදු පරිදි එහා මෙහා යයි. දැන් පවතින ආර්ථික ගැටලු නිරාකරණයට හදිසි සාකච්ඡා සඳහා විය හැකිය. නිදහස ලැබුණ දවසේ සිට තිබුණ හදිසි සාකච්ඡා අවසානයේදී රට ගෙනැවිත් තබා ඇති තැන ඍණ ආර්ථිකයකි. ණය ගෙවා ගත නොහැකි සමාජයකි. මැති ඇමැතිවරු පමණක් නොව රජයේ නිලධාරීන්ද පවතින දරුණු පීඩනය ගැන වගකිව යුතුය. 

රටට අවශ්‍ය වියදම අඩු කිරීම නොවේ. අවශ්‍ය තරමට වියදම හොයා ගන්නා වැඩපිළිවෙළකි. ප්‍රමාණවත් ආදායමක් උපයා ගෙන ණය ගෙවන්නටත්, අත්‍යවශ්‍ය දේ ආනයනයටත් මඟ පාදා ගැනීමකි. 

අය - වැය වාර්තා පෙන්වන පරිදි ජාතික ආදායම අඩු වී තිබේ. වියදම ඉහළ නැඟ ඇත. රට තුළ උද්ධමනය වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. ආහාර මිල ගණන් සියයට විසි පහකින් වැඩි වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දක්වයි. මහ බැංකුව දක්වන පරිදි විදේශ විනිමය සංචිත දරුණු පිරිහීමකය. ත්‍රස්තවාදය පරාජය කරන දැවැන්ත යුද මෙහෙයුමක් පැවැති කාලයේදී පවා නොතිබුණ තරමට විනිමය සීමා වී ඇති බව කියැවේ. විදේශ රටවලට ගෙවිය යුතු ණය පියැවීම අවහිර වී ඇති අතර දිගින් දිගටම කල් ඉල්ලන්නට සිදුවී ඇත. එය සුදුසු පියවරක් නොවේ.

වර්ධනයක් ඇති කරන පියවරවලින් හුස්මක්

ආර්ථිකයට හුස්ම ගැනීම සඳහා වර්ධනයක් ඇති කළ යුතුය. එදා වේල පිරිමසා ගැනීම අරමුණු කරගෙන ගන්නා තීරණවලින් වර්ධනයක් ඇති නොවේ. ආනයන අඩු කරන පසු සිදුවන්නේ කුමක්ද? රේගු බදු පහත වැටේ. වරායෙන් ගෙන්වන දේ නිෂ්පාදන, සේවා හා අලෙවි අංශවලට යොමුවේ. එම අංශවල ලක්ෂ ගණනක පිරිසක් නිරතය. නැවත නැවතත් කරන චක්‍රිය ගනුදෙනුවලින් යැපෙන ප්‍රවාහයක් සිටී. විදේශ විනිමය හිඟය අනුව ආනයනය නතර කරන සේ යෝජනා කිරීම පහසුය. තවත් වටයකින් ආර්ථිකය හිරවන විට තැළෙන පෙළෙන ජනතාවගේ ජීවිත ගැන අවධානය යොමු කරන්නේ කොතැනින්ද? 

ආනයන යනු තවත් රටකින් ගෙන එන දේ බව මතක තබාගත යුතුය. ඇපල් සහ මිදි ප්‍රතික්ෂේප කළ හැකිය. එය ජාත්‍යන්තර වෙළෙඳාමේ එක පැත්තකි. ඇමෙරිකාවෙන් ඇපල් ගෙන්වන අතර එයට හිලව් වශයෙන් ඇඟලුම් මිලදී ගනී. ඇපල් ප්‍රතික්ෂේප කරන පසු ඇඟලුම් පමණක් මිලදී ගන්නට සූදානම්ද? කහ ආනයනය නතර කළ පසු ඉන්දියාවේ වගාකරුවන්ට ප්‍රශ්න මතු විය. වාහන ආනයනය නතර කළ පසු ඒවා නිපදවන හා ප්‍රතිඅපනයනය කරන රටවලට දැනෙන කාරණයක් විය. ශ්‍රී ලංකාව කුඩා රටකි. කුඩා වෙළෙඳපොළකි. එම වෙළෙඳපොළ අවහිරවීමද කිසියම් පිරිසකට දැනෙන කාරණයක් බව අමතක කළ යුතු නැත. 

ආර්ථිකයට හුස්ම ගැනෙන්නට නම් වර්ධනයක් වුවමනා කෙරේ. පිබිදීමක් අවශ්‍යය. සාමාන්‍යයෙන් ආර්ථිකයක් ඍණ අගයකට පත් වූ පසු නැවත වර්ධනයක් සිදුවේ. වෙළෙඳපොළ සිද්ධාන්තයකි. සුදුසු පියවර අනුව තීරණ ගැනීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි. ශ්‍රී ලංකාවට වෙළෙඳ ගිවිසුම් තිබේ. ජාත්‍යන්තර සම්බන්ධතා ඇත. තානාපති කාර්යාල ප්‍රධාන රටවල  තිබේ. පවතින නිෂ්ක්‍රිය තත්ත්වය වෙනුවට වෙනස්කම් සඳහා සහාය ලබා ගැනීම වරදක් නොවේ.

විදේශ විනිමය උච්ඡාවචනය වැළැක්වීම දැනට පවතින විනිමය හිඟය තවත් උග්‍ර කරන හේතුවක් බව පෙනේ. වේගයෙන් අවප්‍රමාණය වනු ඇති බවට මතු වූ සැකය පදනම් කරගෙන තද රෙගුලාසි පනවා ඇත. ඊයේ එනම් මාර්තු හත්වැනිදා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ගත් තීරණය අනුව  විනිමය අනුපාතිකය තරමක් ලිහිල් කර තිබේ. මෙතෙක් පැවැති ඇමෙරිකානු ඩොලරයකට රු. 201.00ක් මිල නියම කර අතිරේකව රු. දහයක් ගෙවන තීරණය වෙනුවට රු.230.00ක මිලක් නියම කර තිබේ. රටට විනිමය ලැබෙන මඟ අවහිරවීම එයින් මඟ හැරෙන්නේ නැත. නීත්‍යනුකූල විනිමය වෙළෙඳපොළට එපිටින් සංචිත හැදෙමින් තිබේ. ප්‍රධාන නගරවල වෙළෙන්‍ෙදා් රුපියල් දෙසියපනහ දක්වා මිලකට ඩොලර් මිලදී ගනිමින් සිටිති. විදේශ ගතවන සහ පිටරටවල් සමඟ ගනුදෙනු කරන පිරිසට විනිමය ලැබෙන්නේ එතැනින්ය. විකුණුම් මිල රු. දෙසියහැත්තෑව දක්වා නැඟ තිබේ. බි්‍රතාන්‍ය පවුමක් රු. තුන්සිය හතළිහකි. මෙම මිල පවතින පසුබිම තුළ රටට එන විනිමය වාණිජ බැංකුවලට නොලැබීම පුදුමයක් නොවේ. සංචාරකයන්ට හෝටල් ගාස්තු විදේශ විනිමයවලින් ගෙවන සේ යෝජනා කළ පසු වාණිජ බැංකුවලට විනිමය ලැබෙන්නේ කෙසේද? 

මෙම තීරණාත්මක අවස්ථාවේදී රෙගුලාසි ලිහිල් කළහොත් රටට විනිමය ලැබීම ඉක්මන් වනු ඇත. පිටරටවල සේවය කරන පිරිස වැනි කොටස් ගෙන එන විනිමය සඳහා වැඩි රුපියල් ප්‍රමාණයක් නීත්‍යනුකූලව ලැබෙන පසු ඒවා සාමාන්‍ය ජනතාවගේ ආදායම වැඩි කරන හේතුවකි. ලක්ෂ විස්සකට වැඩි විදේශ ගත ශ්‍රමිකයන් පිරිසක් සිටින අතර ඔවුන් එවන විනිමය මෙරට වැඩිම ආදායම බව සඳහන් කළ යුතුය. පසුගිය වසරේ ප්‍රේෂණ ලැබීම් සීමා වී තිබේ. විනිමය රෙගුලාසි බලපෑම ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකිය.

සංචාරක පැමිණීම, ආයෝජනවලින් හෝ වෙනත් ආධාරවලින් රටට සංචිත ලැබුණ පසු විනිමය අගය ශක්තිමත් වන අතර එතෙක් තාවකාලික පියවරක සිටීම පහසු බව මහ බැංකුව කල්පනා කරන බව පෙනේ. එම පියවර සමඟ රට තුළ පැන නැඟී ඇති විකෘතිය බරපතළ අවදානමකි. කිසියම් අවස්ථාවක රෙගුලාසි ලිහිල් කරන්නට සිදුවුවහොත් එකවරම සිදුවිය හැකි විනිමය අනුපාතිකයේ මිල වෙනස්කම් දරාගැනීමට දුර්වල ආර්ථිකයකට හැකිද යන්න වෙනම අධ්‍යයනය කළ යුතුය.

ආයෝජන කැඳවීම ගැන සමාජයේ මතය

විදේශ විනිමය අවශ්‍ය බව ශ්‍රී ලාංකිකයන් දැනගෙන සිටින කරුණකි. අපනයන නංවන්නට, ආයෝජන කැඳවන්නට හෝ තාවකාලික ණයක් ගැනීමට විරුද්ධවන හේතුව කුමක්ද? ඒවා රටට විනිමය ලබාගත හැකි ප්‍රධාන මාර්ග අතළොස්ස අතර තිබේ. ආයෝජන සම්බන්ධයෙන් විශාල විරෝධයක් ඇත. කොළඹ වරාය පරිශ්‍රයේ ආයෝජනය ගැන දීර්ඝ විරෝධයක් තිබිණි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ගැන කැමැත්තක් නොතිබිණි. රිදීමාලියැද්ද ප්‍රදේශයේ සීනි කම්හලක් ඉදිකිරීම ගැන දැන් ආන්‍ෙදා්ලනයක් ඇත. විනිමය පමණක් නොව විදුලිය අර්බුදයක් පැන නැඟෙන බව පෙනෙන මානයේ යුගදනවි බලාගාරයට එරෙහිව අධිකරණයේ නඩු පැවැරීය. මෙවැනි පටු පිළිවෙළ ජාත්‍යන්තර ආයෝජන අවහිර කරයි. විදේශ විනිමය උපයා ගැනීමට අනෙක් මඟක් යෝජනා නොකරන විද්වත් පිරිස ආයෝජනවලට අවහිර කිරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? රටට ධනය උපයා ගත හැකි අනෙක් මාර්ගයක් හෙළි නොකරන්නේ ඇයි?

ආර්ථික බලපෑම් ලිහිල් කර ආයතනික පද්ධති නවීකරණය කළ හැකිය. අවශ්‍ය උත්පාදනය තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සංචිතයක් ලබා ගැනීමේ අවස්ථාවක් තිබේ. තෙල් නැවක් ගෙන්වන්නට වත්කමක් නැති අවස්ථාවක සිටින ආණ්ඩුව මූල්‍ය අරමුදලේ පිටිවහලක් නොලබන හේතුව කුමක්ද? සංචිත පිරිහී, ණය ගෙවා ගත නොහැකි අර්බුදකාරී රටක් ලෙස මූල්‍ය අරමුදලේ සරණ යෑම වෙනුවට සාකච්ඡාවකින්, සංවාදයකින් පසු තීරණ ගැනීම සුදුසුය. දේශපාලන තීරණ, විරුද්ධ පක්ෂයේ බලපෑම් එවැනි පියවරකට ගමන් නොකරන්නට රාමුව සකස් කර ඇති බව පෙනේ. අවසානයේදී තවත් වටයකින් අර්බුදයකට පත්වීම හැර අනෙකක් අපේක්ෂා කළ නොහැකිය.

වාණිජ ණයවලින් අඩාල කරන්නේ අනාගතයයි

විදේශ වෙළෙඳාම සඳහා අවස්ථාව පාදා ගැනීමත්, ආයෝජනවලින් විනිමය ගෙන්වාගැනීමත් පසෙකට කරන ආණ්ඩුව ණය ගැනීම කෙරෙහි වැඩි බරක් තබා තිබේ. ඉන්දියාවෙන් අඩු පොලී ණයක් ගැනීමට සූදානම්ය. පසුගිය වසරේ වෙළෙඳ පරතරය ඇමෙරිකානු ඩොලර් බිලියන අටක් වූ බව මතක් කළ යුතුය. ඉන්දියාවෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය කිසිසේත් ප්‍රමාණවත් නැත. චීනයෙන්, බංග්ලාදේශයෙන් ණය ඉල්ලමින් සිටී. සංවර්ධන බැ¾දුම්කර වශයෙන් ණය ඉල්ලන පියවරකට ශ්‍රී ලංකාව අවතීර්ණ වී ඇති අතර එය ආර්ථිකයෙහි වඩාත් දරුණු තත්ත්වයක් උද්ගත කරනු ඇති බව පෙන්වා දිය යුතුය. 

ඉන්දියාවෙන් ලැබෙන ද්වීපාර්ශ්වික ණය හුවමාරුව සුළු පොලියකට බව දැක්වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සියයට එකකට අඩු පොලියකට ණය ලබා ගත හැකිව ඇති බව සඳහන් කළ යුතුය. සංවර්ධන බැ¾දුම්කර වශයෙන් ජාත්‍යන්තරයෙන් ගන්නා ණයවලට සියයට හයක් දක්වා ඉහළ වාර්ෂික පොලියක් ගෙවන්නට සිදුවේ. මෙම අවුරුද්දේ ගෙවන්නට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන හයක පමණ ඉතිරි කොටස පියැවීම සඳහා වාණිජ ණය ගැනීමෙන් තවත් වටයකින් ණය අර්බුදයක් කරා යොමුවීම වැළැක්විය නොහැකිය. මෙම තීරණාත්මක අවස්ථාවේදී දේශපාලන පක්ෂ, විද්වත් පිරිස හා පොදු මහජනතාව විශාල කැපවීමකට යා යුතුව තිබේ. වඩාත් සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන්නට ආණ්ඩුවට බල කළ යුතුය. පටු විවේචන, අධෛර්යය කිරීම් අවසානයේදී අලවන පැලැස්තරය අනාගතයේදී තවත් වටයකින් අනාගත පරපුර අවදානමකට පත් කරනු ඇත.

ශාමින්ද වත්තේගෙදර

Posted On Wednesday, 09 March 2022 11:03 Written by


මිනිසකුගේ සිතට නිරායාසයෙන් ම ඇතිවන හැඟීම් අතර, ආදරය ප්‍රධාන තැනක් ගනී. ‘ආදරය’ යනු, කෙනකුගේ ජීවිතයට උත්තේජනයක් එක්කරන දෙයකි. සිතක් තුළ ආදරයක් හටගත් විට, සිත සතුටින් පිරී යයි. මේ නිසා, තමා ආදරය කරන තැනැත්තා හෝ තැනැත්තිය ප්‍රීතිමත් කිරීම සඳහා, ඕනෑම දෙයක් කළ හැකි ය. ආදරයට එතරම් වූ ප්‍රබල ශක්තියක් තිබේ. ආදරයක් සදාකාලිකව, නොවෙනස්ව පවත්වා ගන්නට නම්, දෙදෙනාගේ ආදරය දෙදෙනාට ම දැනිය යුතු ය.

ආදරය දැනෙන අන්දමින් කටයුතු නොකරන නිසා, බොහෝ සබඳතා තුළ විරසක බව, තනිකම, වෙන්වීම වැනි අවාසනාවන්ත තත්ත්ව ඇති වේ. විශේෂයෙන් පෙම්වතුන්ව සිට, ආදරය කරන සමයට වඩා විවාහයෙන් පසු ඒ ආදරය එලෙසින් ම පවත්වා ගැනීම බොහෝ දෙනකුට ගැටලුවකි. වසර පහක් හයක්, එසේත් නැතිනම් වසර හතක් පමණ කාලයක් පෙම්කොට විවාහ වී, මැසිවිලි නඟන්නේ වසර දෙකක්වත් ගතවන්නට පෙර ය. එසේ නම්, ඒ ගැන ඔබ දැනුම්වත් විය යුතු ය. ඔබත් විවාහ වීමට සිටින පෙම්වතකු හෝ පෙම්වතියක නම්, අඹු සැමියන් අතර විරසක බව ඇතිකරන ප්‍රධාන කරුණු පිළිබඳ දැනුම්වත් විය යුතු ය.

