Friday, 19 April 2024



ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාව අතර මුනිවර වන්දනාව ඉතාමත් භකත්‍යාදරයෙන් අතීතයේ පටන්ම සිදුවන ආගමිකවත් පිළිවෙතකි. මේ මුනිවර වන්දනාව අතරින්, ශ්‍රී ලාංකික කතෝලිකයන් අතර වඩාත් ජනප්‍රිය සහ භක්ත්‍යාදරයට ලක්වන ශුද්ධවන්තයන් දෙදෙනකු වන්නේ ශුද්ධ වූ අන්තෝනිතුමන් සහ ශුද්ධ වූ සෙබස්තියන්තුමන්ය.

ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන් නැති වූ දේවල් සොයාදෙන සහ බලා‍පොරොත්තු සුන්වූ අවස්ථාවලදී පිහිට වන මුනිවරයාණෝය, ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමන් වසංගත රෝග සහ වෙනත් රෝගවලට සුවය ලබාදෙන මුනිවරයාණෝය. කතෝලිකයන් අතර පමණක් නොව වෙනත් ආගමික බැතිමතුන් අතරද මෙම ශුද්ධවන්තයන් දෙදෙනා වන්දනා ගෞරවයට ලක්වීම කැපී පෙනෙන දෙයකි.

පසුගිය පාස්කු ඉරිදා උදෑසන දිව්‍ය පූජාවන් පැවැත්වෙන අවස්ථාවේදී ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයන්ට ලක්වූයේ මෙසේ අන්‍යගාමිකයන්ගේ පවා ගෞරවාදරයට ලක්වූ එම මුනිවරයන් දෙදෙනාට කැපකරන ලද වන්දනා ස්ථාන දෙකකට වීම එක්තරා අන්දමක ෙදෙවෝපගත සිද්ධියකි.


මුලින්ම බෝම්බ ප්‍රහාරයට ලක්වූයේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිවරයා වෙනුවෙන් කැපකරන ලද සිද්ධස්ථානයයි. ඊට තත්පර කීපයකට පසු බෝම්බ ප්‍රහාරයකට ලක්වූයේ, මීගමුව කටුවාපිටිය ශුද්ධ වූ සෙබස්තියන් මුනිවරයා වෙනුවෙන් කැපකරන ලද දේවස්ථානයයි.

බෝම්බ ප්‍රහාරයට ලක් වූ මෙම දේවස්ථාන දෙකෙහිම විශේෂත්වයක් වන්නේ එම දේවස්ථාන දෙකෙහිම වන්දනාවට එන්නේ එම දේවස්ථානයට අයත් බැතිමතුන් පමණක් නොවීමය. ඈත දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන විවිධ ආගමික භක්තිකයන්ගෙන් මෙම දෙව්මැදුරු දෙකම බොහෝ විට පිරී පවතී.
එය අද ඊයෙක සිට නොව බොහෝ ඈත අතීතයක සිටය.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය කැපකර ඇත්තේ ශුද්ධ වූ අන්තෝනි මුනිවරයා නමටය. 1195 අගෝස්තු මස 15 දින පෘතුගාලයේ බටහිර ප්‍රදේශයේ උපන් අන්තෝනි මුනිතුමන්ගේ පියා මාටින් අල්‍පෝන්සස් බග්ලියොන්ය. මව ආනා තෙරේසා ට්‍රැවේරාය. අන්තෝනි මුනිතුමන් බෞතීස්ම කරන ලද්දේ පර්ඩ්නැන්ඩු යන නමිනි.

යොවුන් වියේදී සාන්ත අගුස්තීනු තාපසාරාමයකට ඇතුළු වූ එතුමා තාපසවරයකු වශයෙන් එහි ආධ්‍යාත්මික පුහුණුව ලැබිය. පසුකාලයක එතුමා ප්‍රැන්ස්කානු තාපස පිරිසක් සමග තුර්කියට ගොස් එහි කිතු දහම පැතිරවීය. ඒ එහි සිටි මුස්ලිම් ජනතාවටය. ටික කලකින්ම රෝගාතුරවීම නිසා, ඉතාලියට පැමිණ අන්තෝනි මුනිතුමා පාදුවා නගරය තම මූලස්ථානය කරගෙන කිතු දහම දේශනා කරන්නට වූහ.

