Print this page

ආර්ථික ප්‍රතිසංස්කරනය ගැන අලුතින් හිතමු

Posted On Wednesday, 09 March 2022 11:03 Written by
Rate this item
(0 votes)

mbm 163027

අනාගත පරපුරට රටක් - දරුවන්ට හොඳ අනාගතයක් තනන ගමනක සිටි ශ්‍රී ලංකාව දරුණු විනිමය අර්බුදයකය. එදිනෙදා අවශ්‍ය ප්‍රමාණයට තීරණ ගන්නා තත්ත්වයට වැටී තිබේ. ඉන්ධන හිඟය. ගෑස් නැත. විදුලිය කප්පාදුව අද වන විට අවසන් වන බව කියැවේ. අවශ්‍ය කරන බෙහෙත් වර්ග පවා ආනයනය සීමා කර ඇත. නැවත වටයකින් ආනයනික ද්‍රව්‍ය පාලනයක් ගැන අවධානය යොමු වී ඇති වකවානුවකි.

ආර්ථිකය කළමනාකරණය කර ගැනීම උගහටය. ආණ්ඩුව තුළ ප්‍රශ්න මතු වී තිබේ. විස¾දුමක් කරා ගමන් කරන්නට කරන යෝජනා නොසලකා හැරීම ගැන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එළිපිට කැරැල්ලක් මෙහෙයවමින් සිටී. ආණ්ඩුවට සම්බන්ධ පිරිස්, විපක්ෂය, විද්වතුන් රට නැවත ගොඩනඟන අදහස් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත. 

වියදම අඩු කිරීම වෙනුවට ආදායම වැඩි කර ගැනීම

ජන සමාජයේ අප සියලුම දෙනාට පොදු ධර්මතාවක් තිබේ. පහළට වැටෙන්නට කැමැති නැත. එදිනෙදා ගත කරමින් සිටි ජීවිතයෙන් පහළ තැනකට වැටීම ප්‍රශ්නයකි. ආණ්ඩුව තුළ හා ආණ්ඩුවෙන් පිටස්තර පිරිස් යෝජනා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනාවල කැපී පෙනෙන එක කාරණයක් ඇත. අඩු කිරීම්ය. සීමා කිරීම්ය. මෙම සීමා පහළ පෙළැන්තියට පමණකි. මැති ඇමැතිවරුන්ගේ විදුලිය බිල, වාහන පරිහරණය, වැටුප් හා දීමනා, විදේශ සංචාර ගැන අවධානයක් නැත. පටි තදකරගත යුතු සාමාන්‍ය ජනතාව පමණක්ද යන විමතිය ඇතිවේ. දුප්පතාගේ බස් රථය නතරවන නමුත් ඇමැතිවරුන්ගේ හා නිලධාරීන්ගේ වාහන පුරුදු පරිදි එහා මෙහා යයි. දැන් පවතින ආර්ථික ගැටලු නිරාකරණයට හදිසි සාකච්ඡා සඳහා විය හැකිය. නිදහස ලැබුණ දවසේ සිට තිබුණ හදිසි සාකච්ඡා අවසානයේදී රට ගෙනැවිත් තබා ඇති තැන ඍණ ආර්ථිකයකි. ණය ගෙවා ගත නොහැකි සමාජයකි. මැති ඇමැතිවරු පමණක් නොව රජයේ නිලධාරීන්ද පවතින දරුණු පීඩනය ගැන වගකිව යුතුය. 

රටට අවශ්‍ය වියදම අඩු කිරීම නොවේ. අවශ්‍ය තරමට වියදම හොයා ගන්නා වැඩපිළිවෙළකි. ප්‍රමාණවත් ආදායමක් උපයා ගෙන ණය ගෙවන්නටත්, අත්‍යවශ්‍ය දේ ආනයනයටත් මඟ පාදා ගැනීමකි. 

අය - වැය වාර්තා පෙන්වන පරිදි ජාතික ආදායම අඩු වී තිබේ. වියදම ඉහළ නැඟ ඇත. රට තුළ උද්ධමනය වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. ආහාර මිල ගණන් සියයට විසි පහකින් වැඩි වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දක්වයි. මහ බැංකුව දක්වන පරිදි විදේශ විනිමය සංචිත දරුණු පිරිහීමකය. ත්‍රස්තවාදය පරාජය කරන දැවැන්ත යුද මෙහෙයුමක් පැවැති කාලයේදී පවා නොතිබුණ තරමට විනිමය සීමා වී ඇති බව කියැවේ. විදේශ රටවලට ගෙවිය යුතු ණය පියැවීම අවහිර වී ඇති අතර දිගින් දිගටම කල් ඉල්ලන්නට සිදුවී ඇත. එය සුදුසු පියවරක් නොවේ.