* එකිනෙකා අතර පිළිසඳරක් නොමැති වීම

පෙම්වතුන්ව සිටින කාලයේ කවුරුත්, නිතර මුණගැසීමට, කතාබහ කිරීමට කැමැති ය. නිතර හමු වී පිළිසඳරේ යෙදීමෙන්, එකිනෙකා තේරුම් ගත හැකි ය. එහෙත්, මේ කතාබහ විවාහ වී කලක් ගතවන විට දක්නට ලැබෙන්නේ නැත. දෙදෙනා එකිනෙකාගෙන් දුරස් වේ. බොහෝවිට සැමියා රූපවාහිනිය බැලීම, කාර්යාල රාජකාරි කිරීම ආදියේ නිරත වන විට, බිරිය එදිනෙදා නිවසේ වැඩ කටයුතුවල යෙදෙයි. එහෙත්, දවසේ වැඩපළ අවසන් වූ පසු ඉස්තෝප්පුවට වී තේ පැන් සංග්‍රහයක් රස විඳිමින්, දෙදෙනාට පිළිසඳරේ යෙදීමට හැකිනම්, බැඳීම් ශකිත්මත් වේ. සිතේ ඇතිවී තිබූ පීඩා සංසිඳී යයි.

*ප්‍රියමනාප ලෙස කතා නොකිරීම

ඕනෑම මනුෂ්‍යයකු තවත් මනුෂ්‍යයකුට ප්‍රියමනාප වන්නේ හෝ නොවන්නේ, කතා කිරීමේ විලාසය මත ය. පොල්ලෙන් ගසන්නා සේ කතා කිරීම, ගෞරවයෙන් කතා කිරීමට පුරුද්දක් නැතිකම, හැඟීමෙන් කතා නොකිරීම ආදිය එකිනෙකා අතර ගැටුම් ඇති වීමට හේතු වේ. කිසියම් අවස්ථාවක සැකයක්, රහසක් සිතේ පවතින විට, ප්‍රසන්නව කතා කිරීම අපහසු ය. එහෙත්, එසේ වීමෙන් ඔබට සිදුවන සෙතක් නොමැති බැවින්, හැකි උපරිමයෙන් යළි යථා තත්ත්වයට පත්වීම හොඳ ය. ප්‍රියමනාප ලෙස කතා කිරීම සැබැවින් ම දියුණු කරගත යුතු කුසලතාවකි.

*ආවේග පාලනය කර ගැනීමට අසමත් වීම

කෙනකු තුළ ඇතිවන ආවේග පාලනය කර නොගතහොත්, එය අනිවාර්යයෙන් ම අරගලයකට හේතු වේ. එම ආවේගය පිටකළ විට, නිසැකව ම අනෙක් පාර්ශ්වයෙන් ඊට ප්‍රතිචාර ලැබේ. ඒ ප්‍රතිචාරය බොහෝ අවස්ථාවල දී ගැටුමක් නිර්මාණය කරයි. ආවේගකාරීව හැසිරුණ බොහෝ පුද්ගලයන් කිසිවකුගේ හොඳක් දකින්නේ නැත. ඒ නිසා, කිසියම් ආවේගයක් ඇතිවූ විට, වැඩක නිරත වන්න. ඒ වගේම, බිරියට හෝ ඔබට ආවේගයක් ඇතිවූ විට, එක් අයකු අනෙකාට ආවේගය පිට කරන්නට ඉඩහැර, නිහඬව සිටීම, ගැටුම් අවම කිරීමට හේතු වේ. පසුව නිදහසේ ඒ ගැන කතාකර, එම ගැටලුව හිතින් මුළුමනින් ම බැහැර කරගත යුතු ය.

* ගෙදර දොර වැඩ සහයෝගයෙන් නොකිරීම

කාන්තාවන් මානසික පීඩනයට ගොදුරු වන කරුණු අතර කැපී පෙනෙන කාරණයක් ලෙස, තනිවම නිවෙසේ බොහෝ වැඩ ප්‍රමාණයක් කරන්නට සිදුවීම සඳහන් කළ හැකි ය. විවාහ වී රැකියාවකට යන කාන්තාවක් නම්, රාජකාරි කටයුතු වගේ ම, නිවෙසේ වැඩපළ ද කිරීමට සිදු වේ. ඒවා බිරිය පමණක් සිදු කරන විට ඇතිවන වෙහෙස අපමණ ය. එම රාජකාරි එදිනෙදාම කිරීමට සිදුවන දේ ය. එබැවින්, සැමියා හා බිරිය යන දෙදෙනා ම එක්ව, සහයෝගයෙන් යුතුව නිවෙසේ එදිනෙදා කටයුතු කිරීම, දෙදෙනාගේ ම මානසික පීඩනය අවම කිරීමට හේතු වේ.

* අගය කිරීම, කෘතවේදීතාව ගැන නොතැකීම

ජීවත් වීමට ආදරය අවශ්‍ය ම යැයි පිළිගන්නේ නම්, නිතර ම කරුණු දෙකක් ගැන සැලකිලිමත් විය යුතු ය. පළමු වැනි කාරණය නම්, අගය කිරීම ය. දෙවැනි කාරණය කෘතවේදී වීම ය. එය වයස් බේදයෙන් තොරව සියල්ලන් බලාපොරොත්තු වන්නකි. කෙනකු තමන් අගය කරනවා දකින්නට කැමැති නම්, තමන් පළමුව අනෙක් තැනැත්තා අගය කළ යුතු ය. කෘතවේදීතාව සම්බන්ධයෙන් ද එය අදාළ ය. අගය කිරීමට, කෘතවේදීතාවට අවශ්‍ය වන්නේ වචන පමණකි. එහෙත්, ඒ සඳහා හිස් වචන ප්‍රමාණවත් නැත. බර වචන හෙවත් හදවතට දැනෙන වචන කතා කළ යුතු ය.

*අනවශ්‍ය සැකය

හේතුවක් නැතුව සැක කිරීම මින් අදහස් කෙරේ. සැකසංකා ඇතිවන්නේ දෙදෙනා දෙදෙනාට විවෘත නොවන නිසා ය. විවාහයෙන් පසු ‘මම’ යන වචනය අහෝසි විය යුතු ය. ‘අපි’ යන වචනය ශක්තිමත් විය යුතු ය. බොහෝ දෙනා ප්‍රේමය සුන්දරයි කියා කීව ද, විවාහය සුන්දර යැයි නොකියන්නේ, ඒ තුළ මුහුණ දෙන්නට සිදුවන අභියෝග නිසාවෙනි. ඒ නිසා, මනා අවබෝධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය. නැතිනම් ඔබගේ ප්‍රේමය හත් අවුරුදු ප්‍රේමයක් වුව ද, විවාහ වී වසරකින් බිඳවැටිය හැකි ය.

ඉහත සඳහන් කාරණා පිළිබඳ අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් ඔබට කිසිඳු මුදලක් වැය නොවේ. අවශ්‍ය වන්නේ ඕනෑකමත්, යහපත් ආකල්පත් පමණි. පෙම්වතුන් ලෙස ප්‍රේම කරනවාට වඩා, විවාහ දිවියට ඇතුළත් වීමෙන් පසු පෙරටත් වඩා ආදරය සමඟ මුසු වූ අවබෝධයක් අවශ්‍ය ම ය. නැතිනම්, හෙට දිනයේ ඔබේ විවාහ ජීවිතය අපායක් බවට පත් වේ. යුගදිවියට ඇතුළත් වීම යනු එවන් තත්ත්වයක් අපේක්ෂා කිරීමක් නොවන නිසා, අවධානයෙන් මේ කාරණා ගැන සිතමු.

 

මනෝවිද්‍යා උපදේශක
දිනුක මදුෂාන් වන්නිනායක

Dinamina පුවත්පතට ‍යොමු කළ ලිපියකි.

Posted On Saturday, 26 December 2020 12:39 Written by


ගොවිතැන ගැන කෙරෙන පර්යේෂණ අනුව අනාගතයේ ගොවියා උදැල්ලක් හෝ නගුලක් ගෙන මහපොළව හා ගැටෙන්නේ නැත. හෙතෙම සිය පරිගණකය සමග කාමරයකට වී පහසුවෙන් සිටින්නට ඉඩ තිබේ. යන්ත‍්‍රානුසාරයෙන් ක‍්‍රියාත්මක වන ගොවිපොළවලින් එළවළු, පළතුරු ඇතුළු බව භෝග නිෂ්පාදනය කරන්නට බොහෝ දුරට ඉඩ තිබේ. වේගයෙන් වර්ධනය වන ජනගහනයට ප‍්‍රමාණවත් වන ආහාර නිෂ්පාදනය සඳහා නවීන තාක්ෂණය අත්‍යවශ්‍ය බව පැහැදිලිය. සම්ප‍්‍රදායික ගොවිතැන හෝ වගා ක‍්‍රම අභිබවා යන පද්ධතියක් නිර්මාණය විය යුතුය. ගොවිපොළට රොබෝ ආක‍්‍රමණයක් සිදුවනු ඇත. එය සිහිනයක් නොවේ. පසුගියදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ගොවිබිමට ගැලපෙන රොබෝවරු නිපදවා තිබේ. මහාචාර්ය සාලා සුක්රියා මෙම කණ්ඩායමේ ප‍්‍රධානී වශයෙන් ක‍්‍රියා කරන අතර හෙතෙම ජර්මනියේ පැවැත්වෙන සම්මන්ත‍්‍රණයක දී සියලු අනාවරණ එළිදක්වන්නට සූදානම් කර තිබුණි. ලෝකයේ සීමා මායිම් බිඳ දමන අදහස් යනුවෙන් මෙම ජාත්‍යන්තර සැසිවාරය නම් කර තිබීම විශේෂත්වයකි.

C36C9114 5052 42BF A832 6C6BF01B5FDA

වසර 2050 වනවිට ලෝක ජනගහනය බිලියන 9 ඉක්මවනු ඇත. මෙකී ජනකොටසට ආහාර නිපදවීම පහසු නැත. ආහාර හිඟය ඉදිරියේ විශාල ගැටලු පැන නැගෙන්නට ඉඩ ඇත. දුප්පත්කම ඉහළ යන අතර දැන් පවතින වගා ක‍්‍රම හා නිෂ්පාදනය වැඩි දියුණු කරන පියවර වෙනස් මාර්ගයකට අවතීර්ණ නොවුණහොත් අර්බුදයක් ඇති වෙයි. මිනිස් ශ‍්‍රමයෙන් පමණක් ගොවිතැන් කිරීම පහසු නැත. යාන්ත‍්‍රික මෙවලම් අවශ්‍යය. මෙම යන්ත‍්‍ර හසුරුවන්නට සමත් ශ‍්‍රමිකයන් හිඟය. මිනිස් ශ‍්‍රමයට ගෙවීමට සිදුවන වියදමද සලකා බැලිය යුතු පැත්තකි. ඉහළ වැටුප් හා පහසුකම් සහිතව ගොවිපොළවල සේවය කරන ශ‍්‍රමිකයන් නිපදවන දේ වලට වැඩිපුර පිරිවැයක් දරන්නට සිදුවෙයි. අධික මිලකට එම නිෂ්පාදන විකුණන්ට සිදුවෙයි. ජනගහනය වැඩිවන අතරතුර මිල දී ගැනීමට ධනය නැති පිරිසට එයින් පිළිතුරක් ලැබෙන්නේ නැත. වැටුප් හෝ බෝනස් ගෙවන්නේ නැති එහෙත් සතියේ දින හතක් පැය විසි හතරම වැඩ කරන රොබෝවරැ හොඳම විසඳුමකි. සිඩ්නි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම සාධාරණ අවස්ථා සහිත සමාජයක් වෙනුවෙන් ගොවිපොළට එවන රොබෝවරු ගැන පර්යේෂණ මාලාවක් පවත්වමින් සිටී.

අලුතින් නිර්මාණය කර ඇති රොබෝවරු ගොවිපොළ හා සත්ව පාලන කටයුතු සම්බන්ධ මෙහෙයැවිය හැකිය. කෙත් වතු සකස් කර අස්වද්දන යන්ත‍්‍ර නිපදවා තිබේ. නියමිත පරිදි ඇට හෝ පැළ සිටුවිය හැකිය. නඩත්තුව විශේෂ කාර්යයකි. එයට ගැලපෙන රොබෝ යන්ත‍්‍ර පෙළකි. ඒවායේ සන්නිවේදක තිබේ. කැමරා පද්ධති සවිකර ඇත. වල් පැළ හඳුනාගෙන ඒවා ගලවා ඉවත් කරන්නට එකී රොබෝවරු සමත්ය. අනෙක පස බුරුල් කර පොහොර යොදන්නට ද හැසිරවිය හැකිය. අස්වනු නෙලන කාලයේදී විශේෂ රොබෝවරු සිටී. පැසුණු ගෙඩි හා කරල් තෝරා වෙන්කර නෙලාගැනීමට තරමට බුද්ධිමත්ය. සත්ව පාලනය සඳහා නිපදවා ඇති රොබෝවරු සතුන්ට ආහාරදීම, රැකබලා ගැනීමට දක්ෂය. සතුන් හැසිරෙන අන්දම හා අනෙකුත් ගොවිපොළ කටයුතු ස්වයංක‍්‍රීයව හාම්පුතුන්ට තොරතුරු සන්නිවේදනය කරති. දිවා රාත‍්‍රී නොතකා සේවය කරන හෙයින් විශාල වාසියකි. අනෙක ගොවිපොළ හා සත්ව පාලන කටයුතු වලට නිපදවා ඇති රොබෝවරු සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙයි. අස්වද්දන, පැල සිටුවන, අස්වනු නෙළන සහ ඒවා ප‍්‍රවාහනය කරන රොබෝ යන්ත‍්‍රවල වහළයෙහි සෝලා පැනල් සවිකර තිබේ. 

පරිගණක තාක්ෂණය මගින් දත්ත සම්බන්ධයෙන් විශාල පරිවර්තනයක් කර තිබේ. බිග් ඩේටා අනුව සියල්ල විනිශ්චය කළ හැකි වී තිබේ. රොබෝවරැ අවතීර්ණවීම අනෙක් පියවරකි. සිඩ්නි විශ්ව විද්‍යාලයේ පර් යේෂණ කණ්ඩායම වානිජ වශයෙන් ගොවිපොළ රොබෝවරු නිපදවන්නට තීරණය කර ඇති අතර වසර දෙකකට පමණ කලින් ආරම්භ කරන ලද වැඩපිළිවෙළ සාර්ථකවීමක් සේ දැක්වෙයි. අනෙක පාසල් මට්ටමේ සිට ඉගෙනගන්නා දරුවන්ට තාක්ෂණය හා රොබෝවරුන්ගේන් වැඩගන්නා අන්දම ඉගැන්විය යුතු බවද මහාචාර්ය සාලා සුක්රියා අවධාරණය කරයි.

ඕස්ට්‍රේලියාවෙන් එන වාර්තා එක පැත්තක් පමණකි. ලෝකයේ අනෙක් රටවල්ද විවිධ පර්යේෂණ ආරම්භ කර ඇත. චීනය සම්පූර්ණයෙන්ම කෘත්‍රිම බුද්ධියෙන් පාලනය වන ගොවිපොළ ඉදිකරන සැලසුම් ක්‍රියාවට නගා ඇත. යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කරන ගොවිතැන් කිරීම ආරම්භ කර ඇති බව අනාවරණය වෙයි. ක්ෂින්හුවා පුවත් සේවය වාර්තා කළ පරිදි චීනයේ ෂින්ජියෑන්ග් ප‍්‍රදේශයේ රියැදුරු රහිත ට‍්‍රැක්ටර් ගොවිපොළ සී සෑම කරගෙන යයි. සපයන ලද විධාන අනුව පරිගණකයේ දත්ත කියැවිය හැකි ස්වයං ක‍්‍රියාකාරී ට‍්‍රැක්ටරය නියමිත තීරැවේ ධාවනය කරමින් පොළව පෙරළන අතර එයින් පසු ධාන්‍ය වැපිරීමද සිදුකරයි.  

මහ පොළවේ තත්ත්වය ගැන පරීක්ෂාකාරීව සිටින කෘත්‍රිම චන්ද්‍රිකා දෙකක් චීනය පසුගිය කාලයේ කක්ෂ ගත කළේය. ඒවා කෘෂිකාර්මික අංශයේ තොරතුරු සන්නිවේදනයට පමණක් යොමුකර ඇත. වාතයේ ආර්ද්‍රතාවය, කාලගුණ වෙනස්කම් සහ අස්වැන්න සම්බන්ධ දත්ත මෙමගින් එකතු කෙරේ. මේවා සමග එකතු වන ඩ්‍රෝන යාත‍්‍රා වගා කරන ක‍්‍රමවේදය වෙනස්කර ඇත. මිනිසුන් රහිත ඩ්‍රෝන යාත‍්‍රා වගාවට අවශ්‍ය පොහොර හා රසායනික ද්‍රව්‍ය විසුරුවීමට යොදා ගැනේ. අස්වැන්න නෙළීම එවා ගබඩා කරා යොමු කිරීමද යාන්ත‍්‍රිකව කළ හැකි රොබෝ යන්ත‍්‍ර නිපදවා ඇත.  

ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ගොවිපොළක රොබෝ ශ‍්‍රමිකයන් යොදවන්නේ 2018 වසරේදීය. එම රොබෝ පද්ධතිය සාමාන්‍ය ශ‍්‍රමිකයන්ට සාපේක්ෂව තිස් ගුණයකින් දක්ෂතාව පෙන්වා තිබේ. රෙබෝවරුන්ට ඉල්ලුම වැඩි වී ඇති අතර 2016 වසරට වඩා ගොවිපොළ ස්වයංක්‍රීයකරණ මෙවලම් වෙනුවෙන් කරන ආයෝජනය අද වනවිට සියයට 29 කින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වෙයි. මේවායෙන් පෙන්වන්නේ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඇතිකරන අලුත් වෙනස්කම්ය. නිෂ්පාදන පිරිවැය අඩ ඉටුකරන්නට ඒවා බලපාන අන්දමය. ගොවිපොළ අයිතිකරු කෙතට බැස වැඩකරනු වෙනුවට මෙහෙයවන්නෙකු බවට පත්වන ආකාරය බව පෙන්වා දිය යුතුය. සිදුවන වෙනස්කම් අනුව අලුතින් හිතන්නට නැඹුරැ නොවෙන කෘෂිකර්මයට ගැටලු මතුවෙන්නට ඉඩ තිබේ. ලෝකයේ වෙනත් තැන්වල ඉතා අඩු මිලට නිපදවන විට තාක්ෂණය භාවිතා නොවන ගොවිබිමක නිපදවන දේ වෙනුවෙන් විශාල වියදමක් දරන්නට සිදුවිය හැකිය. අවසානයේදී එයට වන්දි ගෙවන්නේ පාරිභෝගිකයන්ය. 

උපුටා ගැනීම -දේශය පුවත්පත  - මිලින්ද මොරගොඩ මහතාගේ "යුගානුවර්තනය"  

 

Posted On Saturday, 19 December 2020 03:45

වයිට් ස්ටාර් ලයින් නැව් සමාගම 1912 නිපැයූ ඓතිහාසික ඛේදවාචකයට මුල්වූ ලොව අපූර්වතම නෞකාව ටයිටැනික් නැවතත් පුනරුප්පත්තිය ලබන්නටයි සුදානම. වසර 107කට පෙර අත්ලාන්තික් සාගර පත්ලේ ගිලීගිය මුල් නැව හා සර්ව සම ටයිටැනික් 2 නමින් හඳුන්වන අලුත් නැව බ්ලූ ස්ටාර් ලයින් නම් ඕස්ට්‍රේලියානු නැව් සමාගමේ නිපැයුමක් ලෙස කලඑළි බසින්නකි. පුරාවෘත්තයක් බවට පත්වූ නොගිලෙන නැව ලෙස පුරසාරමට ලක්වූ ටයිටැනික් නැව ගැන ඉදිරිපත් වූ මතයක් වුණේ මේ කාලයේ එය හදන්නට ගියොත් අඩුම තරමේ ඩොලර් මිලියන 400ක්වත් වැයවන බවය. ඒ නිසා එය නැවත තැනෙන්නට ඉඩක් නැති අතීතයට අයත් පුරාවෘත්තයක් වනු ඇති බවය. එනමුත් 1997දී මුල් ඛේදවාචකය ගැන හැදූ ටයිටැනික් චිත්‍රපටිය, මේ වෙද්දී ඩොලර් බිලියන 1.84කට වඩා මුදලක් උපයා ඇති නිසා ඕනෑනම් ඒ මුදලින් ටයිටැනික් නැව් එකට පහක් හදන්න පුළුවන් බවට අදහසක්ද ඉදිරිපත්ව තිබුණා. ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙක් වන Clive Palmer මේ අදහස යථාර්ථයක් බවට පත් කරන්නට දැන් වැඩ අරඹා හමාරයි.

 

බ්ලූ ස්ටාර් ලයින් නම් ඕස්ට්‍රේලියානු නැව් සමාගමට අයත් මේ කියන අලුත් ටයිටැනික් II යාත්‍රාව 2022 දී ගමන් ආරම්භ කිරීමටයි නියමිත. මුල් නැවට ගෞරව කිරීමක් වශයෙන් එය ගමන් කළ ගමන් මාර්ගයේම අලුත් නැවත් හා..හා... පුරා කියා ගමන් කරවීමටයි නැව් සමාගම තීරණය කර තිබෙන්නේ. 1912 දී සිය මංගල ගමන සවුතැම්ප්ටන් හා නිව්යෝර්ක් නගර අතර සිදු කිරීමේදී මුල් නැව අයිස් කන්දක වැදීමෙන් මුහුදුබත්ව ගියේ ලෝක ඉතිහාසයේ සදා නොමැකෙන කඳුළු සටහනක් තබමිනුයි.

 

RMS Titanic නෞකා අනතුර ඉතිහාසයේ සිදුවූ දරුණුම නාවික අනතුර වශයෙන් සැලකෙනවා. එවකට ලෝකයේ ඉහළම ඉංජිනේරු තාක්ෂණයෙන් නිපදවා තිබූ විශාලතම චලනය වන වස්තුව (Largest moving object ever built) වූයේද Titanic නැවයි. කිසිදා නොගිලෙන නෞකාවක් (An unsinkable ship) ලෙස සැලකුණු Titanic නෞකාව සිය ප්‍රථම ගමනේදීම උතුරු අත්ලාන්තික් සාගරයේදී විශාල පාවෙන අයිස් පර්වතයක ගැටීමෙන් සමස්ත ලෝකමය කම්පාවට පත්කරමින්‍ මුහුදුබත් වූණා.

එවකට විශාලතම නෞකාව ලෙස ලෝ සුපතල වූ නෞකාව අඩි 900 ක් දිගින් සහ මහල් 25ක උසකින් ද යුක්ත වුණා. යුගයේ හොඳම තාක්ෂණය උපයෝගී කරගෙන නිපදවූ Titanic ටොන් 46000 ක ඇදහිය නොහැකි ස්කන්ධයකින්ද සමන්විත වුණා. විශේෂතම කරැණ නම් මෙය සැලකුණේ කිසිදා නොගිලෙන නෞකාවක් (An unsinkable ship) වශයෙන් වීමයි. ඊට හේතුවක් තිබුණා. සාගරයේදී සිදුවිය හැකි දරුණුම අනතුර වන්නේ නෞකා 2 ක් එකිනෙක ගැටීමයි. එවැනි අනතුරකට මුහුණ දුන්නත් Titanic නැව මුහුදේ දින 2- 3 ක් සුරක්ෂිතව පාවෙමින් තිබෙන ආකාරයටයි නැව නිර්මාණය කර තිබුණේ. සාමාන්‍යයෙන් අනතුරකදී එම කාලය වෙනත් නැවක සහය ලබාගන්න හොඳටම ප්‍රමාණවත්. කෙසේ නමුත් ඒ සියලු විශ්වාස පුස්සක් කරමින් 1912 අප්‍රේල් 14 වැනිදා Titanic නැව අයිස් කුට්ටියක වැදීමෙන් පසු පැය 3 ක් ඇතුළත සම්පූර්ණයෙන්ම මුහුදුබත් වී ගියා.

1912 අප්‍රේල් 10 වැනිදා එංගලන්තයේ සවුත්හැම්ස්ටන් වරායෙන් RMS Titanic නැව දියත් වුණා. නැවේ ගමනාන්තය වූයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගර වරාය. නැව් කාර්ය මණ්ඩලයට අමතරව 2227ක මගීන් පිරිසක් මෙහි යාත්‍රා කළා. නමුත් ගමනාන්තය වූ නිව්යෝර්ක් වෙත ළඟා වූයේ මුලු පිරිසෙන් තුනෙන් එකකටත් අඩු ප්‍රමාණයක් පමණයි.

1912 අප්‍රේල් 14 වැනිදා රාත්‍රි 11.35ට පමණ අති විශාල අයිස් කන්දක් නෞකාවට සැතපුම් කාලක් පමණ ඉදිරියෙන් දර්ශනය වුණා. නැව් කාර්ය මණ්ඩලය වහාම නැවේ වේගය අඩාල කර හැරවීමට උත්සහ කළත් නෞකාවක් අති දැවැන්ත ස්කන්ධය නිසා එය ඉතාමත් අපහසු වුණා.

රාත්‍රී 11.40ට Titanic අයිස් පර්වතය හා වේගයෙන් ගැටුණු අතර අඩි 900ක් වූ නැව් බදේ අඩි 300 කට ඉන් හානි වුණා. ගැටීමෙන් නැවේ ප්‍රධාන අංගන 16න් 6 කට දරුණු ලෙස හානීවී තිබුණා. මධ්‍යම රාත්‍රිය එළඹෙන විට නැවේ පහල අංගන ක්‍රමයෙන් ජලයෙන් පිරෙමින් පැවතුණා.

අළුයම 1.20 වනවිට ජලය ක්‍රමයෙන් ඉහළට පැමිණෙමින් පැවතුණා. 2.00 පමණ වනවිට නැවේ ඉදිරි කොටස දක්වාම ජලය පිරී තිබුණා. එක්වරම නැවේ අවරපෙති (propellers) සහිත කොටස ජලයෙන් ඉහළට එසවුණා. නෞකාව සුවිසල් ස්කන්ධයකින් යුක්ත වූ නිසා මධ්‍යයෙන් දෙකට වෙන්වුණා. 20 වන සියවසේ මුල් භාගයේ මිනිසා විසින් නිපදවූ විශාලතම චලනය වන වස්තුව සිය අවසන් ගමන් ගියේ ඒ අයුරින්. ගණිතයානුකූලව නෞකාවේ විනාශයට ඍජුවම බලපෑ කරුණ අයිස් පර්වතයේ ගැටීම වුවත් ඊට අමතරව වක්‍රව බලපෑ කරුණු රාශියක් තිබෙනවා.

Titanic නැවට හානි කළ උතුරු අත්ලාන්තික් සාගරයේ පාවෙන අයිස් කුට්ටිවල කතාව ආරම්භ වූයේ මීට වසර 3000 කට පමණ ඉහත සිටයි. ග්‍රීන්ලන්තයේ සිට කඩාවැටෙන හිම කවදාවත් දිය නොවේ. එලෙස පහළට කඩාහැලෙන හිම දීර්ඝ කාලයක් සම්පීඩනය වීමෙන් විශාල ග්ලැසියර බවට පත්වේ. නමුත් ඒවායේ ඇති සුවිසල් ස්කන්ධය නිසා මේවා මුහුදට වැටී දිනකට අඩි 65ක් පමණ අත්ලාන්තික් සාගරයේ එහා මෙහා චලනය වේ. ඇතැම් අයිස් කුට්ටි අඩි 670ක් පමණ දිගින් හා අඩි 240ක් පමණ උසකින්ද යුක්ත වේ. Titanic නැව හා ඝට්ටනය වූයේද එවැනි විශාල අයිස් කන්දකි.

කෙසේ නමුත් උතුරු අත්ලාන්තික් සාගරයේ මෙලෙස පාවෙන අයිස් කඳු නාවිකයන්ට නම් නුහුරු නුපුරුදු දේවල් නොවේ. අනෙක් අතට එදා නැවේ කපිතාන්වරයා වූ ජෝන් ස්මිත් ඉතාමත් පලපුරුදු කපිතාන්වරයෙකි. ඒ නිසා ඔහුට මෙවැනි අයිස් පර්වත අනපේක්ෂිත අලුත් දෙයක් විය නොහැකිය. ඇතැම් විට Titanic නැවේ ඇදහිය නොහැකි ස්කන්ධයත්, ශක්තිමත් භාවයත් නිසා එදා ඔහු මෙවැනි පාවෙන අයිස් කඳු සුළුකොට තකන්නට ඇති. කෙසේ නමුත් අවසාන ප්‍රතිඵලය වූයේ ගමන් කළ මුලු මගීන් 2227 න් 1517 කට මහමුහුද සොහොන බවට පත්වීමයි. 1900-1912 වර්ෂවල නිරීක්ෂිත පාවෙන අයිස් කුට්ටිවල දත්ත අනුව කැපී පෙනෙන විශේෂත්වය නම් 1912 වර්ෂයේ ඉතාමත් වැඩි වශයෙන් පාවෙන අයිස් කඳු නිරීක්ෂණය කරන්නට හැකි වීමය. මීට අමතරව Titanic නිර්මාණයේදී භාවිතා කළ ඉංජිනේරු තාක්ෂණික දෝෂයන්ද මේ අනතුරට වක්‍රව හේතු සාධක වූ බවයි විද්වතුන්ගේ අදහස.

අලුතෙන් ටයිටැනික් නිවුන් නැව තනන බ්ලූලයින් සමාගම ඔවුන්ගේ ප්‍රධාන මූලස්ථානය පැරිස්වල පිහිටුවා තිබෙනවා. මෙවර මෙම නොගිලෙන සිහිනය සැබෑ කරගන්නට සිතට ගත් ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙක් වන Clive Palmer මෙම ටයිටැනික් 02 ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දෙ 2012 වර්ෂයේදීය. මේ ව්‍යාපෘතියේ අවසානයත් සමග චීනයේ Jiangsuහි සිට ඩුබායි දක්වා පළමුවරට යාත්‍රා කිරීමට හැකිවනු ඇති බවයි ඔහුගේ බලාපොරොත්තුව. 1912 වසරේ අනපේක්ෂිත ලෙස මුළු ලොවම කම්පාවට පත්කරමින් අයිස් කුට්ටියක ගැටී ජීවිත විශාල සංඛ්‍යාවක් සමඟ මුහුදුබත්වූ ටයිටැනික් නෞකාවේම සර්වසම ප්‍රතිනිර්මාණයක් ලෙසය මෙම අලුත් නෞකාවද සකස් කොට ඇත්තේ. නමුත් මෙවර එහි ආරක්ෂාව මෙන්ම මගී ආරක්ෂණය ගැනද දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. මගීන් 2700කට ප්‍රමාණවත් ලෙස මෙයට ජීවිත ආරක්ෂක යාත්‍රා පහසුකම් සකසා තිබෙනවා.

මගීන් 1680කට පහසුවෙන් ගමන් කළ හැකි මෙහි උපරිම මගී ධාරිතාවය 2435ක් බවයි කියන්නේ. ඊට අමතරව නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් සේවකයන් ගණන 900ක් වනවා. අති නවීන ඩිජිටල් තාක්ෂණයෙන් මෙහි පාලක මැදිරිය බලගන්වා ඇති අතර සැටලයිට් සහ රේඩාර් සඥා පද්ධතිය නවීනම තාක්ෂණික ප්‍රමිතීන් යටතේ සකස් කොට තිබෙනවා.

මීටර් 270ක් දිගින් යුතු මෙම නෞකාවේ උස මීටර් 53ක් වේ. බර ටොන් 40000කි. තට්ටු 9ක් ඇති ටයිටැනික් 02 නෞකාවේ මගී කාමර 840ක් ඇත. සුඛෝපභෝගී ව්‍යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක්, පුස්තකාලයක් මෙන්ම සුපිරිම ගණයේ භෝජන ශාලා සහ කාමර පිහිටා ඇත. මුල් ටයිටැනික් නැවේ පිටත හා අභ්‍යන්තර අලංකරණය කර තිබූ ආකාරයටම එම ටයිටැනික් නැවටම ආවේණික වූ ප්‍රධාන පඩිපෙළ පවා මෙම ටයිටැනික් II යාත්‍රාවේද නිර්මාණය කර තිබෙනවා. ටයිටැනික් II ට ආසන්න වශයෙන් මගීන් 2,400 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 900 ක් පමණ රැගෙන යාමට හැකියාව ඇති බවයි කියන්නේ. පළමු ටයිටැනික් නෞකාවේ ගිලාබැසීමෙන් වසර 106කට පසු යාත්‍රා කිරීමට සූදානම් මෙම නෞකාව 21 වන සියවසේ නෞකාව ලෙස හඳුන්වා දී තිබෙනවා.

► සුගත් පී කුලතුංගආරච්චි

By: Deshaya

Posted On Wednesday, 25 November 2020 11:43 Written by

 

මෙරට දුම්රිය මාර්ග පද්ධ­තියේ කෙටි දුරක් තුළ ඉහළ උස­කට ළඟා­ වන දුෂ්කර මාර්ග කොට­සක් ලෙස රඹු­ක්කන - කඩු­ග­න්නාව දුම්රිය මාර්ග කොටස හැඳි­න්විය හැකිය. ඒ ආශ්‍රිත සුවි­ශේෂ ස්ථාන සහ ඉංජි­නේ­රු­මය නිමැ­වුම් සොයා කඩු­ග­න්නාවේ සිට පාග­ම­නින් දුම්රිය මාර්ගය දිගේ යන සංචා­ර­යක් ඇසු­රෙන් සැක­සෙන ලිපි පෙළකි.