එතුමා බොහෝවිට හඳුන්වන්නේ පාදුවාවේ අන්තෝනි මුනිතුමන් ලෙසය. එතුමා ජීවත්ව සිටියදීම එතුමා විසින් සිදුකළ ප්‍රාතිහාර්ය බොහෝය. නමුත් වැඩිකල් ජීවත් නොවූ එතුමෝ 1231දී ස්වර්ගස්ථ වූහ. ස්වර්ගස්ථ වී වසරක් ඇතුළත, අන්තෝනිතුමන් ශුද්ධවන්තයකු බවට ශුද්ධ වූ සභාව විසින් පිළිගෙන ප්‍රකාශයට පත්කරන ලදී. එසේම වසරක් ඇතුළත එතුමන් වෙනුවෙන් බැසිලිකා දෙව්මැදුරක් ඉදිකරන ලදී.

ක්‍රි.ව. 1505දී පෘතුගීසීන් ලංකාවට ගොඩබැසීමත් සමගම කතෝලික දහමද සිරිලක ව්‍යාප්ත විය. අනතුරුව 1640 ඕලන්ද ආක්‍රමණයත් සමග පෘතුගීසීන් මෙරටින් ඉවත්ව ගිය අතර, ඕලන්ද පාලන සමයේ මෙරට කතෝලික දහම දේශනා කිරීම, වැලඳගැනීම වන්දනා කිරීම ආදී සියල්ල මරණීය දණ්ඩනයට යටත් විය. 1687දී ජුසේවාස් මුනිතුමා මන්නාරමින් ලංකාවට එන්නේ කිතුදහම නැවත මෙරට ව්‍යාප්ත කිරීමට පසුය.

එයට ටික කලකට පසු මෙරටට එන අන්තෝනියෝ කොච්චියාල් පියතුමා, කොළඹට පැමිණ මැලිබන් වීදියේ (එකල කොළඹ මාළු වෙළෙඳ‍පොළ පැවැතියේ එහිය.) මාළු වෙළෙන්දෙකුගේ නිවසේ නතර වී මාළු වෙළෙන්දෙකු සේ වෙස්වලාගෙන රාත්‍රී කාලයේ රහසේ එහි සිටි කතෝලිකයන් මුණගැසී ඔවුන්ගේ ආගමික වතාවත් ඉටුකරන්නට විය.
පසුකාලයක එහි සිට මෝදර දෙසට පිහිටි මුහුදුබොඩ වත්ත නමැති ස්ථානයේ කුඩා ‍පොල් අතු කඩයක් ආරම්භ කළේය. එයට පෙර එතුමා එම ස්ථානයෙහි සිදුවෙමින් තිබූ මුහුදුකෑම කුරුසියක් සිටුවීමෙන් නතර කර ඇත.

අන්තෝනි කොච්චියාලාගේ කුඩා ‍පොල්අතු කඩය මුලින් හැඳින්වූයේ කොච්චියා‍ලේ කඩය යනුවෙනි. පසුව එය කොච්චිකඩේ යනුවෙන් හැඳින්වෙන්නට වූ අතර එම ප්‍රදේශයද කොච්චිකඩේ යනුවෙන් හැඳින්වෙන්නට විය.
දහවල් කඩයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ස්ථානයේ රාත්‍රියේ දේව මෙහෙයන් පැවැත්වුණි. කලක් යනවිට දහවල් කාලයේද එහි දිව්‍ය පූජාවන් පැවැත්වෙන්නට විය.

1806දී මෙම අන්තෝනි කොච්චියාල් පියතුමාගේ සිල්ලර කඩය කුඩා දේවස්ථානනයක් බවට පත්විය. අන්තෝනියෝ පියතුමා මෙම දෙව්මැදුර තම නාම සාන්තුවරයා වූ ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන් නමින් නම්කරන ලදී. 1822දී පිරිසක් ගෝවට ගොස් ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන්ගේ ප්‍රතිමාවක් ගෙනැවිත් පැරණි දෙව්මැදුර අල්තාරය මත තබා දෙව්මැදුර අන්තෝනි මුනිවරයා නමින් කැපකරන ලදී.

