Thursday, 25 April 2024

කොවිඩ් නිසා පීඩාවට පත් වූ සංචාරක ක්ෂේත්‍රෙය් අයට තවදුරටත් සහන- ඇමති ප්‍රසන්න රණතුංග

Posted On Tuesday, 15 December 2020 16:14

කොවිඩ් නිසා පීඩාවට පත් වූ සංචාරක ක්ෂේත්‍රෙය් අයට තවදුරටත් සහන- ඇමති ප්‍රසන්න රණතුංග

 

කොවිඩ් 19 හේතුවෙන් පිඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූවන්ට රජය සහන රැසක් ලබා දී ඇති බවත් එම සහන සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වන තුරු තවදුරටත් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරනය කරන්නේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් ඇති බවයි. ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් හිමියන්, මාර්ගෝපදේශකයන්,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සමග ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී (13) පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේ ය. ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමට සමගාමීව මෙම රැස්වීම සංවිධාන කර තිබිණි.

ඇමතිවරයා මෙහිදී අවධාරණය කලේ කොවිඩ් 19 හේතුවෙන් සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති බවයි. කටුනායක හා මත්තල ගුවන්තොටුපල ඉදිරියේදී ක්‍රමානුකූලව සංචාරකයන් සඳහා විවෘත කෙරුණ ද මෙරට සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වීම සඳහා ගතවන කාලය නිශ්චිතව සඳහන් කල නොහැකි බව පෙන්වා දුන් ඇමතිවරයා කොවිඩ් වසංගතය දිවයිනට පැමිණීමට පෙර තිබුණාටත් වඩා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සිය අපේක්ෂාව බව ද කීවේය.

සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වනතුරු එම ක්ෂේත්‍රයේ නිරතවූවන් රැකබලා ගැනීම රජයේ වගකීමක් ලෙස සලකන බවත් මේ නිසා පීඩාවට පත්වූවන්ට සහන රැසක් ලබාදුන් බවත් ඇමතිවරයා සඳහන් කළේ ය.

ඒ අනුව සංචාරක කර්මාන්තය වැට් බද්දෙන් නිදහස් කෙරිණ. ඒ සඳහා ලබාගත් ණය හා ලීසිං පහසුකම් ආපසු ගෙවීම සඳහා ලබන වසරේ සැප්තැම්බර් 30 දක්වා කාලය ලබා දී ඇති බවයි. වසරක කාලයක් යනතුරු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි ගාස්තු අය නොකෙරේ. එමෙන්ම සංචාරක හොටල්, ආපනශාලා, සංචාර සංවිධාන කරන සමාගම් ඇතුළු සේවා සපයන්නන්ට තාවකාලික ලියාපදිංචි ගාස්තු අඩු කෙරුනු අතර සංචාරක සේවා සපයන ආයතන සඳහා මාස 06ක ජල විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදීමට පියවර ගත් බවද ඇමතිවරයා කියයි.

 

සංචාරක කර්මාන්තය ඇතුළු කොවිඩ් වසංගතයේ හානියට පත් කර්මාන්ත පවත්වාගෙන යාම සඳහා මේ වන විට බැංකු මගින් රුපියල් මිලියන 150ක ණය ලබා දී තිබේ. වෘත්තිය පුහුණු අධිකාරිය හරහා සංචාරක රියදුරන් පුහුණු කර ලියාපදිංචිය සඳහා කටයුතු කර ඇති බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ රජයේ ඉලක්ක සපුරාලන කර්මාන්තයක් බවට ලබන වසරේ සංචාරක කර්මාන්තය පත් කිරීමට කටයුතු කරන බවයි.