වර්ධනයක් ඇති කරන පියවරවලින් හුස්මක්

ආර්ථිකයට හුස්ම ගැනීම සඳහා වර්ධනයක් ඇති කළ යුතුය. එදා වේල පිරිමසා ගැනීම අරමුණු කරගෙන ගන්නා තීරණවලින් වර්ධනයක් ඇති නොවේ. ආනයන අඩු කරන පසු සිදුවන්නේ කුමක්ද? රේගු බදු පහත වැටේ. වරායෙන් ගෙන්වන දේ නිෂ්පාදන, සේවා හා අලෙවි අංශවලට යොමුවේ. එම අංශවල ලක්ෂ ගණනක පිරිසක් නිරතය. නැවත නැවතත් කරන චක්‍රිය ගනුදෙනුවලින් යැපෙන ප්‍රවාහයක් සිටී. විදේශ විනිමය හිඟය අනුව ආනයනය නතර කරන සේ යෝජනා කිරීම පහසුය. තවත් වටයකින් ආර්ථිකය හිරවන විට තැළෙන පෙළෙන ජනතාවගේ ජීවිත ගැන අවධානය යොමු කරන්නේ කොතැනින්ද? 

ආනයන යනු තවත් රටකින් ගෙන එන දේ බව මතක තබාගත යුතුය. ඇපල් සහ මිදි ප්‍රතික්ෂේප කළ හැකිය. එය ජාත්‍යන්තර වෙළෙඳාමේ එක පැත්තකි. ඇමෙරිකාවෙන් ඇපල් ගෙන්වන අතර එයට හිලව් වශයෙන් ඇඟලුම් මිලදී ගනී. ඇපල් ප්‍රතික්ෂේප කරන පසු ඇඟලුම් පමණක් මිලදී ගන්නට සූදානම්ද? කහ ආනයනය නතර කළ පසු ඉන්දියාවේ වගාකරුවන්ට ප්‍රශ්න මතු විය. වාහන ආනයනය නතර කළ පසු ඒවා නිපදවන හා ප්‍රතිඅපනයනය කරන රටවලට දැනෙන කාරණයක් විය. ශ්‍රී ලංකාව කුඩා රටකි. කුඩා වෙළෙඳපොළකි. එම වෙළෙඳපොළ අවහිරවීමද කිසියම් පිරිසකට දැනෙන කාරණයක් බව අමතක කළ යුතු නැත. 

ආර්ථිකයට හුස්ම ගැනෙන්නට නම් වර්ධනයක් වුවමනා කෙරේ. පිබිදීමක් අවශ්‍යය. සාමාන්‍යයෙන් ආර්ථිකයක් ඍණ අගයකට පත් වූ පසු නැවත වර්ධනයක් සිදුවේ. වෙළෙඳපොළ සිද්ධාන්තයකි. සුදුසු පියවර අනුව තීරණ ගැනීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි. ශ්‍රී ලංකාවට වෙළෙඳ ගිවිසුම් තිබේ. ජාත්‍යන්තර සම්බන්ධතා ඇත. තානාපති කාර්යාල ප්‍රධාන රටවල  තිබේ. පවතින නිෂ්ක්‍රිය තත්ත්වය වෙනුවට වෙනස්කම් සඳහා සහාය ලබා ගැනීම වරදක් නොවේ.