මෙලෙස එම ප්‍රතිමාව ස්ථාපිත කළේ, එයට කලකට පෙර අන්තෝනියෝ කොච්චියා‍ලේ පියතුමා, කුරුසියක් සිටුවා මුහුදුකෑම වැළැක්වීමේ ප්‍රාතිහාර්යය සිදුකළ ස්ථානයේම බව පැවැසේ. පසු කාලයක අන්තෝනියෝ කොච්චියා‍ලේ පියතුමා ස්වර්ගස්ථ වූ අතර එතුමාගේ දේහය භූමිදානය කරන ලද්දේද එම දේවස්ථානය ඇතුළේමය. කොළඹ ප්‍රථම අග්‍රරාජගුරු ප්‍රසාදීන් වහන්සේ වූ අති උතුම් ක්‍රිස්ටෝපර් බොන්ජන් හිමිපාණන්ගේ දේහය මිහිදන් කර ඇත්තේද කොච්චිකඩේ මෙම දේවස්ථානය තුළමය. ඒ 1892දීය.

ආරම්භයේදී කුඩා දේවස්ථානයක් වූ එය 1938දී අද තිබෙන තත්ත්වයට විශාල කර ගොඩනැංවීම ආරම්භ කළ අතර 1940දී අති උතුම් දේවධර්මාචාර්ය ජේ. ඕසොන් කොළඹ අගරදගුරුතුමන් විසින් නව ගොඩනැගිල්ල ආසිරි ගන්වන ලදී.

1995 ජනවාරි 20 දින මෙරටට වැඩම කළ දෙවන ජුවාම් පාවුලු පාප්තුමන් කටුනායක ගුවන් තොටු‍පොළ සිට විවෘත රථයකින්, ගාලු මුවදොර පිටියේ පැවැත්වූ පිළිගැනීමේ උත්සවයට සම්ප්‍රාප්ත වන අවස්ථාවේ දැඩි විඩාවක් සහ පිපාසයක් දැනී නතරවීමට පැමිණියේද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙතය.

එවකට ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති ඔස්පදෝ පසිල්ලා හිමිපාණන් සහ එවකට කොළඹ අගරදගුරු නික්ලස් මාකස් හිමිපාණන් සමගින් කොච්චිකඩේ පල්ලියට ඇතුළු වී එහි සංක්‍රිස්තියන් කාමරයට ගොස් මුහුණ සෝදා, සුදු රෙදිකඩකින් මුහුණ පිසදා ඉදිරිපස කඩයකින් ගෙනා සිසිල් බිම බෝතලයක් පානය කළහ.

පසුගිය පාස්කු ඉරුදින උදෑසන ඊළඟ බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිතුමන්ගේ දේවස්ථානයටය.ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමා වසංගත රෝගවලදී සහ වෙනත් භයානක රෝගවලදී පිහිටාධාර ලබාදෙන සාන්තුවරයා ලෙස මුළු ලෝකය පුරා කතෝලික අකතෝලික ජනතාව අතර විශේෂ ගෞරවාදරයට පත්ව සිටී.

ප්‍රංශයේ නර්බෝනා ප්‍රදේශයේ උපත ලැබූ සෙබස්තියන් මුනිතුමා ඉගෙනුම ලැබුයේ මිලාන් නගරයේය. ඒ ක්‍රිස්තු වර්ෂ 270 පමණ කාලයේය. කිතු දහම ප්‍රචාරය කිරීම නිසා එවකට සිටි දියොක්‍ලේසියානු අධිරාජ්‍යයාගේ උදහසට ලක්වූ සෙබස්තියන් මුනිතුමාට ඊතලවලින් විද මරන ලෙස අණකරන ලදී. නමුත් එයින් එතුමා ජීවිතක්ෂයට පත්නොවූවත්, පසුව අධිරාජ්‍ය අණ ලෙස මුගුරුවලින් පහර දී ඝාතනය කරන ලදී.