ඉහළ කෝට්ටේ දුම්රිය පොළ ආස­න්නයේ දකුණු දෙසට විහි­දුණු අතුරු දුම්රිය මාර්ග­යකි. එය හඳු­න්වන්නේ “පොත්තා­පි­ටිය සයි­ඩිම” කියාය.

පොත්තා­පි­ටිය සයි­ඩිමට එපි­ටින් වූ පොල් ගස දුම්රිය මඟ ජීවි­තය කර­ගත් එක් මිනි­ස­කුගේ මතක සල­කු­ණකි. 1880දී දුම්රිය මඟ අද්දර ඉහළ කෝට්ටේ ඉපිද, මීයන් ඇල්ල බිංගෙය කණි­න්නට සිය ශ්‍රමය කැප කළ, ඉන් අන­තු­රු­වද විශ්‍රාම යන තුරු දුම්රිය මඟෙහි නඩත්තු අංශයේ සේවය කළ එස්.පී. අප්පුවා නම් අයකු මිහි­දන් කළ තැන හඳු­නා­ග­න්නට සිටුවූ පොල්ගස අද අඩි විසි­ප­හක් තිහක් උසට වැවී තිබේ. ඔහු මිය­ගොස් ඇත්තේ 1974දීය. වම් පසින් ඇති කෙසෙල් ගස් සහිත ගොඩැල්ලේ නිද­න්නේද පෙට්‍රොල්මන්ව­ර­යෙකු ලෙස සේවය කර­මින් සිට මිය­ගිය ගල්ලෙනේ ගෙදර සමරා ය. පසු­ගිය ලිපියේ සඳ­හන් ව තිබූ “භූත-පෙට්‍රොල්” රාජ­කා­රිය ආරම්භ කර­න්නට මුල්වුණු සිද්ධි­යට මුහුණ දී ඇත්තේ ඔහුය. ඒ අනුව බලන කල මේ දුම්රිය මඟ දෙපස බොහෝ තැන්, දුම්රිය මඟ වෙනු­වෙන්ම ඉපදී ජීවත් වූ බොහෝ දෙනෙ­කුගේ නිජ­බිම් සහ සොහොන් බිම්ය. දින­පතා දුම්රිය භාවිත කරන දෙනෝ දහ­සක් මේ මඟ දිගේ සතු­ටින් ඉහළ පහළ යන්නේ ඔවුන්ගේ දහ­ඩිය, සුසුම් ගැන නොදැන හෝ නොසි­ත­මිනි.

“පොත්තා­පි­ටිය සයි­ඩිම” දැනට භාවි­ත­යට ගන්නේ මාර්ග නඩත්තු අංශයේ ට්‍රොලි සහ ඩක්කු නැවැ­ත්වීම සඳහා වුවද අතී­තයේ මේ සයි­ඩිම භාවිතා කර ඇත්තේ ඉහළ කෝට්ටෙන් ඉහළ කොට­සේදී තිරිංග ක්‍රියා විර­හිත වීම­කින් පසු රියැ­දුරු පාල­න­යෙන් ගිලි­හෙන දුම්රිය තව­දු­ර­ටත් පහ­ළට ඇදී යෑම වළකා අන­තුර අවම හානි­ය­කින් වළක්වා ගැනී­ම­ටය.

“ඉස්සර වාෂ්ප එන්ජින් කාලේ නිතර නිතර දුම්රිය වල තිරිංග වැඩ කරන්නේ නැතිව පහ­ළට ගහ­ගෙන එනවා. ඒක නිසා කෝච්චි­යක් උඩට යැව්වට පස්සේ පීල්ල සයි­ඩිම පැත්තට හැරෙන විදි­යට කැබින් එකෙන් ලීව­රය හදල තියෙ­නවා. ඒක වෙනස් කරන්නේ කෝච්චිය බලන පැන්නට පස්සේ තමයි. ගොඩක් වෙලා­වට ඊළඟ කෝච්චි­යට තමයි පීල්ල හදන්නේ.” අපට මඟ­පෙ­න්ව­න්නට පැමිණි 2014-15 සමයේ ඉහ­ළ­කෝට්ටේ දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රයා වූ එච්.එම්. විජේ­සිරි මහතා “පොත්තා­පි­ටිය සයි­ඩිමේ” භාවි­තව පැහැ­දිලි කලේ එලෙ­සිනි.

ඈත අතී­තයේ පම­ණක් නොව මෑත ඩීසල් එන්ජින් යුග­යේද, කඩු­ග­න්නාවේ සිට පහ­ළට යන දුම්රි­යද, රඹු­ක්කන සිට ඉහ­ළට ගිය දුම්රි­යද අවස්ථා ගණ­නා­වක තිරිංග ක්‍රියා­වි­ර­හිත වීමෙන් මෙම මාර්ග කොට­සේදී අන­තු­රට ලක්වී තිබේ. කඩු­ග­න්නාවේ සිට පහ­ළට යමින් තිබූ භාණ්ඩ සහ තෙල් ප්‍රවා­හන දුම්රි­යක් එසේ තිරිංග ක්‍රියා විර­හිත වීමෙන් පසු ඉහළ කෝට්ටේ දුම්රි­ය­පොළ අස­ලදී පෙරළී ඇත්තේ 1999 වස­රේ­දීය. දුම්රි­ය­පොළ අස­ලම කුඩා තේ කඩ­යක් පව­ත්වා­ගෙන යන ආර්. ගීතානී රේණුකා මහ­ත්මිය මෙම දුම්රිය පෙර­ළෙන අන්දම සියැ­සින් දුටු අයෙකි. මේ ඇය එම අන­තුර ගැන කී කතා­වයි.

“මගේ පුතාලා ඒ කාලේ ඉස්කෝලේ ගියේ පිළි­ම­ත­ලා­වට. හවස ගෙදර එන්න කෝච්චි­යක් තියෙන්නේ හත­ර­හ­මා­රට. එත­කම් (කඩු­ග­න්නාව) ස්ටේෂ­මට වෙලා ඉන්නවා. ඔය අතරේ බැලස්ට් එකක්, තෙල් කෝච්චි­යක් ආවොත් නැගලා එනවා. මොකද මේ පාරේ කෝච්චිවල ඩ්‍රයි­වර්ලා, ගාඩ්ලා ගොඩක් වෙලා­වට අපිව දන්නවා. එදත් තෙල් කෝච්චි­යක් ඇවිත් කඩු­ග­න්නා­වට. ඩ්‍රයි­වර් කියල තියෙ­නවා පුතා­ලට “යන­කොට යමු” කියලා. ඒත් උඩ­හට ගිය හැටන් කෝච්චියේ මගේ මහ­ත්තයා ගියා කඩේට බඩු ගේන්න. එයා පුතා­ලට කෑම අරන් දෙන්න කඩේට එක්ක ගිහින්. ඒ අතරේ කෝච්චිය පල්ලම් බැහැල. බ්රේක් නැති වෙලා තියෙන්නේ සිංහ කට දිහාදි. බල­නින් මෙහාට පණි­විඩේ කියල තිබ්බා. ඒ කාලේ වැඩ­ක­රපු අබේ­නා­යක රාළ­හාමි කෑ ගැහුවා “බ්රේක් නැති කෝච්චි­යක් එනෝ. අයින් වෙන්න කියලා.” ස්ටාෆ් එකේ ඔක්කො­මලා ස්ටේෂ­මෙන් බැහැල අඩි පාර දිගේ පහ­ළට දිව්වා. කෝච්චි­යට යන්න හිටපු මිනිස්සු දෙතුන් දෙනාත් දිව්වා‍‍‍. පුතාලා ගැන මතක් වෙලා මම පාර අයි­නට දුවල කොස්ගහ ගාව බලා­ගෙන හිටියා.”

“ඉතින් පුතාලා නැඟලා නෑනේ.”

“පස්සෙනේ ඒක දන්නේ‍. ඒ කාලේ ෆෝන් නැහැනේ. විනාඩි දෙකක් ගියේ නෑ. හෝන් එක ඔබා­ගෙන කෝච්චිය එනවා උඩ පැන පැන. ඩ්‍රයි­ව­රුයි ඇසි­ස්ට­නුයි විදු­රුව ගාව බාර් එකක එල්ලිලා ඉන්නවා පෙනුණා. එන්ජිම ස්ටේෂම මැද හරි­යට එද්දි පිටි­පස්සේ පෙට්ටි වග­යක් පෙර­ළුණා ලාවට වගේ දැක්කා. දූවිලි වලා­ව­කුත් ගියා. ස්ටේෂම පාස් කරද්දි ඉතිරි වෙලා තිබුණේ එන්ජි­මයි තෙල් ටැංකි­යයි. අනෙක්වා ස්ටේෂම හරියේ පෙර­ළෙනවා පෙනුණා. බෝගහ හරි­යෙදි තෙල් ටැංකිය උඩ ගිහින් කැර­කැ­වුණා. ඒ ටික තමයි දැක්කේ. පස්සේ සෙන­ඟත් ආපහු ආව­හම - ගිහින් බලද්දි එන්ජිම සඟ­ර­ජ­ලෙ­නට උඩින් ඇල වෙලා නැව­තිලා තිබ්බා.”

මෙම අන­තුර මෙම මාර්ග කොටසේ සිදුවූ අන­තුරු වලින් සර­ලම අන­තු­රකි. කාර්ය මණ්ඩ­ල­යට සුළු තුවාල හරුණු විට දේපළ හානිවලින් පම­ණක් සම­න්විත වූ මෙම අන­තු­රට ලක්වූයේ මඟී දුම්රි­යක් නම් කතාවේ අව­සා­නය බොහෝ දුක්ඛ­දා­යක එකක් වන්නට ඉඩ තිබිණි.

ඉහළ කෝට්ටේ දුම්රි­ය­පොළ පසු­කර යන විට දකුණු පසින් ඇත්තේ විශාල බෝග­සකි. මේ බෝගස පසු කොට මද දුරක් පල්ලම් බසින විට දකුණු පසින් හමු­වන්නේ “සඟ­ර­ජ­ලෙන”ය. කොළඹ සිට දුම්රිය මගෙහි හරි­ය­ටම සැතැ­පුම් 59ක් දුරින් පිහිටි සඟ­ර­ජ­ලෙන ලාංකේය රාජ්‍ය­ත්වය සමඟ අතී­තයේ සිට බැඳුණු “කුම­න්ත්‍රණ” පිළි­බඳ තවත් එක කතා­වක නිහඬ සාක්ෂි­යකි.

“වර්ෂ 1707 - 1739 සමයේ මහ­නු­වර රජ­කම් කළ වීර පරා­ක්‍රම නරේ­න්ද්‍ර­සිංහ රජුගේ හිත­ව­තකු නිසා රාජ්‍ය පාල­න­යට සම්බන්ධ වුණු දස්කොන් හෙවත් පේද්‍රෝ ගැස්කොන් අදි­කා­රම ලෙව්කේ දිසා­වගේ කේළ­මක් නිසා, උල තියා මරා දම­න්නට රජ­තුමා නියෝග කර­නවා. පස්සේ රජ­තු­මාට ආරංචි වෙනවා සූරි­ය­ගොඩ උන්නා­න්සේගේ මෙහෙ­ය­වි­මෙන් ලෙව්ක් රාල කී කේළ­මක් නිසා දස්කොන් නිර­ප­රාදේ හිස ගසා මරා­දැමූ බව. ඒ ගැන උද­හස්ව සූරි­ය­ගොඩ හාමු­දු­රු­වන්ව හිස­ගසා මරා දමන රජ­තුමා, ලෙව්කේ­රා­ළව මාකෙ­හෙ­ල්වල ගමේ “පොල්ග­ස්ගො­ඩ­ගෙ­දර” හිර­ක­ර­නවා. සූරි­ය­ගොඩ විහා­රයේ සාමණේර­ව­රුත් සීසී­කඩ යනවා ඊට පස්සේ. වැලි­විට හාමු­දු­රුවෝ ඇවිත් නව­තින්නේ මෙන්න මේ ගල්ලෙනේ. ඒ දඬු­වම් ලබපු ලෙව්කේ රාළ ගෙන් බාලා­ව­තා­රය නම් වූ පාලි ව්‍යාක­රණ ග්‍රන්ථයේ නාම කාණ්ඩය කොටස ඉගෙන ගන්න හිතා­ගෙන. ලෙව්කේ රාළගේ පාලි දැනුම කෙත­රම්ද කිය­න­ව­ නම් ඔහුට ඒ කාලේ “විහාර රාළ­හාමි” කිය­ලත් කියල තියෙ­නවා.” යනු­වෙන් සඟ­ර­ජ­ලෙනේ වැද­ගත්කම පැහැ­දිලි කළේ ඉහළ කෝට්ටේ විහා­රයේ ප්‍රකට දාය­ක­යෙකු වන හැත්තෑ­හත් හැවි­රිදි ආර්.පී.ජී. පිය­දාස මහ­තාය. ඔහුද විශ්‍රා­මික දුම්රිය ස්ථානා­ධි­පති වර­යෙකි.

සඟ­ර­ජ­ලෙන පසු කර තවත් මීටර් සිය­යක් පමණ යන විට හමු­වන්නේ බිංගෙ­යකි. එය අංක 5A දරණ බිංගෙ­යයි. දුම්රිය ධාව­නය ඇරඹි 1867න් වසර හත­ළිස් පහ­කට පමණ පසු 1912 දී දෙවැනි අදි­ය­රේදී කණින ලද බිංගෙ­යක් වීම නිසා මෙම බිංගෙය අංක­නය වී ඇත්තේ ඉල­ක්ක­ම­කට අම­ත­රව ඉංග්‍රිසි A අකු­රක්ද එක් විමෙනි. අඩි 1364ක් දිගැති මෙම බිංගෙය ලංකාවේ දුම්රිය මාර්ග­වල හමු­වන බිංගෙ­වල් අත­රින් දෙවැ­නි­යට දිගම බිංගෙ­යයි. එය දෙවැනි වන්නේ හැටන්- කොට­ගල අතර හමු­වන සිංගි­මලේ බිංගෙ­ය­ටය. සිංගි­මලේ බිංගෙය දිඟින් අඩි 1865 කි. මෙම බිංගෙය කණින සමය වන විට දුම්රිය මාර්ග කම්ක­රු­වන් ලෙස සිංහ­ල­යින්ද එක්වී ඇති අතර මෙම බිංගෙය සඳහා සම්පූර්ණ ශ්‍රම දාය­ක­ත්වය ලබාදී ඇත්තේ දේශීය කම්ක­රු­වන්ය.

අව­දා­නම් මඟෙක මීටර් හාර­සි­ය­ය­ක­ටත් වඩා වැඩි දුරක් යා යුතු නිසා බිංගෙ­යට ඇතුළු වන්නට පෙර දුම්රිය කාල­ස­ට­හන ගැන දැනු­ව­ත්වීම වැද­ගත්ය. ඒ නිසාම අපි රඹු­ක්කන දුම්රිය පොළට ඇමැ­තු­මක් දී ආස­න්න­යෙන් දුම්රි­යක් නැති බව තහ­වුරු කර­ගෙන, විදුලි පන්දම්ද දල්වා­ගෙන බිංගෙ­යට ඇතුළු වූයෙමු. පෙර හමුවූ බිංගෙ­වල් සමඟ සැස­දී­මේදී ඉතා­මත් තෙත­බ­රිත දුම්රිය බිංගෙ­යක් ලෙස දැක්විය හැකි මෙම බිංගෙයි තෙත ගතිය ට හේතු වන්නේ, බිංගෙ­යට ඉහ­ළින් දිය ඇල්ලක් ගලා­යන නිසාය.