විදේශ විනිමය උච්ඡාවචනය වැළැක්වීම දැනට පවතින විනිමය හිඟය තවත් උග්‍ර කරන හේතුවක් බව පෙනේ. වේගයෙන් අවප්‍රමාණය වනු ඇති බවට මතු වූ සැකය පදනම් කරගෙන තද රෙගුලාසි පනවා ඇත. ඊයේ එනම් මාර්තු හත්වැනිදා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ගත් තීරණය අනුව  විනිමය අනුපාතිකය තරමක් ලිහිල් කර තිබේ. මෙතෙක් පැවැති ඇමෙරිකානු ඩොලරයකට රු. 201.00ක් මිල නියම කර අතිරේකව රු. දහයක් ගෙවන තීරණය වෙනුවට රු.230.00ක මිලක් නියම කර තිබේ. රටට විනිමය ලැබෙන මඟ අවහිරවීම එයින් මඟ හැරෙන්නේ නැත. නීත්‍යනුකූල විනිමය වෙළෙඳපොළට එපිටින් සංචිත හැදෙමින් තිබේ. ප්‍රධාන නගරවල වෙළෙන්‍ෙදා් රුපියල් දෙසියපනහ දක්වා මිලකට ඩොලර් මිලදී ගනිමින් සිටිති. විදේශ ගතවන සහ පිටරටවල් සමඟ ගනුදෙනු කරන පිරිසට විනිමය ලැබෙන්නේ එතැනින්ය. විකුණුම් මිල රු. දෙසියහැත්තෑව දක්වා නැඟ තිබේ. බි්‍රතාන්‍ය පවුමක් රු. තුන්සිය හතළිහකි. මෙම මිල පවතින පසුබිම තුළ රටට එන විනිමය වාණිජ බැංකුවලට නොලැබීම පුදුමයක් නොවේ. සංචාරකයන්ට හෝටල් ගාස්තු විදේශ විනිමයවලින් ගෙවන සේ යෝජනා කළ පසු වාණිජ බැංකුවලට විනිමය ලැබෙන්නේ කෙසේද? 

මෙම තීරණාත්මක අවස්ථාවේදී රෙගුලාසි ලිහිල් කළහොත් රටට විනිමය ලැබීම ඉක්මන් වනු ඇත. පිටරටවල සේවය කරන පිරිස වැනි කොටස් ගෙන එන විනිමය සඳහා වැඩි රුපියල් ප්‍රමාණයක් නීත්‍යනුකූලව ලැබෙන පසු ඒවා සාමාන්‍ය ජනතාවගේ ආදායම වැඩි කරන හේතුවකි. ලක්ෂ විස්සකට වැඩි විදේශ ගත ශ්‍රමිකයන් පිරිසක් සිටින අතර ඔවුන් එවන විනිමය මෙරට වැඩිම ආදායම බව සඳහන් කළ යුතුය. පසුගිය වසරේ ප්‍රේෂණ ලැබීම් සීමා වී තිබේ. විනිමය රෙගුලාසි බලපෑම ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකිය.

සංචාරක පැමිණීම, ආයෝජනවලින් හෝ වෙනත් ආධාරවලින් රටට සංචිත ලැබුණ පසු විනිමය අගය ශක්තිමත් වන අතර එතෙක් තාවකාලික පියවරක සිටීම පහසු බව මහ බැංකුව කල්පනා කරන බව පෙනේ. එම පියවර සමඟ රට තුළ පැන නැඟී ඇති විකෘතිය බරපතළ අවදානමකි. කිසියම් අවස්ථාවක රෙගුලාසි ලිහිල් කරන්නට සිදුවුවහොත් එකවරම සිදුවිය හැකි විනිමය අනුපාතිකයේ මිල වෙනස්කම් දරාගැනීමට දුර්වල ආර්ථිකයකට හැකිද යන්න වෙනම අධ්‍යයනය කළ යුතුය.

ආයෝජන කැඳවීම ගැන සමාජයේ මතය

විදේශ විනිමය අවශ්‍ය බව ශ්‍රී ලාංකිකයන් දැනගෙන සිටින කරුණකි. අපනයන නංවන්නට, ආයෝජන කැඳවන්නට හෝ තාවකාලික ණයක් ගැනීමට විරුද්ධවන හේතුව කුමක්ද? ඒවා රටට විනිමය ලබාගත හැකි ප්‍රධාන මාර්ග අතළොස්ස අතර තිබේ. ආයෝජන සම්බන්ධයෙන් විශාල විරෝධයක් ඇත. කොළඹ වරාය පරිශ්‍රයේ ආයෝජනය ගැන දීර්ඝ විරෝධයක් තිබිණි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ගැන කැමැත්තක් නොතිබිණි. රිදීමාලියැද්ද ප්‍රදේශයේ සීනි කම්හලක් ඉදිකිරීම ගැන දැන් ආන්‍ෙදා්ලනයක් ඇත. විනිමය පමණක් නොව විදුලිය අර්බුදයක් පැන නැඟෙන බව පෙනෙන මානයේ යුගදනවි බලාගාරයට එරෙහිව අධිකරණයේ නඩු පැවැරීය. මෙවැනි පටු පිළිවෙළ ජාත්‍යන්තර ආයෝජන අවහිර කරයි. විදේශ විනිමය උපයා ගැනීමට අනෙක් මඟක් යෝජනා නොකරන විද්වත් පිරිස ආයෝජනවලට අවහිර කිරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? රටට ධනය උපයා ගත හැකි අනෙක් මාර්ගයක් හෙළි නොකරන්නේ ඇයි?

