Saturday, 28 November 2020

මාධ්‍ය ඇස කෝරෝනා දෙසට යොමුකරන්නැයි කියා රජයේ ඇස වනාන්තර දෙසට.

Posted On Friday, 13 November 2020 11:34

'අවශේෂ වනාන්තරවල' ආරක්ෂාව වෙනුවෙන් පැවති 05/2001 සහ 02/2006 චක්‍රලේඛ අහෝසි කිරීම ශ්‍රී ලංකාවේ වන අලි ගහනයට මරු පහරක් වනු ඇති බවට පරිසරවේදීහු සහ සත්ව සුබ සාධන ක්‍රියාකාරීහු අනතුරු අඟවති. 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති හෙක්ටයාර ලක්ෂ පහකට ආසන්න 'අවශේෂ වනාන්තර' දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරු යටතට පත් කිරීම පරිසරවේදීන් හඳුන්වන්නේ විදේශ සමාගම්වලට ඉඩම් ලබා දීමේ "සටකපට ප්‍රයත්නයක්" වශයෙනි. 

පරිසරවේදීන් සහ සත්ව සුබ සාධන ක්‍රියාකාරීන් පවසන පරිදි ශ්‍රී ලංකාවේ අලි ඇතුන් වැඩි වශයෙන්ම ගැවසෙන්නේ 'අවශේෂ වනාන්තර' ආශ්‍රිතවය. 

"මේ හෙක්ටයාර ලක්ෂ පහ නැති වුණොත් අපේ රටේ අලි සම්පතට විශාල හානියක් සිදු වේවි. මොකද අපේ රටේ බහුතරයක් වල් අලි සැරිසරන්නේ මේ අවශේෂ වනාන්තරවල. ඊට අමතරව දවසින් සවස නරක අතට හැරෙන කොටි- මිනිස් ගැටුමත් මේ එක්ක තවත් උග්‍ර වෙනවා. දැනටමත් වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින මේ සත්ව කොට්ඨාස දෙකට රජය එල්ල කර තිබෙන්නේ මරු පහරක්," යනුවෙන් සත්ව සුබ සාධන ක්‍රියාකාරිනියක් වන ඉරාකි කොඩිතුවක්කු බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් සඳහන් කළාය. 

"ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් හම්බන්තොට අක්කර සිය ගණන් කපනවා. විල්පත්තුවේ තිබෙන්නෙත් අපේ ගස්, අපේ සත්තු. හම්බන්තොට තිබෙන්නෙත් අපේ ගස්, අපේ සත්තු. හැබැයි මේ කාරණා දෙකේදී, මිනිස්සු ඒ දිහා බලන්නේ වෙනස් විදිහකට."

 

"රටක් විදිහට එක් වෙමු"

"මේ අවශේෂ වනාන්තර ටික ආරක්ෂා කර ගන්න අපි රටක් විදිහට එකතු වෙමු. ඒකට දේශපාලනය, අපේ වයස, පරම්පරාව ඒ කිසි දෙයක් අදාළ නැහැ. ඒ සියල්ල පැත්තකට දාල අපි මේ වෙලාවේ එක රටක් විදිහට අපේ පරිසරය, අපේ සත්තු ටික රැක ගන්න එකතු වෙමු. මේ ආණ්ඩුව බලයට ගේන්න සහාය දුන්නු, ඡන්දය දුන්නු 69 ලක්ෂය ඒ සඳහා අඩුම තරමේ සමාජ ජාල හරහා හෝ මේ මොහොතේ යම් විරෝධයක් පෙන්නන්න ඕනි," යනුවෙන් ඉරාකි කොඩිතුවක්කු කියා සිටී. 

 

"ඔබතුමාලට අපි ඡන්දය දුන්නා. හැබැයි ඔබතුමාලා කරන හැම වැඩේම පිළිගන්න සූදානම් නැහැ කියන පණිවිඩය ලබා දෙන්න ඕනි. අපි ඡන්දය දීලා ඉවරයි. ඒ නිසා ඕගොල්ලන්ට ඕනි දෙයක් කරන්න පුළුවන් කියන නරක පූර්වාදර්ශය ඔවුන්ට දෙන්න එපා."

පැවති "යහපාලන" ආණ්ඩු සමයේ ගත් ඇතැම් හානිකර තීන්දුවලට එරෙහිව ඔවුන්ට සහාය දුන් කණ්ඩායම් පෙළගැසුණු බවත් එවැනි විරෝධතා හමුවේ එවක ගත් බොහෝ තීන්දු හකුලා ගැනීමට සිදු වූ බවත් ඉරාකි කොඩිතුවක්කු සිහිපත් කළාය

 

05/2001 චක්‍රලේඛය අහෝසි කිරීමේ තැතක් පවතින බවට පසුගිය අගෝස්තු මස පැවති මහ මැතිවරණයට පෙර කරුණු වාර්තා වූ අතර පරිසරවේදීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ එය යටපත් විය.