මුල් කාලයේ බෝලවලාන මීසමට අයත්ව තිබූ කටුවාපිටිය ග්‍රාමයේ ‍පොල් අතුවලින් නිර්මාණය වූ දෙව්මැදුරක් මුලින්ම ගොඩනැගුණේ 1869 වර්ෂයේය. අතිගරු හි‍ලේරියන් සිල්ලානි රදගුරුතුමන්ගේ අවසරය මත ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ බස්තියන් සිල්වා, දුමින්ගු සහ අන්තෝනි යන ඉඩම්හිමි වැවිලිකරුවන් තිදෙනාය.
1930දී කටුවපිටිය ස්වාධීන මීසමක් බවට පත්වූ අතර ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේ ප්‍රථම පාලකයා වශයෙන් පත්වූයේ ටී. දොන් ජෝන් පියතුමාය.

පරණ දෙව් මැදුර වෙනුවට නව දෙව්මැදුරක අවශ්‍යතාවය ජනතාවට මුලින්ම පෙන්වා දුන්නේ එතුමාය. ගරු එල්. ජෝෂප් කබ්රාල් පියතුමාගේ සමයේදී 1962 අගෝස්තු දෙවන දින මුල්ගල තැබිමෙන් නව දෙව් මැදුරේ වැඩ ආරම්භ කරන ලදී. හෙළ හවු‍ලේ ප්‍රබල සාමාජිකයකු වූ අබා කොස්තා පියනම 1966 කටුවාපිටිය දේවස්ථානයෙහි පාලකයා වශයෙන් පත්වී පැමිණි අතර මහනුවර සහ අනුරාධපුර යුගයන්හි කැටයම් උපයෝගී කරගනිමින් දෙව්මැදුර දේශීය කලා ස්වරූපයට එය නිමාකිරීම සිදුකළේ එතුමාය.

දෙව්මැදුරෙහි ප්‍රධාන වහලය ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුවෙහි හැඩතලවලට සමගාමීව, මහනුවර යුගයට අයත්වන චක්‍ර යෂ්ටි හතරක් මත ඉදිකර ඇත. දෙව් මැදුරෙහි ඉදිරිපසෙහි එළිමහන් මුහුණ සේ නෙළුම්මල් පෙති දෙකක් සහ ඉහළට එසවුණ වී හැඩයක් සහිත බිත්තියකි. එහි මැද පෙති හතරක් සහිත නෙළුම් මලක් සහ කුරුසියක් දක්නට ඇත.

දෙව්මැදුරේ ඉදිරිපස මණ්ඩපය දරා සිටින කණු ඇම්බැක්කේ දේවාලයෙහි කණු ස්වරූපයෙන් නිර්මාණය වී ඇති අතර එහි වහලයෙහි උඩ කොටස මහනුවර කැටයම් කලාවට අයත් වලාකුළු බැම්මෙන් නිමවී ඇත.
වසංගත රෝගවලින් සුවය ලබාදෙන ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමන්ගේ පිහිට පතා ඉතා ඈත ප්‍රදේශවල සිට අතීතයේ පටන් වන්දනාකරුවන් කටුවාපිටියට පැමිණ ඇත.

මංගල්‍යය සමයේ කරත්තවලින් පැමිණෙන ඔවුන් දෙව්මැදුර අවට භූමියෙහි කුඩාරම් තනාගෙන දින ගණනක් එහි ගත කළහ. විශේෂයෙන් පල්ලියේ ළිඳෙන් ස්නානය කිරීමෙන් වසංගත රෝගවලින් බේරී සිටීමට සහ ඉක්මනින් සුවපත් විමට හැකිවේය යන විශ්වාසය ඇත. එය අතීතයේ සිටම විය. අදද විවිධ රෝගාබාධවලින් සුවය ලැබිමට පල්ලියේ ළිඳෙහි ජලය ගෙනයෑම සමහර බැතිමතුන්ගේ සිරිතකි.

ජනවාරි මස 20 දින පැවැත්වෙන කටුවාපිටිය දෙව්මැදුරේ මංගල උත්සවය ඇරඹෙන්නේ ජනවාරි 11 දින සිදුකෙරෙන කොඩිගස එසවීමෙනි. දෙව්මැදුර ඉදිරිපිට ප්‍රධාන කොඩි ගස එසවෙන අතර, ගමේ සෑම මංසන්ධියකම කොඩි ගසක් එසවීම කටුවාපිටිය ග්‍රාමයේ දක්නට ලැබෙන සුවිශේෂ සිද්ධියකි. සෙබස්තියන් මුනිදුන්ගේ රුව සහිත රක්ත වරණයෙන් දිදුලන කොඩියක් සෑම නිවසකින්ම ප්‍රධාන කොඩිගසෙහි දක්නට ලැබෙන සුවිශේෂ චාරිත්‍රයකි.

