Friday, 19 April 2024

“බුරවි” සුළි කුණාටුවේ ක්‍රියාකාරිත්වය- ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්න ගොඩබිමට

Posted On Wednesday, 02 December 2020 15:45

“බුරවි” සුළි කුණාටුවේ ක්‍රියාකාරිත්වය- ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්න ගොඩබිමට

 

“බුරවි” සුළි කුණාටුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ නවතම තත්ත්වය-

නිරිතදිග බෙංගාල බෝක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවි” සුළි කුණාටුව මේ වනවිට ගොඩබිමට ආසන්නව පවතින අතර, එය ඉදිරි පැය 02 තුළ ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්න ගොඩබිමට ඇතුළුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සුළි කුණාටුව සමඟ සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 80- 90 පමණ වන අතර, විටින්විට එම වේගය පැයට කිලෝ මීටර් 100 දක්වා වැඩිවිය හැකිය. මෙම සුළිකුණාටුව ක්‍රමයෙන් මන්නාරම් බොක්ක වෙත හෙට (03) උදය වරුව වනවිට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

මෙම තත්ත්වය යටතේ ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටර 1 ක් පමණ ඉහළ යා හැකි අතර, වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යට විය හැකිය. එමෙන්ම, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මි. 100 පමණ ඉහළයාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ විටින්විට රළු හෝ දළ රළු විය හැකිය.

නැවත දැනුම්දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම්දෙන අතර, දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස දන්වා සිටිනු ලැබේ.

වෙරළාසන්න තාවකාලීක පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථානවලට ගමන් කිරීම, බලපෑම් ඇති ප්‍රදේශවල අනෙකුත් පදිංචි ජනතාව නිවාස තුළට වී සිටීම , කඩාවැටෙන ගස්වලින් හා විදුලි රැහැන්වලින් ආරක්ෂාවීම, ගිගුරුම් සහිත වැසි පවත්නා අවස්ථාවල රැහැන් දුරකථන හා විදුලි උපකරණ භාවිතයෙන් වැළකීම හා ඉදිරියේදී ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වය පිළබඳව විමසිලිමත් වන ලෙස
ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට කටයුතු කරන ලෙසත්, මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන දැනුවත් කිරීම් කෙරෙහි අවධානයෙන් සිටින ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.

නාලක කලුවැව
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්