බිංගෙ­යට ඉහ­ළින් ගලන්නේ අල­ගල්ල කන්දේ පූජා­ගල නිම්න­යෙන් පහ­ළට ගලා­එන වළ­ගොඩ ඔයයි. එයින් උප­දින මීයන් ඇල්ල දිය ඇල්ල පැරණි දුම්රිය මඟ ඉදි­කි­රී­මේදී සෘජුව කඩා වැටී ඇත්තේ දුම්රිය මඟ මතට මය. ඒ නිසා සුදු ජාතික ඉංජි­නේ­රු­වන් විසින් ගල් තලාව මුදු­නේදී දිය ඇල්ල හරස් කර­මින් බැම්මක් බැඳ දිය ඇල්ලේ ගමන අඩාල කොට ඇත. එසේ අඩාළ කිරි­මෙන් අන­තු­රුව සිහින් දිය පහ­ර­වල් දෙකක් ලෙස ගල් තලාවේ දෙප­සින් කඩා හැලෙ­න්නට සලස්වා දුම්රිය මඟට අන­තු­රක් විම අවම කර­ග­න්නට උත්සාහ ගෙන ඇත. ඒ උත්සා­හය තර­මක් සාර්ථක වුවද එයින් අහිමි වී ගියේ “මීයන් ඇල්ලේ” අන­න්‍ය­තා­වයි. නොඑසේ නම් අඩි සිය­යක් පමණ උසැති මීයන් ඇල්ල ලාංෙක්ය දිය ඇළි නාමා­ව­ලි­යට එක්වී­මට වරම් ලබනු නොඅ­නු­මා­නය. සුද්දාගේ තීර­ණය නිසා වසරේ වැඩි කාල­යක් කෙසඟ කැහැටු දිය දහරා දෙකක් ලෙස ඇද හැලෙන මීය­න් ඇල්ල දිය ඇල්ලක් බවට නම් කිරීම සඳහා වන නිර්ණා­යක සපු­රන්නේ නැත.

බිංගෙයි තුළින් මීටර හැත්තෑ­ප­හක් පමණ දුරක් යන විට අත­ර­ම­ඟදී වම්පස බිත්ති­යෙන් දැකිය හැක්කේ කුහ­ර­යක් තනා ඇති ආකා­ර­යයි. අපට මඟ පෙන්ව­න්නට පැමිණි මාව­නැල්ල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ සංව­ර්ධන නිල­ධාරී එච්. එම්. නිපුන ඉඳු­නිල් මහතා පැවැසූ පරිදි එය බිංගෙය කැණීමේදී ගල් ඉවත් කිරී­මට යොදා­ගත් යාන්ත්‍රික උප­ක්‍ර­ම­යක් වෙනු­වෙන් නිර්මා­ණය වූවකි. කුඩා පීලි මත ධාව­නය වූ ඩක්කු­ව­කින් මෙම බිංගෙය කැණි­මේදි එක්රැස් වන ගල් ඉව­ත්කර ඇති බව ඔහු විසින් අපට පැහැ­දිලි කර දුන්නේය.

“හොඳට අහ­ගෙන ඉන්න. ඇල්ලේ සද්දේ ඇහෙ­නවා.”

නිශ්ශබ්ද වන ලෙස සංඥා කර­මින් කුහ­රය ආස­න්න­යට ගිය, ඔහු අනු­ග­ම­නය කළ අපිද සිහින් දිය දහ­රා­වක හඬ ඇසු­වෙමු.

“ඒ තමයි මීයන් ඇල්ල”

‘සුද්දාට මීයන් ඇල්ල කියල කියා­ගන්න බෑ… ඒ නිසා සුද්දා මේකට කිව්වේ මීන්ගල්ල කියලා. මීය­න් ඇල්ල ගල්ත­ලාවේ L අකුරේ හැඩේට කට්ට­යක් කපලා ඒ දුර්ග මඟ දිගේ තමයි මුලින්ම කෝච්චිය නුව­රට ගියේ. මේ දුර්ග මඟට සුද්දා කිව්වේ “Meengalla Pass” කියලා. සුද්දට වැඩිය මීයන් ඇල්ලේ වටි­නා­කම තිබුණේ අපිට. සතර කෝරලේ, සත් කෝර­ල­යෙන් මායිම් වෙන පරණ කඩ­ඉම් ලකු­ණක් විදි­යට රජ­කාලේ ඉදලා මීයන් ඇල්ල භාවිත වෙලා තියෙ­නවා.” ඒ වග­තුග අපිට කීවේ බලන දී හමුවූ, මොර­ගොල්ල වසමේ ග්‍රාම නිල­ධාරී චින්තක සාරංග ධර්ම­ප්‍රිය මහ­තාය.

ඔහු උපුටා දැක්වූ පරිදි ඒ කඩ­ඉම් කවිය මෙබඳු ය.

“මීයන් ඇල්ල බලනේ කඩ­වත ඇතුලේ කඩු­ග­න්නාව පිට සේසත කෙටූ ගලේ

මාවෙල උඩු­පි­ටින් ලග­මු­වද පසු කලේ

මෙකි ලකුණු තුළ රට සතර කෝරළේ..”

කවියේ සඳ­හන් සීමා ගැන තොර­තුරු මත­ක­යට ගනි­මින් බිංගෙ­යින් එළි­යට පැමිණි අප දැන් සතර කෝර­ළය පැන සත් කෝර­ල­යට පිවිස සිටිමු. එහෙත් පැරණි දුම්රිය මඟ දිගේ පාග­ම­නින් ගොස් මීයන් ඇල්ල නැර­ඹිය යුතු නිසා යළිදු කෙටි වේලා­ව­කින් සත්කෝ­ර­ල­යෙන් සතර කෝර­ල­යට පිවි­සෙ­න්නට අපිට සිදු­වනු ඇත.

ස්තූතිය - අව­සර ගැනීම් සම්බ­න්ධී­ක­ර­ණය කළ ජ්‍යෙෂ්ඨ දුම්රිය රියැ­දුරු සමන් ගුණ­ව­ර්ධන මහ­තාට, දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­පා­ලන නිල­ධාරී (සම්බ­න්ධි­ක­රණ ලේකම්) විරාජ් නානා­ය­ක්කාර මහ­තාට, තොර­තුරු තහ­වුරු කර ගැනි­මට සහාය වූ කොටුව දුම්රිය මාර්ග අධී­ක්ෂණ කළ­ම­නා­කරු ඇන්ටන් වික්‍ර­ම­රත්න මහ­තාට, නාව­ල­පි­ටිය ප්‍රවා­හන අධි­කාරී කාර්යා­ල­යට සහ ගමන ගවේ­ෂණ කණ්ඩා­ය­මට

ඥානේන්ද්‍ර ප්‍රදීප් පති­රණ
ඡායා­රූප - චතුර හේමාල්
සිළුමිණ
සිත්මල් යාය

(පැරණි ඡායා­රූප අන්ත­ර්ජා­ල­යෙනි)

Posted On Monday, 23 November 2020 11:00 Written by
2015 වසරේ ගොනු කරන ලද විල්පත්තු නඩුව අවසන් කරමින් අභියාචනාධිකරණය ඓතිහාසිික තීන්දුවක් ලබා දී ඇත. ඒ අනුව විල්පත්තුව එළි කරමින් අවතැන් ජනයා පදිංචි කරවීම නීති විරොධී බවට තින්දු කර ඇති අතර එළි කරන ලද වනාන්තරය හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ පුද්ගලික වියදමින් වන වගා කටයුතු සිදු කර පුනස්ථාපනය කළ යුතු බවට ද නියෝග කර ඇත. අදාල පදිංචිකිරීම් නීතියට අනුකූල නොවන බවත්, යුද්ධයෙන් අවතැන්වූවන් පදිංචි කිරීමට ඇති අයිතිය පිළිගන්නා අතරම ඔවුන් ඔවුනගේ පූර්ව වාසභූමිවල යළි පදිංචි කිරීමට ඇති හැකියාව සළකා පබැලිය යුතු බවත් තීන්දුවේ වැඩිදුරටත් සදහන් වේ. ඊට අදාල වියදම් ඇස්තමේන්තුව සකස් කර ඒ සදහා කොපමණ මුදලක් වැය වන්නේ ද යන්න මෙම තීන්දුවේ දින සිට මාස දෙකක් ඇතුළත රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට දැනුම් දෙන ලෙසට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝග කර ඇත. තවද අදාල මුදල බැර කළයුත්තේ කවර ගිනුමකටදැයි එ් සමගම රිෂාඩ් බදුර්දීන්ට දන්වා සිටින ලෙසට ද අභියාචනාධිකරණය නියෝග කර ඇත. අභියාචනාධිකරණ නියෝගයට අනුව රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා විසින් අදාල මුදල එම දැන්වීම ලැබී මාසයක් ඇතුළත - දෙන ලද ගිණුමේ තැන්පත් කළ යුතුව ඇත. හංගේරියාව සහ ස්ලෝවැකියාව අතර පැවති ගබ්කිකෝවෝ-නගිමාරස් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අන්තර්ජාතික අධිකරණයේදී කීර්තිමත් ශ්‍රී ලාංකේය විනිසුරු සී. ජී. වීරමන්ත්‍රි මහතා දැක්වූ අදහසත්, එප්පාවල නඩු තීන්දුවේදී කීර්තිමත් විනිසුරු ඒ.ආර්.බී. අමරසිංහ මහතා ප්‍රකාශ කළ තීන්දුවත් තවත් පූර්ව නඩු තීන්දු ගණනාවකුත් මෙම තීන්දුව ලබාදීමේදී අභියාචනාධිකරණය සැළකිල්ලට ලක්කළ බව තීන්දුවේ සදහන් වේ. තවද බෞද්ධ දර්ශනයේ එන කූටදන්ත සූත්‍රයත්, හින්දු දර්ශනයේ එන භූමිකන්ද-පද්මපූරණයත්, ඉස්ලාම් දහමේහි කුරාණයේ සදහන් විශ්වය පිළිබද භාරකාරත්ව සංකල්පයත් ඇතුළු තවත් සංකල්ප සහ නිරීක්ෂණ ගණනාවකින් ද අභියාචනාධිකරණ තින්දුව සමන්විත වී තිබිනි. මෙම නඩුව ගොනු කොට කරුණු දක්වන ලද්දේ පරිසර යුක්ති කෙන්ද්‍රයේ රවීන්ද්‍රනාත් දාබරේ ඇතුළු නීතීඥ කණ්ඩායමක් විසිනි.
Posted On Monday, 16 November 2020 13:04 Written by

 

ලංකාවේ බෝතලේ වලව්වේ ඉපදී පොදු මහජනතාව අතර සමීප සම්බන්ධතා පැවැත්වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයටත් පෙරාතුව මීගමුව දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රීවරයා ලෙස නිතරගයෙන්ම පත්වූ දොන් ස්ටීවන් සේනානායක මහතාණන් හැම තැනකදීම කටයුතු කළේ තමන් පොළවේ පය ගසාගෙන සිටින තැනැත්තෙකු වශයෙනි. මෝදර සාන්ත තෝම්ස් කොලීජියෙන් හත පන්තිය සමත්ව ‘කැලේ පැන්නද’ ඔහුට කවර තරම් උගත්, උසස්, වැදගත් කෙනකු සමග වුවද එක සීරුවේම එක එල්ලේ ඉහළ ඉංග‍්‍රීසියෙන් වුවද කතා කිරීමේ හැකියාව තිබුණේය. එය ගමේ ගොඬේදී ගැමියකු සමග කතා කිරීමටද මෙන්ම එතුමනට අමුතු ආවේගයක් හෝ ආවේශයක් ගන්නට වුවමනා නොවූයේය. එහෙයින්ම කවර රජ සබයකදී වුවද මේ දොන්ස්ටීවන් සේනානායකයෝ සිය පෞරුෂයෙන් හා ප‍්‍රායෝගික අත්දැකීමෙන්ම මුල් තන්හිම වැජඹීමේ අවස්ථාව හිමිකර ගත්හ.

එතුමෝ තම පරම්පරාවෙන්ම ලද ආභාෂය අනුව සෙසු මනුෂ්‍යයන් විශ්වාස කිරීමට හුරු පුරුදුව සිටියේ තමන් මෙන්ම ඔවුන්ද තමන් මෙන්ම අවංක විය යුතුය. න්‍යායෙහි පිහිටා සිටය. එහෙයින්ම එතුමෝ තමන් තම රටට, ජාතියට ආදරය කරන්නාක් මෙන්ම මේ රටේ සිටින අන් ජාතික නායකයන්ද තම රටටත්, ජාතියටත් ආදරය ගෞරවය කරන බව දැන සිටියහ. එනිසාම අපේ රටට සුදු ජාතික ආණ්ඩුවෙන් නිදහසක් ලබාගත යුත්තේ සිංහල ජාතියක් උදෙසා පමණක් නොවන බවද දෙමළ ජාතිකයන් සඳහා පමණක් නොවන බවද, මුස්ලිම් ජාතිකයන් උදෙසා පමණක් නොවන බවද අන් සුළු ජාතිකයන් උදෙසා පමණක් නොවන බවද මුල සිටම තේරුම් ගෙන සිටියහ.

අප නිදහසක් ලබාගත යුත්තේ මේ රටේ සිටින මේ රටේ ඉපදුණ සියලූම ජාතිකයන් වෙනුවෙන්ම බව මෙසේ කලින්ම තේරුම් ගත් එතුමෝ තමනට කොතරම් අවස්ථාව ලැබුණද පක්‍ෂයක් පිහිටුවා එහි නායකත්වයක් දරන්නට උත්සාහ නොකළහ. එවැනි අවස්ථාවන් කොතෙකුත් එළැඹියද එවන් කටයුත්තකට නොපෙළඹුණාහ.

එතුමෝ සියලූම ජාතික නායකයන් අගනුවරට කැඳවා දේශපාලන පක්‍ෂයක් නිර්මාණය කරවූවේ එංගලන්තයේ යටත් විජිත ලේකම්වරයාගෙන් නියත වශයෙන්ම ලංකාවට නිදහස ලබා ගන්නට හැකිකම. ලැබේය යන විශ්වාසය තහවුරු වීමෙන් පසුව ඒ සඳහා ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීමේ අවශ්‍යතාව අනුවය.


මේ අනුව වර්ෂ 1946 සැප්තැම්බර් 6 වැනිදා කොළඹ හතේ ‘ෆාම්කෝට්’ මන්දිරයට එක්රැුස් වූ රටේ විවිධ ජාතික නායකයන් එක්ව ‘එක්සත් ජාතික පක්‍ෂය’ පිහිටුවා ගෙන මේ වන විට හැට දෙවැනි වියේ සිටි ඞී. ඇස්. සේනානායක ගොවිකම් හා ඉඩම් අමාත්‍යතුමන් පක්‍ෂයේ සභාපති පදවියට පත්කර ගත්හ. මේ අවස්ථාවේදී වර්ෂ 1935 දී වේයන්ගොඩ රාජ්‍ය මන්ත‍්‍රීවරයා ලෙස සිටියදී ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මැතිතුමා විසින් පිහිටුවා ගන්නා ලද ‘සිංහල මහා සභාවේ’ ප‍්‍රමුඛතම සාමාජිකයන් පිරිසක්ද මෙම පක්‍ෂයට එක්වූහ.

ඉන් අනතුරුව වර්ෂ 1947 තේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී වැඩි ආසන සංඛ්‍යාවක් ලද එක්සත් ජාතික පක්‍ෂය සෙසු පක්‍ෂ කීපයකම ජාතික නායකයන්ටද තැන දෙමින්ද ආණ්ඩුවක් පිහිටු වූහ. වර්ෂ 1948 පෙබරවාරි 4 වැනිදා එංගලන්තයේ රජු නියෝජනය කරමින් මෙහි පැමිණි එතුමාගේ බාල සහෝදර ග්ලෝස්ටර්හි ආදිපාදතුමාගේ ප‍්‍රධානත්වයෙන් අපට නිදහස ලැබීමේ උත්සවය පැවැත්විණි.

මේ වන විට ලෝකයටම බලපෑ දෙවැනි ලෝක මහා සංග‍්‍රාමයද කෙළවර වී තිබුණු බැවින් වැඩි දෙනකුට ලෝක සාමය අත්දකින්නට ඉඩ සැලසී තිබිණි.

මෙසේ කටයුතු සිදුවෙමින් තිබියදී එංගලන්තයේ බකිංහැම් මාලිගය මංගල්‍යශ‍්‍රීයෙන් ඉපිලී ගියේ ඔටුන්න හිමි එලිසබත් කුමාරිතොමෝ ග‍්‍රීසියේ පිලිප් කුමාරයා හා සමග සරණ බන්ධනය උදෙසා සූදානම් වීම නිසාය.

මෙම රාජකීය විවාහ මංගලෝත්සවය උදෙසා සිලෝන් රටේ - ලංකාවේ අග‍්‍රාමාත්‍ය මහාමාන්‍ය ඞී. ඇස්. සේනානායක මැතිතුමා සහ එම මැතිිනිියටද සුවිශේෂ ආරාධනයක් ලැබිණ. තමන් හා මැතිනිය මීට කලින්ද එංගලන්තයේ බකිංහැම් මාලිගයට හෝ හය වැනි ජෝර්ජ් මහ රජතුමා හා එලිසබත් මව් බිසව මෙන්ම ඔවුන්ගේ දූවරුන් දෙදෙනා වූ එලිසබත් හා මාග‍්‍රට් කුමාරියද දැක දැන හඳුනාගෙන තිබෙන නිසාමද මෙම ආරාධනය සුවිශේෂ ආරාධනයක් ලෙසද ගණන් ගැනිණ.