එසේම කොඩිගස ඔසවන අවස්ථාවේදී සෑම නිවසකින්ම කිරිබත් පිස ගෙනැවිත් පල්ලිය ඉදිරිපිටදී බෙදාදෙනු ලැබේ.
වෙනත් කතෝලික ගම්වල දක්නට නොලැබෙන කටුවාපිටිය ග්‍රාමයේ පමණක් දක්නට ලැබෙන තවත් සුවිශේෂ දෙයක් නම් මංගල සමයේ පිරිමි දරුවන් වෙත පමණක් දෙනු ලබන දානයයි. සෑම නිවසකම කැවුම් කොකිස් උයා කිරිබත් සමග පිරිමි ළමයින්ට පමණක් මෙම දානය දෙනු ලබයි.

එසේම මංගල දින සවස පැවැත්වෙන පෙරහරට සෑම පවුලක්ම සහභාගි වෙති. එසේම එවැනි අවස්ථාවක පෙරහර යන මාර්ගයේ වැඩිම තොරණ ඉදිවන්නේ කටුවාපිටිය ග්‍රාමයේය. සමහර වසරක එය පනහ ඉක්මවා යයි.

පීටර් කැනියුට් පෙරේරා
-Lakbima-

Posted On Thursday, 26 November 2020 07:22

මේ වනවිට හුදකලා කර ඇති බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්‍රාමනිලධාරී වසම මේමොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරේ

Posted On Wednesday, 25 November 2020 16:12

හම්බන්තොට අක්කර 200ක වගා කිරීම සඳහා අවශ්‍ය බඩ ඉරිගු බීජ නොමිලේ ලබා දීමේ වැඩ පිළිවෙළක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 200ක බඩඉරිගු වගා කිරීම සඳහා ගොවීන් පෙළඹවීමේ වැඩ පිළිවෙළක් ඇරඹීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පියවර ගෙන ඇත.

Posted On Wednesday, 25 November 2020 16:09

වයිට් ස්ටාර් ලයින් නැව් සමාගම 1912 නිපැයූ ඓතිහාසික ඛේදවාචකයට මුල්වූ ලොව අපූර්වතම නෞකාව ටයිටැනික් නැවතත් පුනරුප්පත්තිය ලබන්නටයි සුදානම. වසර 107කට පෙර අත්ලාන්තික් සාගර පත්ලේ ගිලීගිය මුල් නැව හා සර්ව සම ටයිටැනික් 2 නමින් හඳුන්වන අලුත් නැව බ්ලූ ස්ටාර් ලයින් නම් ඕස්ට්‍රේලියානු නැව් සමාගමේ නිපැයුමක් ලෙස කලඑළි බසින්නකි. පුරාවෘත්තයක් බවට පත්වූ නොගිලෙන නැව ලෙස පුරසාරමට ලක්වූ ටයිටැනික් නැව ගැන ඉදිරිපත් වූ මතයක් වුණේ මේ කාලයේ එය හදන්නට ගියොත් අඩුම තරමේ ඩොලර් මිලියන 400ක්වත් වැයවන බවය. ඒ නිසා එය නැවත තැනෙන්නට ඉඩක් නැති අතීතයට අයත් පුරාවෘත්තයක් වනු ඇති බවය. එනමුත් 1997දී මුල් ඛේදවාචකය ගැන හැදූ ටයිටැනික් චිත්‍රපටිය, මේ වෙද්දී ඩොලර් බිලියන 1.84කට වඩා මුදලක් උපයා ඇති නිසා ඕනෑනම් ඒ මුදලින් ටයිටැනික් නැව් එකට පහක් හදන්න පුළුවන් බවට අදහසක්ද ඉදිරිපත්ව තිබුණා. ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙක් වන Clive Palmer මේ අදහස යථාර්ථයක් බවට පත් කරන්නට දැන් වැඩ අරඹා හමාරයි.