ආර්ථික බලපෑම් ලිහිල් කර ආයතනික පද්ධති නවීකරණය කළ හැකිය. අවශ්‍ය උත්පාදනය තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සංචිතයක් ලබා ගැනීමේ අවස්ථාවක් තිබේ. තෙල් නැවක් ගෙන්වන්නට වත්කමක් නැති අවස්ථාවක සිටින ආණ්ඩුව මූල්‍ය අරමුදලේ පිටිවහලක් නොලබන හේතුව කුමක්ද? සංචිත පිරිහී, ණය ගෙවා ගත නොහැකි අර්බුදකාරී රටක් ලෙස මූල්‍ය අරමුදලේ සරණ යෑම වෙනුවට සාකච්ඡාවකින්, සංවාදයකින් පසු තීරණ ගැනීම සුදුසුය. දේශපාලන තීරණ, විරුද්ධ පක්ෂයේ බලපෑම් එවැනි පියවරකට ගමන් නොකරන්නට රාමුව සකස් කර ඇති බව පෙනේ. අවසානයේදී තවත් වටයකින් අර්බුදයකට පත්වීම හැර අනෙකක් අපේක්ෂා කළ නොහැකිය.

වාණිජ ණයවලින් අඩාල කරන්නේ අනාගතයයි

විදේශ වෙළෙඳාම සඳහා අවස්ථාව පාදා ගැනීමත්, ආයෝජනවලින් විනිමය ගෙන්වාගැනීමත් පසෙකට කරන ආණ්ඩුව ණය ගැනීම කෙරෙහි වැඩි බරක් තබා තිබේ. ඉන්දියාවෙන් අඩු පොලී ණයක් ගැනීමට සූදානම්ය. පසුගිය වසරේ වෙළෙඳ පරතරය ඇමෙරිකානු ඩොලර් බිලියන අටක් වූ බව මතක් කළ යුතුය. ඉන්දියාවෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය කිසිසේත් ප්‍රමාණවත් නැත. චීනයෙන්, බංග්ලාදේශයෙන් ණය ඉල්ලමින් සිටී. සංවර්ධන බැ¾දුම්කර වශයෙන් ණය ඉල්ලන පියවරකට ශ්‍රී ලංකාව අවතීර්ණ වී ඇති අතර එය ආර්ථිකයෙහි වඩාත් දරුණු තත්ත්වයක් උද්ගත කරනු ඇති බව පෙන්වා දිය යුතුය. 

ඉන්දියාවෙන් ලැබෙන ද්වීපාර්ශ්වික ණය හුවමාරුව සුළු පොලියකට බව දැක්වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සියයට එකකට අඩු පොලියකට ණය ලබා ගත හැකිව ඇති බව සඳහන් කළ යුතුය. සංවර්ධන බැ¾දුම්කර වශයෙන් ජාත්‍යන්තරයෙන් ගන්නා ණයවලට සියයට හයක් දක්වා ඉහළ වාර්ෂික පොලියක් ගෙවන්නට සිදුවේ. මෙම අවුරුද්දේ ගෙවන්නට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන හයක පමණ ඉතිරි කොටස පියැවීම සඳහා වාණිජ ණය ගැනීමෙන් තවත් වටයකින් ණය අර්බුදයක් කරා යොමුවීම වැළැක්විය නොහැකිය. මෙම තීරණාත්මක අවස්ථාවේදී දේශපාලන පක්ෂ, විද්වත් පිරිස හා පොදු මහජනතාව විශාල කැපවීමකට යා යුතුව තිබේ. වඩාත් සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන්නට ආණ්ඩුවට බල කළ යුතුය. පටු විවේචන, අධෛර්යය කිරීම් අවසානයේදී අලවන පැලැස්තරය අනාගතයේදී තවත් වටයකින් අනාගත පරපුර අවදානමකට පත් කරනු ඇත.

ශාමින්ද වත්තේගෙදර

Read 1448 times
Ravi Jayawickrama Arachchige

Latest from Ravi Jayawickrama Arachchige