රාජකීය මංගල ගමනට ලක ලෑස්ති වූ ඞී. ඇස්. අගමැතිතුමා කල්පනා කළේ නව මනාල යුවළට කිසියම් මතක හිටින අන්දමේ දේශීය ලක්‍ෂණ විදහා පාන අන්දමේ තෑග්ගක් දිය යුතු බවය. ඒ ගැන කල්පනාකාරී වීමෙන් පසුව එතුමාගේ සිහියට ආවේ අපේ ඉපැරැණි කැටයමක් කළුවර ලීයෙන් කප්පවාගෙන එය තමන්ට අතේ ගෙන යන්නට කටයුතු යෙදිය යුතු බවය.

ඒ අනුව දොන් කරෝලිස් හේවාවිතාරණ සහ සමාගමේ ප‍්‍රධාන කැටයම් ශිල්පියකුට අරලියගහ වලව්වට පැමිණ තමන් හමුවන ලෙස සේනානායක අගමැතිතුමෝ පණිවුඩයක් යැවූහ.

අගමැතිතුමාගේ ආරාධනය අනුව දොන් කරෝලිස් පුත‍්‍ර සමාගමේ ප‍්‍රධානියකු වූ බී. කුමාරදාස පෙරේරා මහතා අරලියගහ මන්දිරයට ගොස් එතුමා හමුවූයේය. සාකච්ඡාව සාර්ථකව නිම කෙරිණි.

පැරැණි සිංහල කැටයම් කලාව මුර්තිමත් කෙරෙන අයුරින් කළුවර ලීයෙන් අඩි එකකුත් අඟල් අටක් දිගටත්, අඩියක් පළලටත් සිටින සේ ‘නව නාරි හස්ති කුංජරය’’ නම් කැටයම සම්පාදනය කිරීමට අණ කෙරිණි. තරුණ කාන්තාවන් නවදෙනකු විසින් ඇතෙකු නිර්මාණය කෙරෙන ලෙස පෙනී සිටීම මෙම සූක්ෂම කැටයම් නිර්මාණය මගින් විවරණය කෙරෙන හෙයින් එයින් මේ මංගල ජෝඩුවගේ මෙන්ම එහි පැමිණෙන සුවිශේෂ අමුත්තන් තුළ ද බලවත් හැඟීමක් මතු කරමින් තැබිය හැකි යැයි ගරු අගමැතිතුමෝ සිතා ගත්හ.

විශේෂයෙන්ම කුමාරදාස පෙරේරා මහතා විසින් ගෙනැවිත් තිබූ කැටයම් රූපසටහන් අනුව මෙම ‘නව නාරි හස්ති කුංජරය’ අගමැතිතුමාගේ සිත බලවත් ලෙස පැහැරගෙන තිබිණි. එහි කාන්තාවන් නවදෙනකුගෙන් හස්තියා නිර්මාණය වී තිබුණු බව පෙනිණි.

දින සතරකින් පසුව කුමාරදාස පෙරේරා මහතා විසින් අරලියගහ වලව්වට ගෙනැවිත් ඞී. ඇස්. සේනානායක අගමැතිතුමා වෙත එම කළුවර කැටයම දක්වාලන ලද අවස්ථාවේදී එතුමෝ එය සූක්‍ෂ්ම ලෙස කැටයම් කර තිබෙන අන්දම දැකබලා අතිශයින්ම සතුටට පත් වූහ. එහෙයින් එවේලේ එතුමා අතින් මුදල් ත්‍යාගයක් ද තවත් තෑගි කිහිපයක් ද කුමාරදාස මහතා වෙත පිරිනැමිණ. මොලී සේනානායක මැතිනියද මේ සුවිශේෂ කැටයම දැකබලා අතිශයින්ම සතුටට පත් වූවාය.

තමන් ඇතුළු ජාතික නායකයන් පිරිස දසක ගණනාවක් තිස්සේ දරන ලද ප‍්‍රයත්නයෙන් ජයග‍්‍රහණය ලබා රටට නිදහස ලබා ගැනීමෙන් පසුව මහ මැතිවරණයෙන් ලද ජය අනුව ආණ්ඩුවක් පිහිටුවා එහි අග‍්‍රාමාත්‍ය ධුරය තමනට ලබන්නට හැකිවීමත් සමගම මේ රාජකීය විවාහය උදෙසා ආරාධිත නිමන්ත‍්‍රණය ලැබීමද සේනානායක අගමැතිතුමන් සැලකුවේ මහත් වූ ගෞරවයක් හැටියටය.

තවත් යුරෝපීය කලිසම් කබා ඇඳුම අනුගමනය කළ නමුදු ඔවුන්ගේ පාලනයට නතුව ස්ව රට වෙනුවෙන් රටේ හැම ජාතිකයන් වෙනුවෙන්ම පූර්ණ නිදහස ලබාගත් නමුදු වාමාංශික විරුද්ධ පාක්‍ෂිකයන් කවදත් මෙම ජාති මාමක දේශ මාමක සේනානායක ජන නේතෘවරයාණන්ගේ ප‍්‍රයත්නය හෑල්ලූ කොට සලකන්නට හුරු පුරුදු වී සිටියහ. එහෙත් කවදත් විරුද්ධ පාක්‍ෂිකයන්ට ද ගරු කිරීමේ ප‍්‍රතිපත්තියක සිටි එතුමෝ ඒවා ගණනකට නොගෙන තම ප‍්‍රතිපත්ති රටට, ජාතියට මෙහෙය පිණිසම කි‍්‍රයාවෙහි යෙදවූහ.

කරුණු මෙසේ යෙදී තිබියදී සේනානායක අගමැතිතුමෝ තම මැතිනිය සමග එංගලන්තයට ගොස් එළිසබත් කුමාරියත් පිලිප් කුමාරයාගේත් විවාහ මංගල්‍යට සහභාගි වූහ.

එහිදී තමන් ලංකාවේ සිට සුරක්‍ෂිතව තම අතේම ගෙන ආ කළුවර ලීයේ කැටයම් කළ ‘නව නාරි හස්ති කුංජරය’ සුදුසු වේලාවක් බලා සේනානායක යුවළ විසින් නව යුවළ වෙත පිළිගන්වන ලදහ. කවර තරමේ කලබල මධ්‍යයේ වුවද ලංකා අගමැතිතුමාගේ මෙම අපූරු හෙළ කැටයම් තෑග්ගට රාජකීය මනාල යුවළගේම අවධානය යොමු වූ බව පෙනුණේය. එම කැටයම් එම අවස්ථාවේදීම මහා බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි එළිසබැත් මනාලිය මෙන්ම මේ අවස්ථාවේ එතුමියව හිමිකරගෙන සිටි පිලිප් කුමරා ද සේනානායක අගමැතිතුමාගෙන් මෙම සුවිශේෂ කැටයම පිළිබඳව තොරතුරු හාරා අවුස්සා ඇසූහ.

සේනානායක අගමැතිතුමාගෙන් එයට නියම ලෙස පිළිතුරු ලැබිණි. ඒ වන විටද තම පිය මහරජතුමාගෙන් ‘මහාමාන්‍ය’ නම් වූ එංගලන්තයේ සාමි මන්ත‍්‍රණ මණ්ඩලයේ සභික සම්මානය ද ලබා සිටි මේ සේනානායකයාණන් පිළිබඳව ප‍්‍රසාදයෙන් යුතුව කතාබහ කිරීමට මනාල යුවළම පෙළඹුණු බවද දක්නට ලැබිණී.

මෙම සිද්ධියේ අලගිය මුලගිය තැන්ද සොයා දැනගෙන මෙසේ පාඨකයන් වෙත ලියා දක්වන්නට අප අදහස් කළේ ඉන් දසක ගණනකට පසුව එම ත්‍යාගය පිළිබඳව තවත් තොරතුරක් ද දැනගන්නට අපට අවස්ථාව ලැබුණු නිසාය.

නවසිය අනූ ගණන්වල අග භාගයේ සිට අපට දැන හඳුනා ගන්නට ලැබුණු ආර්. ජී. සේනානායක මැතිනිය (එරින් සුබසිංහ සේනානායක මැතිනිය) ඇමැතිතුමාත් සමගම එක් කලෙක එංගලන්තයට ගිය අවස්ථාවක එහි ලංකා තානාපති මන්දිරයේ බිත්තියක මෙම ඓතිහාසික රාජකීය කැටයම් කුංජරය ගෞරවයෙන් යුතුව එල්ලා තිබෙනු දැක එහි තානාපතිවරයාටත් නිලධරයන්ටත් එහි ඉතිහාසය කියා පැහැදිලි කර දුන් අන්දම අප සමග පැවසුවාය. එහි සිටි පැරණි නිලධරයන් පවා එහි අතීත කතාව දැනගත්තේ එවිටය. එළිසබත් කුමරිය පසුව බි‍්‍රතාන්‍ය මහ රැජින වූවාට පසුව දිනෙක මේ රාජකීය කෘතිය වඩාත් සුදුසු ලංකා තානාපති මන්දිරයට බව පවසා එය වෙත ප‍්‍රදානය කර තිබිණි.

සමහර විට මේ දුර්ලභ ත්‍යාගය තවමත් එංගලන්තයේ ලංකා තානාපති මන්දිරයේ බිත්තියක රැඳී තිබෙන්නට ද පුළුවන.

සෝමසිරි කස්තුරිආරච්චි
-Divaina-

Posted On Friday, 13 November 2020 05:46 Written by

කැල­ණියේ හැංගිලා තියෙන ස්පිට්ල්ගේ බංග­ලාව

* ඉස්සර මෙහේ වත්තේ වැද්දොත් හිටි­යලු
* මේ ගෙයි භූතයො ඉන්නවා කියා හිතෙ­නවා

දොස්තර ආර්.එල්. ස්පිට්ල් යනු මෙරට එක්තරා යුග­යක් යැයි කීම වර­දක් නැත. හේතුව නම් ඔහු එදා නොසි­ටි­න්නට අද අප අපේ ආදි­වා­සීන් පිළි­බඳ විම­සි­ලි­මත් නොවනු ඇත. වෛද්‍ය­ව­ර­යකු වූ ස්පිට්ල් වෙද­ක­මට අම­ත­රව ප්‍රිය කළේ කැලෑ­වල ඇවි­දී­ම­ටය. වැද්දන් ඇසුරු කිරී­මට ය. ඔහු පිළි­බඳ බොහෝ කතා ඇත්තේ ය. ස්පිට්ල් මහතා පිළි­බඳ විම­සන විට අපට හැම විටම සිහි­යට නැඟෙන්නේ කොළඹ රේඩියෝ සිලෝන් එක ඉදි­රි­පිට ඇති ඔහුගේ ‘විචර්ලි’ නම්වූ ඉපැ­රැණි නිව­සයි‍. අද එම නිවසේ ‘විචර්ලි’ ජාත්‍ය­න්තර පාසල පව­ත්වා­ගෙන යන්නේ ය. ස්පිට්ල් මහතා පිළි­බඳ කිසිම සෙවි­ල්ලක් බැලි­ල්ලක් කිරී­මට අව­ශ්‍ය­තා­වක් නොතිබූ මොහො­තක මා මිතු­රෙක් අපූරු ‍ඔත්තුවක් දුන්නේ ය. “අන්න ස්පිට්ල් මහ­ත්ත­යාගේ බංග­ලා­වක් තියෙ­න­වලු කිරි­බ­ත්ගොඩ මාකොළ දකුණේ.”

මිත්‍ර­යාගේ ඔත්තු­වට අනුව ස්පිටල් මහ­තාගේ පොත පත කියවා ඇති ඔහුගේ ඉති­හා­සය පිළි­බඳ දන්නා වැඩි­හිටි කිහිප දෙනෙ­කු­ගෙන් ම මෙම බංග­ලාව පිළි­බ­ඳව විමසා බැලීමි. ඇසූ කිසි­වෙක් ඒ ගැන යමක් කිය­න්නට නොදැන සිටි­යහ. අව­සා­නයේ අපි කැල­ණිය විශ්ව විද්‍යා­ලයේ ආචාර්ය දිය­මුල්ල මහතා ඇමැ­තු­වෙමු.

“මේක බොරු ගම­නක්ද? ඉකුත් ඉරිදා එම ස්ථාන­යට යන­තුරු ම සිතට වද­දුන් එකම ප්‍රශ්නය එය විය.

“ආර්.එල්. ස්පිට්ල් හෙවත් රිචඩ් ලය­නල් ස්පිට්ල් උපත ලබන්නේ 1881 දෙසැ­ම්බර් මස නව වැනි­දාය. ස්පිට්ල්ගේ පියා වන්නේ 1760 දී මෙර­ටට පැමිණි ඕලන්ද රාජ්‍ය­තා­න්ත්‍රික නිල­ධා­රි­යෙකි. ඔහු නම් වෛද්‍ය ෆෙඩ්රික් ජෝජ් ස්පිට්ල් ය. මව සිලියා ජෑන්ස්ය. තංගල්ලේ දී උපත ලැබූ ස්පිට්ල් තංගල්ල පුත්ත­ලම පාස­ල්වල ඉගෙ­නුම ලබා වය­සින් වැඩෙත්ම වැඩි­දුර ඉගෙ­නුම ලැබීම සඳහා කොළඹ රාජ­කීය විද්‍යා­ල­යට ඇතු­ළත් කෙරේ. රාජ­කීය විද්‍යා­ල­යෙන් ඉගෙ­නුම ලබා පසුව වෛද්‍ය පීඨ­යට ඇතු­ළ­ත්වන ස්පිට්ල් වැඩි­දුර අධ්‍යා­ප­නය සඳහා එංග­ල­න්තය බලා පිටත්ව යන්නේ ය. ඔහු එල්.එම්.එන්. විභා­ගය සමත් වන්නේ 1905 දී ය. එංග­ල­න්ත­යට ගොස් එෆ්.ආර්.සී.එස්. උපා­ධිය සමත්ව ඔහු 1909 දී නැවත ලංකා­වට පැමි­ණෙන්නේ ය. බර්ගර් ජාති­ක­යකු වන වෛද්‍ය ස්පිට්ල් 1936 සිට 1938 දක්වා ලංකා ඩම් බර්ගර් සංග­මයේ සභා­පති ධූරය ද උසු­ලනු ලබයි.

වෛද්‍ය ස්පිට්ල් කොළඹ මහ රෝහලේ දක්ෂ ශල්‍ය වෛද්‍ය­ව­ර­යෙකි.

ලංකාවේ ප්‍රථම වරට අස්ථි බද්ධ කිරීමේ සැත්ක­මක් සිදු කළේ වෛද්‍ය ස්පිට්ල් විසින් යැයි අතීත වාර්තා­වල සඳ­හන්ව ඇත. යටත් විජිත සමයේ ලංකාවේ රජයේ දක්ෂ ශල්‍ය වෛද්‍ය­ව­ර­යකු ලෙස ස්පිට්ල් හඳුන්වා දීමට පුළු­වන. වෛද්‍ය විද්‍යාව එත­රම් දියුණු නැති කාලය දැනට වසර එක­සිය හය­කට පමණ පෙර සර­නේ­ලිස් නම් 17 හැවි­රිදි තරු­ණ­යකු 1912 ඔක්තෝ­ම්බර් මාසයේ දිනෙක දකු­ණතේ ආබා­ධ­යක් නිසා කොළඹ රෝහල විටින් විට මෙයට ප්‍රති­කාර කළ ද නිට්ටා­වට සුව­යක් නොවී ය. වෛද්‍ය ස්පිට්ල් රෝගය හඳුනා ගත්තේ ය. ඔහුගේ නිය­මය වන්නේ අස්ථි­යක් බද්ධ කළ යුතු බව ය. මාස ගණ­න­කට පසු සර­නේ­ලිස් රෝහල් ගතව සිටින අතරේ ම වයස අවු­රුදු 30 ක් ව‍ු මිනි­සකු රෝහ­ලට පැමි­ණෙන්නේ ඩයි­න­ම­යිට් පිපි­රී­මක් නිසා යළි යථා තත්ත්ව­යට ගත නොහැකි තර­මට හානි වූ අතක ආබා­ධ­යක් සහි­ත­වය. මේ වෙනු­වෙන් කළ හැකිව තිබූ එකම දෙය අත ඉවත් කිරී­මය.