 

බ්ලූ ස්ටාර් ලයින් නම් ඕස්ට්‍රේලියානු නැව් සමාගමට අයත් මේ කියන අලුත් ටයිටැනික් II යාත්‍රාව 2022 දී ගමන් ආරම්භ කිරීමටයි නියමිත. මුල් නැවට ගෞරව කිරීමක් වශයෙන් එය ගමන් කළ ගමන් මාර්ගයේම අලුත් නැවත් හා..හා... පුරා කියා ගමන් කරවීමටයි නැව් සමාගම තීරණය කර තිබෙන්නේ. 1912 දී සිය මංගල ගමන සවුතැම්ප්ටන් හා නිව්යෝර්ක් නගර අතර සිදු කිරීමේදී මුල් නැව අයිස් කන්දක වැදීමෙන් මුහුදුබත්ව ගියේ ලෝක ඉතිහාසයේ සදා නොමැකෙන කඳුළු සටහනක් තබමිනුයි.

 

RMS Titanic නෞකා අනතුර ඉතිහාසයේ සිදුවූ දරුණුම නාවික අනතුර වශයෙන් සැලකෙනවා. එවකට ලෝකයේ ඉහළම ඉංජිනේරු තාක්ෂණයෙන් නිපදවා තිබූ විශාලතම චලනය වන වස්තුව (Largest moving object ever built) වූයේද Titanic නැවයි. කිසිදා නොගිලෙන නෞකාවක් (An unsinkable ship) ලෙස සැලකුණු Titanic නෞකාව සිය ප්‍රථම ගමනේදීම උතුරු අත්ලාන්තික් සාගරයේදී විශාල පාවෙන අයිස් පර්වතයක ගැටීමෙන් සමස්ත ලෝකමය කම්පාවට පත්කරමින්‍ මුහුදුබත් වූණා.

එවකට විශාලතම නෞකාව ලෙස ලෝ සුපතල වූ නෞකාව අඩි 900 ක් දිගින් සහ මහල් 25ක උසකින් ද යුක්ත වුණා. යුගයේ හොඳම තාක්ෂණය උපයෝගී කරගෙන නිපදවූ Titanic ටොන් 46000 ක ඇදහිය නොහැකි ස්කන්ධයකින්ද සමන්විත වුණා. විශේෂතම කරැණ නම් මෙය සැලකුණේ කිසිදා නොගිලෙන නෞකාවක් (An unsinkable ship) වශයෙන් වීමයි. ඊට හේතුවක් තිබුණා. සාගරයේදී සිදුවිය හැකි දරුණුම අනතුර වන්නේ නෞකා 2 ක් එකිනෙක ගැටීමයි. එවැනි අනතුරකට මුහුණ දුන්නත් Titanic නැව මුහුදේ දින 2- 3 ක් සුරක්ෂිතව පාවෙමින් තිබෙන ආකාරයටයි නැව නිර්මාණය කර තිබුණේ. සාමාන්‍යයෙන් අනතුරකදී එම කාලය වෙනත් නැවක සහය ලබාගන්න හොඳටම ප්‍රමාණවත්. කෙසේ නමුත් ඒ සියලු විශ්වාස පුස්සක් කරමින් 1912 අප්‍රේල් 14 වැනිදා Titanic නැව අයිස් කුට්ටියක වැදීමෙන් පසු පැය 3 ක් ඇතුළත සම්පූර්ණයෙන්ම මුහුදුබත් වී ගියා.

1912 අප්‍රේල් 10 වැනිදා එංගලන්තයේ සවුත්හැම්ස්ටන් වරායෙන් RMS Titanic නැව දියත් වුණා. නැවේ ගමනාන්තය වූයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගර වරාය. නැව් කාර්ය මණ්ඩලයට අමතරව 2227ක මගීන් පිරිසක් මෙහි යාත්‍රා කළා. නමුත් ගමනාන්තය වූ නිව්යෝර්ක් වෙත ළඟා වූයේ මුලු පිරිසෙන් තුනෙන් එකකටත් අඩු ප්‍රමාණයක් පමණයි.

