Thursday, 18 April 2024

පෙර සඳහන් කළ පරිදි ජනවාරි 25 වන දා සිට සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව උපකාරක පංති ඇරඹේ

Posted On Friday, 08 January 2021 15:55

පෙර සඳහන් කළ පරිදි ජනවාරි 25 වන දා සිට සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව උපකාරක පංති ඇරඹේ

 

කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් හමුවීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවත් සර්ව සාධාරණ අධ්‍යපනයක් සෑම සිසුවකුටම ලබා දීම සඳහා රජය බැඳී සිටින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

2019 වසරේ නව සහ පැරණි විෂය නිර්දේශ යටතේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර ඇති නඩුව සහ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශිෂ්‍ය ශිෂ්‍යවන්ට සාධාරණයක් කිරීම පිළිබඳව තමා දැඩි ලෙස සළකා බලන බවත් ඒ අනුව යම් අසාධාරණයට ලක් වූ සිසුවෙකුට සහණයක් ලබා දීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.උදාහරණයක් ලෙස පසුගිය වසරට වඩා මෙවර වෛද්‍ය පීඨයට සිසුන් 371ක් දෙනෙකු වැඩිපුර බඳවා ගැනීමටත් ,ඉංජිනේරු පීඨයටද ගිය වසරට වඩා වැඩි සිසුන් ප්‍රමාණයක් බඳවා ගන්නා බවද අමාත්‍යවරයා කීය. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දුන් නඩු තීන්දුව අනුව කටයුතු කිරීමට රජය බැඳි සිටින බවත් එහෙත් ඉන් එහා ගොස් සානුකම්පිතව මෙම ප්‍රශ්නය පිළිබඳව සළකා බලා කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් හමුවීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවත් ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබා ගැනීමට නොහැකි වූ බවයි. පී.සී.ආර්. පරීක්ෂණ 50ක් මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ආශ්‍රිතව සිදුකර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2020 ඔක්තෝබර් මස 03 වැනි දින සිට මේ දක්වා දිවයිනේ සියළුම උපකාරක පන්ති පැවැත්වීම රජයේ දැනුම් දීම මත නතර කර තිබීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු අමාත්‍යවරයා පැවසුවේ අධ්‍යාපන ක්ෂේත්‍රය යළි ප්‍රාණවත් කිරීම වෙනුවෙන් රජය කටයුතු කරන බවත් ර ඒ වෙනුවෙන් ක්‍රමානුකූල වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි. උපකාරක පන්ති ක්ෂේත්‍රය පමණක් නොව සම්පූර්ණ අධ්‍යාපන ක්ෂේත්‍රය පියවරෙන් පියවර යළි නගා සිටුවීමට ඒ අනුව කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා මීට පෙර සඳහන් කළ පරිදි ජනවාරි 25 වන දා සිට සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව උපකාරක පංති ආරම්භ කරන බවද කීය.