Thursday, 28 March 2024

ආර්ථික අභියෝග ජයගන්නා- අයවැය කතාව අදයි

Posted On Thursday, 09 November 2017 04:26

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කතාව 2018 ඉදිරිපත් කිරීමට නියමිතය.


ප.ව.3.00ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වෙයි.

2018 අයවැය ප්‍රථම වර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් (09)දින මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය දා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2018 මුදල් වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982කි. එම වසරේ සියලු ප්‍රදානයන් සහිතව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් ලෙස ගණන් බලා තිබේ.


යහපාලන රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙවැනි විසර්ජන පනත් කෙටුම්පත මෙයයි. ඒ අනුව දෙවැනි වර කියවීමේ අයවැය වාර්තාව අද (9) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනු ඇත. 2018 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන මෙවර අයවැය මඟින් පොදු ජනතාවට මෙන්ම සමස්ථ අංශ වෙනුවෙන් සහන රැසක් ලබාදිම වෙනුවෙන් අවධානය යොමුව තිබේ.

2018 වසර සඳහා වන අයවැය කතාව අද (09) ඉදිරිපත් කිරීමෙන් පසුව හෙට (10) සිට (16) දක්වා පුරා දින හයක් අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වේ. දෙවනවර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 16 වැනිදා පස්වරුවේ සිදුකිරීමට නියමිතය. අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය 17 වැනිදා සිට දෙසැම්බර් 09 වැනිදා දක්වා පෙරවරු 09.30 සිට රාත්‍රී 07.30 දක්වා පැවැත්වේ.

දෙසැම්බර් 09 දින තුන්වැනිවර කියවීමේ විවාදය ආරම්භ වන අතර සවස විසර්ජන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය. අයවැය ඉදිරිපත් කරන අද(09) දිනයේදි පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය ආරාධිතයින්ට පමණක් සීමාකර ඇති අතර විශේෂ  ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වේ.


තවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා   2017.10.20 දින පාර්ලිමේන්තුව අමතා ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සඳහන් කළේ,ඉදිරි තුන් වසරට පරිපූර්ණ ආර්ථික උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරනවා. අපි වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 5,000 දක්වා වැඩි කරන්නට බලාපොරොත්තු වෙනවා.වාර්ෂික ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීම අපේ ඉලක්කයයි. පොහොසත් හා බලවත් ජනතාවක් මේ සංවර්ධන ක්‍රමෝපායන්හි ඉලක්කය වන්නේ සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වර්ධනය කිරීමයි.ශ්‍රී ලංකාව යළිත් ඉන්දීය සාගරයේ ආර්ථික හා වෙළඳ කේන්ද්‍රස්ථානය ලෙසට පත් කරවීමේ වෑයමක්. අපගේ මාතෘ භූමිය ඉහළට ඔසවා තබන මේ අභියෝගාත්මක ගමනට එක්වන ලෙසටය.