1912 අප්‍රේල් 14 වැනිදා රාත්‍රි 11.35ට පමණ අති විශාල අයිස් කන්දක් නෞකාවට සැතපුම් කාලක් පමණ ඉදිරියෙන් දර්ශනය වුණා. නැව් කාර්ය මණ්ඩලය වහාම නැවේ වේගය අඩාල කර හැරවීමට උත්සහ කළත් නෞකාවක් අති දැවැන්ත ස්කන්ධය නිසා එය ඉතාමත් අපහසු වුණා.

රාත්‍රී 11.40ට Titanic අයිස් පර්වතය හා වේගයෙන් ගැටුණු අතර අඩි 900ක් වූ නැව් බදේ අඩි 300 කට ඉන් හානි වුණා. ගැටීමෙන් නැවේ ප්‍රධාන අංගන 16න් 6 කට දරුණු ලෙස හානීවී තිබුණා. මධ්‍යම රාත්‍රිය එළඹෙන විට නැවේ පහල අංගන ක්‍රමයෙන් ජලයෙන් පිරෙමින් පැවතුණා.

අළුයම 1.20 වනවිට ජලය ක්‍රමයෙන් ඉහළට පැමිණෙමින් පැවතුණා. 2.00 පමණ වනවිට නැවේ ඉදිරි කොටස දක්වාම ජලය පිරී තිබුණා. එක්වරම නැවේ අවරපෙති (propellers) සහිත කොටස ජලයෙන් ඉහළට එසවුණා. නෞකාව සුවිසල් ස්කන්ධයකින් යුක්ත වූ නිසා මධ්‍යයෙන් දෙකට වෙන්වුණා. 20 වන සියවසේ මුල් භාගයේ මිනිසා විසින් නිපදවූ විශාලතම චලනය වන වස්තුව සිය අවසන් ගමන් ගියේ ඒ අයුරින්. ගණිතයානුකූලව නෞකාවේ විනාශයට ඍජුවම බලපෑ කරුණ අයිස් පර්වතයේ ගැටීම වුවත් ඊට අමතරව වක්‍රව බලපෑ කරුණු රාශියක් තිබෙනවා.

Titanic නැවට හානි කළ උතුරු අත්ලාන්තික් සාගරයේ පාවෙන අයිස් කුට්ටිවල කතාව ආරම්භ වූයේ මීට වසර 3000 කට පමණ ඉහත සිටයි. ග්‍රීන්ලන්තයේ සිට කඩාවැටෙන හිම කවදාවත් දිය නොවේ. එලෙස පහළට කඩාහැලෙන හිම දීර්ඝ කාලයක් සම්පීඩනය වීමෙන් විශාල ග්ලැසියර බවට පත්වේ. නමුත් ඒවායේ ඇති සුවිසල් ස්කන්ධය නිසා මේවා මුහුදට වැටී දිනකට අඩි 65ක් පමණ අත්ලාන්තික් සාගරයේ එහා මෙහා චලනය වේ. ඇතැම් අයිස් කුට්ටි අඩි 670ක් පමණ දිගින් හා අඩි 240ක් පමණ උසකින්ද යුක්ත වේ. Titanic නැව හා ඝට්ටනය වූයේද එවැනි විශාල අයිස් කන්දකි.

කෙසේ නමුත් උතුරු අත්ලාන්තික් සාගරයේ මෙලෙස පාවෙන අයිස් කඳු නාවිකයන්ට නම් නුහුරු නුපුරුදු දේවල් නොවේ. අනෙක් අතට එදා නැවේ කපිතාන්වරයා වූ ජෝන් ස්මිත් ඉතාමත් පලපුරුදු කපිතාන්වරයෙකි. ඒ නිසා ඔහුට මෙවැනි අයිස් පර්වත අනපේක්ෂිත අලුත් දෙයක් විය නොහැකිය. ඇතැම් විට Titanic නැවේ ඇදහිය නොහැකි ස්කන්ධයත්, ශක්තිමත් භාවයත් නිසා එදා ඔහු මෙවැනි පාවෙන අයිස් කඳු සුළුකොට තකන්නට ඇති. කෙසේ නමුත් අවසාන ප්‍රතිඵලය වූයේ ගමන් කළ මුලු මගීන් 2227 න් 1517 කට මහමුහුද සොහොන බවට පත්වීමයි. 1900-1912 වර්ෂවල නිරීක්ෂිත පාවෙන අයිස් කුට්ටිවල දත්ත අනුව කැපී පෙනෙන විශේෂත්වය නම් 1912 වර්ෂයේ ඉතාමත් වැඩි වශයෙන් පාවෙන අයිස් කඳු නිරීක්ෂණය කරන්නට හැකි වීමය. මීට අමතරව Titanic නිර්මාණයේදී භාවිතා කළ ඉංජිනේරු තාක්ෂණික දෝෂයන්ද මේ අනතුරට වක්‍රව හේතු සාධක වූ බවයි විද්වතුන්ගේ අදහස.

