Thursday, 28 March 2024

සංහිඳියාව සහ සහජීවනය ජනතාව අතරට ගෙන යාමට නායකත්වය ගන්න – ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

Posted On Wednesday, 13 December 2017 06:00

සියලු ආගමික දර්ශනයන්ගේ මගපෙන්වීම වන සංහිඳියාවේ සහ සහජීවනයේ පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට නායකත්වය ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලු ආගමික නායකයින්ගෙන් ඉල්ලයි.
 


ජනාධිපතිතුමා මෙම ඉල්ලීම සිදු කළේ ඊයේ (12) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති සර්ව ආගමික සහජීවන සමුළුව අමතමිනි.
 
රට බෙදීමට සටන් කළ ත‍්‍රස්තවාදීන් යුදමය වශයෙන් පරාජය වුව ද මතවාදී ලෙස පරාජයට පත්වී නොමැති අතර, මතවාදයක් පරාජයට පත් කළ හැක්කේ තවත් මතවාදයක් තුළින් බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
 
විවිධ ජන කොටස් අතරේ ප‍්‍රශ්න හා ගැටලු පසුගිය දශක කිහිපය පුරා අපේ රටේ දක්නට ලැබුණ ද පන්සල, පල්ලිය සහ කෝවිලේ ආගමික නායකයින් අතර ගැටුමක් ඇති නොවූ බව සිහිපත් කළ ජනාධිපතිතුමා වැරදි මග යන සමාජය සුවපත් කිරීමට ආගමික දේශනා, අවවාද සහ අනුශාසනා තුළින් හැකි බව ද කියා සිටියේය.
 
නැවත රට තුළ යුද්ධයක් ඇති වීමට ඉඩ නොතබමින් රට තුළ සංහිඳියාව සහ සහජීවනය ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එක්වීම සියලුදෙනාගේ වගකීමක් බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
 
මෙම වැඩපිළිවෙළ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට කඩිනමින් සියලුදෙනා ඒකරාශීවීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිතුමා පළාත් සහ ප‍්‍රාදේශීය මට්ටමින් ආගමික සහජීවන කමිටු පිහිටුවා රටේ සියලු ජනතාව සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
 
ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය විසින් සමුළුව සංවිධානය කර තිබුණි.
 
අමරපුර නිකායේ මහානායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල හිමි, අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි, රාමඤ්ඥ නිකායේ ලේඛකාධිකාරී පූජ්‍ය අත්තන්ගනේ සාසනරතන හිමි, ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගමික නායකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.