මෙහිදී වෛද්‍ය ස්පිට්ල් තීර­ණ­ය­කට ‍එන්නේ ය. එනම් ඩයි­න­ම­යිට් පිපි­රු­මෙන් හානි වී තිබෙන අත ඉවත් කර ලබා­ගන්නා අස්ථි කොටස් සර­නේ­ලිස්ගේ අතට බද්ධ කිරී­ම­ටය. ඉවත් කර ගන්නා අස්ථි කොටස් උණු­සුම් සේල­යින් වතුරේ බහා තබා සර­නේ­ලිස්ට අස්ථි සැත්කම සිදු කරන්නේ ය. වෛද්‍ය ස්පිට්ල් සුදුසු අයු­රින් සැත්කම සිදු කරන්නේ ය. සැත්ක­මෙන් මාස පහ­කට පමණ පසු සර­නේ­ලිස් ගමට යන්නේ ක්‍රියා­කාරී අතක් ද සහි­ත­වය. ඔහු තම සේවය උප­රිම කැප­වී­මෙන් කළ අයෙකි. නමුදු බාල­වියේ සිටම කැලේ කොළේ සතා සීපා සමඟ ඇවි­දී­මට ගැව­සී­මට ඔහු ප්‍රිය කළේය. එය එසේ වීමට හේතුව වූයේ ඔහුගේ පියා කුඩා ස්පිට්ල්ට විශ්වා­ස­වන්ත වැඩි­හි­ටි­යෙකු සමඟ කැලේ බැලීම සඳහා පිට­ත්කර හැරු­මය.

වෛද්‍ය සේවයේ යෙදී සිටිය ද ස්පිට්ල් ඒ පුරුද්ද අත් නොහැ­රියේ ය. ඔහු වැද්දන් සොයා දඹාන, පොල්ලේ­බැද්ද ආදී ප්‍රදේ­ශ­ව­ලට නිතර ගියේ ය. ඒ ගිය ගම­න්ව­ලදී වැද්දෝ ඔහු හා බොහෝ හිත­වත් වූයේ ය.

මීට වස­ර­කට දෙක­කට පෙර පොල්ලේ­බැ­ද්දට ගිය විටෙක එහි ආදි­වාසී නායක් හෝඹා ඇත්තන් අපට හමු­විය. ඔහු වයෝ­වෘ­ද්ධය. හෝඹා ඇත්තන්ට වෛද්‍ය ස්පිට්ල් හමු­වන විට හෝඹා කොලු ගැට­යෙකි. වෛද්‍ය ස්පිට්ල් ගැන සිහි­ක­රන විට ඔහුගේ දෑස කඳු­ළෙන් පිරුණි.

“සුදු හූරා අපට බොහෝම හිත­වත්. සුදු හූරාගේ දුව ක්‍රිස්ටිනා එක්ක මං සෙල්ලම් කර­නවා. ඒ කාලේ හැම­තැ­නම මැලේ­රි­යාව. සුදු හූරා කත­මයි අපිට බෙහෙත් ගෙනැල්ලා දෙන්නේ. සුදු හූරගේ කොළඹ ගෙද­ර­ටත් මං ගිහින් තියෙ­නවා. ඉස්සර ක්‍රිස්ටිනා නෝනා මාව බලන්න එනවා. මගේ ඇහැට කාචය දාලා දුන්නෙත් ඒ නෝනා” වැද්දන් අදද වෛද්‍ය ස්පිට්ල් සිහි කරන්නේ ගෞර­ව­යෙනි.

වෛද්‍ය විද්‍යා­වට වඩා වෛද්‍ය ස්පිට්ල් සේවය කර ඇත්තේ සාහි­ත්‍ය­යට යැයි විටෙක අපට සිතේ. ඒ සිතු­විල්ල එසේ වන්නේ ඔහු ලියූ පොත පත තව­මත් අපේ මත­කයේ ඇති බැවිනි. “සුදු ගෝනා” කිය­වූයේ බාල වියේදී ය. නමුදු සුදු ගෝනා තව­මත් සුන්දර මත­ක­යකි. වන­යේදී හමු­වන සුදු­ගෝනා දෙවන රාජ­සිංහ රජුගේ යුග­යට සම්බන්ධ අපූරු කතා­වකි. ඕලන්ද නැවක සිටි ‘හෑන්ස්’ නම් තරු­ණයා කැලයේ අත­රමං වී සතුන් හා මිතුරු වෙමින්, ගඩා ගෙඩි කමින් ගෙවන අපූරු කතාව ස්පිට්ල් ලියන්නේ 1958 දී ය. එය අපේ ළමා මනසේ තව­මත් සැරි­ස­රන අදත් රස­වි­ඳින කතා­වකි. සුදු ගෝනා පම­ණක් නොව, මැකී ගිය දඩමං, වන­ස­රණ ආදී වශ­යෙන් ස්පිට්ල් ලියූ කතා රැසක් සිංහ­ල­යට නැඟිණි. වෛද්‍ය ස්පිට්ල් ගැන බොහෝ මත­ක­යන් අලු­ත්ව­න්නට වූයේ කිරි­බ­ත්ගොඩ මාකොළ ස්පිට්ල් බංග­ලා­වට යන ගම­නේදී ය. ස්පිට්ල් පිළි­බඳ තොර­තුරු සොයන විට ඔහු පිළි­බඳ කියවූ ලිපි­ය­ක­වත් මෙම නිවෙස ගැන සඳ­හ­නක් හමු­වූයේ නැත. තොර­තුරු තිබුණේ කොළඹ ගුවන් විදු­ලිය ඉදි­රි­පිට ඇති ‘විචර්ලි’ බංග­ලාව ගැන පමණි. එසේ නම් අප මේ පැමිණි ගම­නින් පලක් වේද? සිත ඇත්තේ දෙගි­ඩි­යා­වකි.‍

“මේ තියෙන්නේ ස්පිට්ල්ගේ වත්තේ පැර­ණිම ළිඳ. මොන හේතු­ව­කට ද දන්නේ නැහැ ඒක නම් තවම ඉවත් කරල නැහැ. මම මගේ ඉඩම ගත්තේ වෙන්දේ­සි­ය­කින්. මම පරණ පත්තිරු සෙව්වා. එත­කොට තමයි දැන ගත්තේ මේ ඉඩම වෛද්‍ය ස්පිට්ල්ට අයි­තිව තිබුණ බව. 2008 තමයි මං ගත්තේ. එත­කොට අර පේන අධි­වේගී මාර්ගය හදලා තිබුණේ නැහැ. ඒ හරියේ තිබුණේ ලස්සන කුඹුරු යායක්‍. අපේ ගෙව­ල්ව­ලට හැරෙන පාර නම් කරලා තියෙන්නේ ‘ස්පිට්ල් ඇව­නිවු’ කියලා. තව ටිකක් එහාට වෙන්න තමයි ස්පිට්ල් බංග­ලාව තියෙන්නේ‍. ඉස්සර මේක ගන කැලෑ­වක් ලු.”

ආචාර්ය දිය­මුල්ල අපට තොර­තුරු කිය­න්නට විය.

ඉස්සර මෙය ගන කැලෑ­වක් නම් ගෝඹා ඇතුළු වැද්දන් එකල පැමිණ ඇත්තේ මේ බංග­ලා­වට දැයි මට එක්ව­රම සිහි­විය. අක්කර පන­හක් වූ භූමි භාගයේ දැන් තැනින් තැන නව නිවාස ඉදි වෙමින් තිබෙන්නේ ය. ඒ අලුත් මෝස්ත­රයේ නිවා­සය. ඒ අතර පැරණි මෝස්ත­රයේ ගරා වැටුණු නිවෙස නෙතට ගෙනාවේ කඳු­ළකි‍.

මේ එක්තරා යුග­යක් නියෝ­ජ­නය කරන පුරා වස්තු­වක් නොවේද? මේ නිවෙස වසර සිය­ය­කට වඩා පැරණි ඇතැයි බැලූ බැල්මට සිතිය හැකි ය‍. නිවෙස ආස­න්න­යට යාමට අසීරු ය. ‍ඒ එහි සිටින බලු රෑන නිසා ය. වෛද්‍ය ස්පිට්ල්ට තව­මත් ආද­රය කරන අස­ල්වැ­සි­යකු අපට ස්පිට්ල් වත්තේ දී හමු විය. ඔහු දුලාන් යාපා ය.

“මම පොඩි කාලේ ඉඳ­ලම ඩොක්ටර් ස්පිට්ල් ලියපු සුදු ගෝනා, මැකී ගිය දඩමං ආදී පොත් කිය­වලා තියෙ­නවා. ඒ පොත් නිසා තමයි මම ස්පිට්ල්ට ආදරේ කරන්න පටන් ගත්තේ. මේ ඉඩම ස්පිට්ල්ගේ වත්තක් කියලා දැන ගත්තාම හිතට පුදුම සතු­ටක් දැනුණා. ඒ බව දැන දැනම තමයි අපි මෙහෙට ආවේ. මේ බංග­ලාව සංර­ක්ෂ­ණය කර­නවා නම් තමයි හොඳ? මේ බංග­ලාව දකින කොට මට හිතෙ­නවා ස්පිට්ල් මහ­ත්තයා මේ ගෙදර ඉඳ­ගෙන තමයි සුදු­ගෝනා ආදී පොත් ලියන්න ඇත්තේ කියලා.” දුලාන් අපට පැවැ­සුවේ ගරා වැටුණ නිවෙස පෙන්ව­මිනි.

වසර ගණ­නා­වක් පැරණි නිවෙස වටා අද ඇත්තේ නවීන පන්නයේ නිවෙස් ය. ස්පිට්ල්ගේ බංග­ලා­වට මේ වන­විට අයි­ති­ක­රු­වන් කිහිප දෙනෙ­කුම ඇතැයි යන්න වට­පි­ටින් ලැබුණ තොර­තුරු ය. අප එහි ගියේ ඒ පිළි­බඳ සොයා බල­න්නට නොවේ. එනිසා වසර ගණ­නා­වක් තිස්සේ මෙම බංග­ලාව බලා­ගන්නා අය හමු­වීමු.”

ඔහු සිය නම ගම කිය­න්නට මෙන් ම ඡායා­රූ­ප­ය­කට පෙනී සිටි­න්නට ද අදි­මදි කළේ ය.

“මම ස්පිට්ල් මහ­ත්ත­යාගේ පොත් කිය­වලා තියෙ­නවා. ඒ පොත් හරි ලස්ස­නයි. ඉස්සෙ­ල්ලාම මේ ඉඩම වෙන්දේසි කළේ සෙලින්කෝ එකෙන්. මං එත­කොට එතැ­නින් වැටු­පක් ගත්තා. ඊට පස්සේ මං වැටු­පක් ගත්තේ නෑ කාගෙ­න්වත්. දැන් මමයි මගේ සත්තු ටිකයි මෙතැ­නට වෙලා ඉන්නවා. හරක් හතර පස් දෙනෙක් ඉන්නවා. උන්ගෙ ගොම ටික විකු­ණලා ලැබෙන කීයෙන් හරි ජීවත් වෙනවා. ඉස්සර මේ වත්තේ පොල් තිබුණා. පැරණි මිනිස්සු නම් කිය­නවා. ඉස්සර ස්පිට්ල් මහ­ත්තයා මෙහෙ වැද්දෝ ගෙනැල්ලා පදිංචි කර­ගෙන හිටියා කියලා. දැන් මේ ගේ තියෙන්නේ පර්චස් 42 ක ඉඩ­මක. ගෙයි කාමර හත­රක් තියෙ­නවා‍. තව දිගට කෑල්ලක් තිබුණා. ඒක කඩලා දාලා ඇතුළේ බල්ලෝ ඉන්නවා. උන්ට මම එක වේලයි කන්න දෙන්නේ. හාල් කිලෝ දෙකක් උය­නවා.‍ අහල පහල මිනිස්සු නම් කිය­නවා මේ ගෙදර භූත බල­වේග තියෙ­නවා කියලා. මටත් වෙලා­ව­කට එහෙම කියලා හිතෙ­නවා. ඒත් මං ‍ඕවා ගණන් ගන්නේ නැහැ. හැම තිස්සෙම පිරිත් දාගෙන ඉන්නේ” මුර­කරු බුලත් කහට පිරි දත් පෙන්නා හිනැ­හෙ­මින් පව­සන්නේ ය.

නිවෙස ඇතු­ළට යාමට කොතෙක් ඇහු­වද ඔහු­ගෙන් ඊට අව­සර නොලැ­බිණි. ඒ ඇතුළේ සිටිනා බල්ල­න්ගෙන් අපට අන­තු­රක් වේ යැයි ඔහු විශ්වාස කළ බැවිනි. පැරණි රෝහ­ලක් මෙන් යැයි සිතිය හැකි අයු­රින් ගොඩ නඟා ඇති ස්පිට්ල් බංග­ලාවේ මුළු­තැ­න්ගෙය ඇත්තේ වෙන­මය. බරා­දය සහිත ඉස්තෝ­ප්පුව කඩා බිඳ දමා ඇත. එහි තිබූ කබොක් ගල් වෙනම ගොඩ ගසා ඇත.

දැන් මෙහි අයි­ති­කරු යැයි කියන සුබ­සිංහ මහ­තාට අපි දුර­ක­ථ­න­යෙන් ඇම­තු­වෙමු.

“මගේ තාත්තා බොහෝම හොඳ ගනු­දෙනු කරු­වෙක් කියලා දැන ගෙන තමයි ස්පිට්ල් මහ­ත්ත­යාගේ දුව ක්‍රිස්ටින් මේ ඉඩම ඔහුට විකු­ණලා තිබුණේ.” ඒ සුබ­සිංහ පුත්‍රයා අපට පැවසූ තොර­තුරු ය.

වෛද්‍ය ස්පිට්ල් යනු මෙර­ට‍ ­එ­ක්තරා යුග­යකි. මා නැවත එසේ ලියමි. ඔහු තම අතින් විය­දම් කර­ගෙන කැලෑවේ ‍ඇවිද්ද ආදි වාසීන් හා ජීවත් වූ පරි­ස­ර­යට ආද­රය කළ පරි­ස­ර­වේ­දි­යෙකි. වරක් කොළඹ නගර සභාව මුල්වී ස්වාභා­වික සම්පත් ආරක්ෂා කර ගැනීම ගැන දේශ­නා­වක් පවත්වා ඇත්තේ ය. මෙහි ප්‍රධාන තැනක් ගෙන ඇත්තේ වෛද්‍ය ස්පිට්ල්ගේ දේශ­න­යයි. මේ දේශ­නය අසා සිටි අග­මැති ඩී.ඇස්. සේනා­නා­යක මහතා තුරු­ලතා හා වන සත්ව ආර­ක්ෂක ප්‍රඥ­ප්තිය සකස් කිරී­මට ස්පිට්ල් මහතා හා කරුණු සාකච්ඡා කළ බව පැරණි තොර­තු­රු­වල සඳ­හන් වේ.

වන සත්ව දෙපා­ර්ත­මේ­න්තුව පිහි­ටී­මට ද, විල්පත්තු අභ­ය­භූ­මිය ඇති­වී­මට ද වෛද්‍ය ස්පිට්ල් මහ­තාගේ මැදි­හ­ත්වීම තිබූ බව එම යුගයේ ලියැ­වුණ ලිපි­වල සඳ­හන්වේ. ‘ලෝරින්’ නමින් පරි­සර සඟ­රා­වක් ද ස්පිට්ල් මහතා එළි­දක්වා ඇත.

ස්පිට්ල් බංග­ලාව දෑස් ඉදි­රි­පිට ම ගරා වැටෙ­මින් තිබේ. වෛද්‍ය ස්පිට්ල් මහතා අසූ පස් වැනි වියේදී මෙලොව හැර ගියේ ය. වසර සිය ගණ­නක් පැරණි මේ නිවෙ­සට හිමි­කම් කියන ස්පිට්ල් පර­පුරේ කිසි­වෙක් දැන් සොයා ගත නොහැක. මෙය තවත් ගරා වැටී යාමට දෙන­වාද? නැති­නම් සුර­කි­න­වාද?

(විශේෂ ස්තූතිය කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාරිණි චන්දිමා නිශ්ශංක මහ­ත්මි­යට.)

ඉනෝකා සම­ර­වි­ක්‍රම සිළුමිණ පුවත්පතේ 
සිත්මල් යාය අතිරේකයට ලියූ ලිපියකි
ඡායා­රූප - ගයාන් පුෂ්පික
(පැරණි ඡායා­රූප අන්ත­ර්ජා­ල­යෙන්)

Posted On Sunday, 08 November 2020 02:23 Written by

 

 

 

ලෝකයේ වයස්ගතම නායකයන් දෙපොලක් තර`ග කරන ලද ඇමරිකානු ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය නිකුත්වන විට මෑත භාගය තුළ එරට වයස්ගතම පාලකයා බලයට පත් වනු ඇත. ඇමරිකානුවෝ අවස්ථා සොයා ගොස් අලූත් රටක් හදාගත් පිරිසකි. ප්‍රජාතන්ත්‍රවාදය හා විවෘත ආර්ථීක ක්‍රමය හ`දුන්වා දුන්හ. අලූතින් හැදෙන තාක්ෂණික යුගයේ ඇමරිකාවේ ස්වභාවය කෙබ`දු විය හැකිද යන්න අධ්‍යයනය කළ යුතුය. ජෝ බයිඩන් ගේ නායකත්වය ගෝලීයකරණයේ අද පවතින ව්‍යුහයට ගෙන එන උත්තරය ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය.

ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර දීර්ඝ කාලීන සම්බන්ධතාවයක් තිබේ. බලපෑම හා බලහත්කාරය ගැන විරසකයක් ද ඇත. එහෙත් මෙරට අපනයන ආර්ථීකයේ සෑහෙන පංගුකාරීත්වයක් උසුලයි. සීතල යුද්ධයට පසු වකවානුවේ ලෝකයේ බලවතා බවට පත්වන්නේ ඇමරිකාවයි. එහෙත් අද ස්වභාවය වෙනස්ය. සෝවියට් රුසියාව හා ඇමරිකාව අතර තිබුණ බලකාමීත්වය අද වෙනස් තැනකට පැමිණ ඇති අතර ඇමරිකා චීන දැවැන්තයන් අතර බල අරගලයක් තෙක් විහි දී තිබේ. මතුපිටින් අරගලයක ලකුණු පෙන්නුම් කරන නමුත් මෙම රටවල් දෙකටම එකිනෙකා ගේ සහාය අවශ්‍යය. බලවතුන් අතර එක`ගතා ඇතිවිය හැකි අලූත් අවකාශයක් තුළ ශ්‍රී ලංකාවේ පැවැත්ම නිර්මාණය කරගත යුතු එකකි.

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ලැඛෙන අනාවරණ

ලෝකය තළ මෙතෙක් තිබුණ යුදකාමී සහ වෙළ`ද පොල අත්පත් කරගැනීමේ තර`ගය අභිබවා කොවිඩ් වසංගතයෙන් ගැලවෙන උවමනාව ඉදිරියට පැමිණ තිබේ. ඇමරිකාව දෛනිකව ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවන රට බවට පත්ව ඇත. වූහාන් ප්‍රාන්තයෙන් වාර්තා වු බවට නිල වශයෙන් කියැවෙන පළමු රෝගියා ගේ සිට චීනය තද නිරෝධායන පාලනයක් ගෙන ගියේය. සමහර සිද්ධි පිටතට වාර්තා නොවන බවට ඇතැම් බටහිර මාධ්‍ය වාර්තා කරන නමුත් චීනය සාර්ථකව යම් පාලයකට ගමන් කර තිබේ. වසංගත තත්ත්වය මැද ඇමරිකානු ජනාධිපතිවරණය අවසන් විය. ලෝකය කළඹන ලද ට්‍රම්ප් පරාජය වූ නමුත් ඔහු අවසන් මොහොත දක්වා පරාජය භාර ගැනීමට සූදානමක් නැති බව පෙනේ. වැඩිම ඡන්ද සංඛ්‍යාව වශයෙන් පමණක් නොව වැඩිම ඉලෙක්ටෝරියල් කොලේජ් ප්‍රමාණයක් ද දිනා ගනිමින් බැරැක් ඔබාමා පාලනයේ දී උප ජනාධිපතිධුරය හෙබැවූ ජෝ බයිඩන්, ඩිමෝක්‍රටික් පක්ෂ යේ ජනාධිපතිවරයා වශයෙන් පත්ව ඇත.

ජෝෂප් රොබිනේට් බයිඩන් 1972 වසරේ සිට ඇමරිකානු සෙනෙට් සභිකයෙකි. එකල හෙතෙම එරට ඉතිහාසයේ ලාබාලතම සෙනෙට් සභික ලැයිස්තුවේ හයවැනියාගේ තැන සිටියේය. වයස්ගතම පළමු පුරවැසියාගේ තනතුරට පත්වන අවස්ථාව වන විට ලෝකයේ පවතින සියළු හැල හැප්පීම් ගැන මනා පරිචයක බව නිසැකය. ඔහු ගේ ප්‍රතිපත්ති මිශ්‍ර ස්වභාවයක් ගනී. ගල්ෆ් යුද්ධයට විරුද්ධ විය. පසුව ඉරාකයට එරෙහිව සම්බාධක පනවන විට සහාය දුන්නේය. මත් ද්‍රව්‍ය සහ අපරාධ මර්දනය වෙනුවෙන් අණ පණත් පනවන අවස්ථාවේ පෙනී සිටියේය. හෙතෙම සිවිල් නිදහස ගරු කරන නායකයෙකු වශයෙන් ප්‍රකටය. ඔබාමා පාලන කාලයේ දී එරට අය වැය පාලනය සම්බන්ධයෙන් විනයක් ඇති කරන්නට උත්සාහ කළේය. පුරවැසියන්ගෙන් අය කරන ආදායම් බදු අඩු කරන නව අණ පනත් සම්මත කරන්නට සම්බන්ධ වී ඇත. ඔබාමා ජනාධිපතිවරයා විසින් සිට සගයාට නිදහස වෙනුවෙන් පුරවැසි සම්මානය 2017 වසරේ දී පිරිනැමීය. මෙවර ජනාධිපතිවරණ වේදිකාවට හිටපු ජනාධිපති බැරක් ඔබාමා පැමිණි අතර බයිඩන් ගේ ජය වෙනුවෙන් පෙනී සිටියේය.

බයිඩන් ගේ විදේශ ප්‍රතිපත්ති දේශපාලන වේදිකාවේ දී

ජනාධිපතිවරණ වේදිකාවේ දී ජෝ බයිඩන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනාටම චීනය බලවත් සාධකයක් විය. ට්‍රම්ප් කියා සිටියේ ලෝකයේ තැනින් තැන රදවා ඇති සේනාංක අඩු කරන නමුත් යුද වියදම් කපා හරින්නේ නැති බවය. චීනයේ අපනයන වලට පනවන ලද බදු කිසිසේත් අඩු නොකරන බව ප්‍රකාශ කළේය. එහෙත් ජෝ බයිඩන් ජාත්‍යන්තරය සමග හදාගත් ගැටුම් සියල්ල නැවත හදා ගන්නා බව කෙලින්ම කියා සිටියේය. ඇමරිකානු තර`ගකාරී රටවල් සමග සම්බන්ධතා තරකරගන්නා අතර චීන වෙළ`දාමට අහිතකර සේ පනවා ඇති බදු වෙනස් කරන බව දැක්වීය. චීනය නොසැලකිය යුතු රටක් නොවන අතර සියලූම අන්තර් ජාතික සම්බන්ධතා සම්බන්ධයෙන් වගවන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ස`දහන් කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පාලන කාලය තුළ සම්මතය අභිබවා තනි පැවැත්මකට ගියේය. හිතුවක්කාර තීරණ තමන්ගේ ට්ටිටර් ගිණුමෙන් හෙළිදරව් කරන ලද අතර සමීප පුද්ගලයන් පවා දැන සිටියේ නැත. ජෝ බයිඩන් ගේ ජයග්‍රහණය සමග ඇමරිකාව නැවතත් පැරිස් සම්මුතියට එ`ක`ග වීම සිදුවිය හැකිය. ට්‍රම්ප් ගේ තීරණයක් පරිදි කාලගුණ විපත් වලකන සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වූ අතර නිල වශයෙන් එය සිදුවෙන්නේ නොවැම්බර් 04 වන දා සිටය. පැරිස් සම්මුතියට ලෝකයේ සෑම රටක්ම අත්සන් තබා ඇති අතර ඇමරිකාව නැවත ඇතුළුවුවහොත් එය බයිඩන් ජනාධිපතිවරයාගේ පළමු නිල කාර්ය අතර එකක් විය හැකිය. අනෙක ලබන වසරේ ජුලි 21 වැනි දා සිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන බවට ට්‍රම්ප් කරන ලද දැනුම් දීමය. කොවිඩ් වසංගතය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙ ්ක්‍රියා කලාපය කමකට නැති බව කියා සිටි ට්‍රම්ප් එහි සාමාජිකත්වයෙන් ඉවත් වී ගෙවන ආධාර නතර කරන බව දැනුම් දුන්නේය. ජාත්‍යන්තරය සමග තිබුණ ගැටුම් පිලිසකර කරන බයිඩන්ගේ ලැයිස්තුවට එය ද ඇතුලත්විය හැකිය.

ඉරානය ට පනවා ඇති න්‍යශ්ඨික බලය භාවිතා කිරීමේ වාරණය හා සම්බාධක ගැන සාකච්ඡා කරන්නට සුදානම් බව බයිඩන් ජනාධිපතිවරණ වේදිකාවේ දී අනාවරණය කළ තවත් කරුණකි. එය තවත් ව්‍යුහාත්මක වෙනස්කමකි. මේවා සමග මතුවන ලෝක චිත්‍රය අතිශය සංකීර්ණ මුහුණුවරක් ගනු නිසැකය.

ශ්‍රී ලංකාවේ සම්බන්ධතා සහ ඩයස්පෝරාවේ හැසිරීම

ට්‍රම්ප් තද ජාතිකවාදී ස්වරෑපයක ක්‍රියා කළේය. ඔහු ජය අත්පත් කරගත්තේ රට තුළ දුප්පත් ජනතාවට කරන ලද ආමන්ත්‍රණය සමගය. එහෙත් මෙවර ඡන්දය ප්‍රකාශ වූ ආකාරය අනුව ඔහු සිය ඡන්ද දායකයෝ වෙත නිසි සැලකිලක් දක්වා නැත. පදනම දියැවී ගියේය. ජෝ බයිඩන් උරුමක්කාර පුරවැසියන් පමණක් නොව වෙනත් රටවලින් පැමිණ ඇති අන්‍ය සම්භවයක් සහිත පිරිසට ද අත දිගු කර තිබේ. ඔහු ගේ උප ජනාධිපතිවරිය එයට එක සාධකයකි. උප ජනාධිපතිනිය වශයෙන් පත්වන කමලා හැරිස් ගේ හස්තය බලවත්ය. ඇය ගේ පියා ජැමෙයිකානු නමුත් මව ඉන්දියානු සම්භවයක් සහිතය. චෙන්නයි ප්‍රාන්තයට ඥාතිත්වයක් ඇති ඇයගේ මව වෙනුවෙන් ඉන්දියානුවෝ ඇතැමෙකු ගේ සහාය තිබුණ අතර සමහර කෝවිල්වල පොල් ගසන ලද බැතිමත්හු කමලා හැරිස්ට ජය අත්පත්කරගෙන දෙන සේ ප්‍රාර්ථනා කරන ලද බව ඇමරිකාවේ ෆයිනෑන්ෂල් ටයිස්ම් පුවත් පත වාර්තා කර තිබුණි. කමලා හැරිස් කැලිෆෝනියාවේ සෙනෙට් නියෝජිතවරියක වශයෙන් 2017 වසරේ සිට ක්‍රියා කරන්නීය. මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, ලිබරල් අදහස් සහිත පාලනයකට අන්තවාදී මතධාරීහු ඇමරිකාව තල්ලූ කර තිබේ. ශ්‍රී ලාකේය සම්භවයක් සහිත දෙමළ ඩයස්පෝරාව ද එහි එක කොටසක් බව අමතක කළ යුතු නැත. බයිඩන් හා කමලා හැරිස් ගේ ජය වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම් එයින් අනතුරුව හැරෙන දිසාව ගැන කල්පනා කළ යුතුය.

ස්විට්සරලන්තයේ ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් වූ අතර පසුව ශ්‍රී ලංකාව එහි සම කොටස්කරුවන් බවට පත්විය. අවසානයේ දී ශ්‍රී ලංකාව එම යෝජනාවෙන් ඉවත් වන බව දන්වා තිබේ. ඇමරිකාව එම යෝජනාවේ දී පාර්ශවකරුවෙකි. එම යෝජනාව මෙරටට බලපාන වැදගත් සන්ධිස්ථානයකි. කවුන්සිලයට ඉදිරිපත්වූ යෝජනාව දැඩි තීන්දු තීරණ ගත හැකි එකක් නොවන නමුත් එය රටට සන්ධිස්ථානයකි. යෝජනාව සමග ජාත්‍යන්තර බලවතුන්ට ප්‍රවේශවීමේ දොරටුවක් විවර විය. නමුත් ට්‍රම්ප් පාලනය එය ගැන දක්වන ලද උනන්දුව සීමා සහිතය. වසර දහයකට පසු පවා, ශ්‍රි ලංකාවේ ජනවර්ග අතර ප්‍රශ්නයක් ඇතැයි ලෝක බලවතුන් අතර මතයක් තිබේ. දෙමළ ජනතාවට සාධාරණය ඉටුකරන්නැයි ඔවුහු කියා සිටිති. ත්‍රස්තවාදය මැඩපැවැත්වීමෙන් පසු එයට මූලික වූ ජන කොට්ඨාශයට සාධාරණ විස`දුමක් හිමි විය යුතු බව ඔවුන්ගේ අදහසයි. සත්‍ය කොමිසම, වන්දි ගෙවන ක්‍රමවේදය හා ජාත්‍යන්තර මැදිහත්වීම් සම්බන්ධයෙන් තිබුණ න්‍යාය පත්‍රය තද කරන්නට අලූත් ඇමරිකාව උත්සාහ කරන්නේ ද යන්න අවධානයට ගැනීම සුදුසුය. එය කෙලින්ම කරන පීඩනයක් නොවිය හැකි අතර ඇමරිකාවට සම්බන්ධ රටවල් ලවා කරන බලකිරීමක් විය හැකිය. එයට කලින් රටට ගත හැකි තීරණ තිබේ.

ඇමරිකානු ආධාර වැඩ පිලිවෙල ගැන තීරණයක්

ජනාධිපතිවරණයට කලින් මෙරට පැමිණි එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කළ ස`දහනක් ද අමතක කළ යුතු නැත. දෙරට අතර ආයෝජන හා ආධාර වැඩ පිලිවෙල සම්බන්ධව විවෘත දොරටුවක් ඇති බව හෙතෙම ඉ`ගි කළේය. ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අදහසක් අනුව දියුණුවෙමින් පවතින රටවලට පමණක් හිමිවන මිලෙනියම් වැලෙන්ජ් අරමුදලේ සහාය මෙරටට හිමිවිය. ඇමරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානයකි. එය පිටුපස ඇති යෝජනා බව හුවා දක්වමින් ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී මෙරට දේශපාලන පක්ෂ මිලෙනියම් චැලෙන්ජ් ආධාර වැඩ සටහනට එරෙහි විය. පසුව ස්වාධීන කමිටුවක් පත් කළ අතර එම කමිටුව පවා ආධාර නොගන්නා ස්ථාවරයකට රට තල්ලූ කර තිබේ. ඇමරිකානු රාජ්‍ය නායකයෝ වෙනස් වූ පමණින් ප්‍රතිපත්ති වලට එපමණ බලපෑමක් නොවේ. නැවත වතාවකින් හො`ද හිත ඉදිරියට ගෙන යන්නට කෙලින්ම අදහසක් ඉදිරිපත් කිරීමට සිදුවෙයි. චීනයේ ආධාර වැඩ පිලිවෙල සහ ඇමරිකාවෙන් භාර නොගැනීම ගැන පවතින ගැටළුව සංකීර්ණ තත්ත්ව මතු කරන්නට ඉඩ තිබේ.

ඇමරිකන් ආධාර ප්‍රතික්ෂේප කරන එරට අදහස් හෙලා දකින ශ්‍රී ලංකාව ඇ`ගළුම් අපනයනය ඇතුළු අංශ වල දී ඇමරිකාවේ සහාය අපේක්ෂා කරයි. දැනටමත් වැඩිම ඇ`ගළුම් ප්‍රමාණයක් එනම් මෙරට ඇ`ගළුම් අපනයන වලින් සියයට තිස් පහක් ඇමරිකාවට අපනයනය කෙරේ. වියට්නාමය, බංගලා දේශය වැනි රටවල් ශ්‍රී ලංකාවේ ඇ`ගළුම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තර`ගකරුවන්ය. මෙම රටවලට ඉදිරියෙන් ඇමරිකාවේ අලූත් පාලනය සමග සබ`දතා පවත්වා ගැනීමට ආණ්ඩුව සමත්විය යුතු බව පෙනේ. වඩා සමීප කරගතහොත් නරක පමණක් නොව වඩා විමර්ෂණශීලීව සබ`දතා තරකරගතහොත් අවස්ථාවක් ද උදා කරගත හැකිවනු ඇත. මෙරට දේශපාලනයේ අන්තවාදී ආකල්පවල පරස්පරතා දෙරට අතර පවතින බැ`දීම අවසානයේ දී තීරණය කරනු ඇති බව නිසැකය.

 

ශාමින්ද වත්තේගෙදර මව්බිම පුවත්පතට ලියූ ලිපියකි.

Posted On Saturday, 07 November 2020 18:35 Written by
Page 1 of 8