අලුතෙන් ටයිටැනික් නිවුන් නැව තනන බ්ලූලයින් සමාගම ඔවුන්ගේ ප්‍රධාන මූලස්ථානය පැරිස්වල පිහිටුවා තිබෙනවා. මෙවර මෙම නොගිලෙන සිහිනය සැබෑ කරගන්නට සිතට ගත් ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙක් වන Clive Palmer මෙම ටයිටැනික් 02 ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දෙ 2012 වර්ෂයේදීය. මේ ව්‍යාපෘතියේ අවසානයත් සමග චීනයේ Jiangsuහි සිට ඩුබායි දක්වා පළමුවරට යාත්‍රා කිරීමට හැකිවනු ඇති බවයි ඔහුගේ බලාපොරොත්තුව. 1912 වසරේ අනපේක්ෂිත ලෙස මුළු ලොවම කම්පාවට පත්කරමින් අයිස් කුට්ටියක ගැටී ජීවිත විශාල සංඛ්‍යාවක් සමඟ මුහුදුබත්වූ ටයිටැනික් නෞකාවේම සර්වසම ප්‍රතිනිර්මාණයක් ලෙසය මෙම අලුත් නෞකාවද සකස් කොට ඇත්තේ. නමුත් මෙවර එහි ආරක්ෂාව මෙන්ම මගී ආරක්ෂණය ගැනද දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. මගීන් 2700කට ප්‍රමාණවත් ලෙස මෙයට ජීවිත ආරක්ෂක යාත්‍රා පහසුකම් සකසා තිබෙනවා.

මගීන් 1680කට පහසුවෙන් ගමන් කළ හැකි මෙහි උපරිම මගී ධාරිතාවය 2435ක් බවයි කියන්නේ. ඊට අමතරව නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් සේවකයන් ගණන 900ක් වනවා. අති නවීන ඩිජිටල් තාක්ෂණයෙන් මෙහි පාලක මැදිරිය බලගන්වා ඇති අතර සැටලයිට් සහ රේඩාර් සඥා පද්ධතිය නවීනම තාක්ෂණික ප්‍රමිතීන් යටතේ සකස් කොට තිබෙනවා.

මීටර් 270ක් දිගින් යුතු මෙම නෞකාවේ උස මීටර් 53ක් වේ. බර ටොන් 40000කි. තට්ටු 9ක් ඇති ටයිටැනික් 02 නෞකාවේ මගී කාමර 840ක් ඇත. සුඛෝපභෝගී ව්‍යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක්, පුස්තකාලයක් මෙන්ම සුපිරිම ගණයේ භෝජන ශාලා සහ කාමර පිහිටා ඇත. මුල් ටයිටැනික් නැවේ පිටත හා අභ්‍යන්තර අලංකරණය කර තිබූ ආකාරයටම එම ටයිටැනික් නැවටම ආවේණික වූ ප්‍රධාන පඩිපෙළ පවා මෙම ටයිටැනික් II යාත්‍රාවේද නිර්මාණය කර තිබෙනවා. ටයිටැනික් II ට ආසන්න වශයෙන් මගීන් 2,400 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 900 ක් පමණ රැගෙන යාමට හැකියාව ඇති බවයි කියන්නේ. පළමු ටයිටැනික් නෞකාවේ ගිලාබැසීමෙන් වසර 106කට පසු යාත්‍රා කිරීමට සූදානම් මෙම නෞකාව 21 වන සියවසේ නෞකාව ලෙස හඳුන්වා දී තිබෙනවා.

► සුගත් පී කුලතුංගආරච්චි

By: Deshaya

Posted On Wednesday, 25 November 2020 11:43 Written by

බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්

Posted On Tuesday, 24 November 2020 15:52