පළමු කොරෝනා රැල්ල අතරතුර ගත් එම උත්සාහය අසාර්ථක වුවත් දෙවෙනි කොරෝනා රැල්ල අතරේ "හොර රහසේම" අදාළ චක්‍රලේඛය අහෝසි කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවට පරිසරවේදීහු ආණ්ඩුවට චෝදනා කරති.

"රජයට අයත් අවශේෂ කැලෑ පරිපාලනය පිළිබඳ 2020 ජුලි 01 වෙනි දින අමාත්‍ය මණ්ඩලය දී ඇති මග පෙන්වීම් අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන සංරක්ෂිත වනාන්තර, රක්ෂිත වනාන්තර, යෝජිත රක්ෂිත වනාන්තර හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන ජාතික රක්ෂිත භූමි, අභය භූමි, වන අලි කළමනාකරණ රක්ෂිත හා නීතියකින් රේගුලසියකින් හෝ වෙනත් මොනයම් වූ හෝ ව්‍යවස්ථාපිත කරුණකින් පරිසරය පිළිබඳ කරන රජයේ දෙපාර්තමේන්තුවකට, ආයතනයකට, අමාත්‍යංශයකට අයත් නොවන අවශේෂ කැලෑවල අයිතිය තවදුරටත් රජය සතුව පවත්වා ගනිමින් පරිසරයට වනජීවී සම්පත්වලට හා කැලෑවලට හානියක් නොවන පරිදි ආර්ථිකමය හා වෙනත් ඵලදායි කටයුතු සඳහා භාවිත කිරීමට දිස්ත්‍රීක් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට හැකි වන පරිදී කටයුතු කිරීමට මෙයින් ඉඩකඩ ලැබෙනු ඇත," යනුවෙන් අදාළ චක්‍රලේඛ අහෝසි කරමින් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් එම් කේ හරිශ්චන්ද්‍ර නොවැම්බර් 04 වෙනිදා නිකුත් කළ ලිපියේ දැක්වේ.

'අවශේෂ වනාන්තර' යනු මොනවාද?

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීමේදී වන සංරක්ෂණ ආඥා පනත සහ වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත ප්‍රධාන වශයෙන් උපයෝගී කර ගනු ලැබේ. මීට අමතරව ජාතික උරුම වනභූමි පනත නමින් පනතක් ඇති අතර එමගින් ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ 'සිංහරාජය' ලෝක උරුමය පමණි. මෙසේ ආරක්ෂිත භූමි වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති රජයේ ඉඩම් වලට අමතරව කිසිදු නීතිමය තත්ත්වයක් මගින් ප්‍රකාශයට පත්කර නොමැති රජයේ ඉඩම් 'Other State Forest' ලෙස පොදුවේ හැඳින්වේ. 

එය සිංහලට පරිවර්තනය කිරීමේදී 'වෙනත් රජයේ වනාන්තර' යන නිවැරදි යෙදුම වෙනුවට 'අවශේෂ වනාන්තර' හෝ 'අවශේෂ කැලෑ' යන්න භාවිත කෙරෙන බව නීතිඥ ජගත් ගුණවර්ධන මීට ඉහතදී බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

"අවශේෂ කියන වචනය දැක්කහම ගොඩක් අයට හිතෙන්නේ ආරක්ෂා කරන්න තරම් වටිනාකමක් නැති, ප්‍රයෝජනයක් නැති පැත්තකට දාල තියෙන වනාන්තර කොටස් කියලා. එවැනි අදහසක් සමාජගත කරන්නත් යම් යම් පාර්ශව උත්සාහ කරනවා. නමුත් 1950 දශකයේ ඉඳලම රක්ෂිත විදියට යෝජිත වෙච්ච විශාල වනාන්තර සංඛ්‍යාවක් මේ අවශේෂ වනාන්තර තුළ තිබෙනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ගංගා ඇලදොළ ආදී පරිසර සංවේදී භූමි ප්‍රදේශ, ජල පෝෂක ප්‍රදේශ, වන අලි සංක්‍රමණ භූමි තීර, ඓතිහාසික, සංස්කෘතික හෝ පුරාවිද්‍යාත්මක වැදගත්කම් සහිත භූමි ප්‍රදේශ ද 'අවශේෂ වනාන්තරවලට' අයත් වේ. 

ආර්ථිකමය හා වෙනත් ඵලදායි කටයුතුවලට භාවිත කිරීමට ඉඩම් නිදහස් කිරීමේදී ඉහත කී භූමි ප්‍රදේශ සම්බන්ධයෙන් "සැලකිලිමත් විය යුතු බව" වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ ලිපියේ සඳහන් වේ. 

"සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් පරිසර ප්‍රතිපත්තීන්ට අනුකූලව ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීමේ කාර්ය සහ වන වැස්ම ඉහළ නැංවීමේ ඉලක්කයන් සපුරා ගැනීමට යෝජිත භූමි" සම්බන්ධයෙන් ද "සැලකිලිමත්" විය යුතු බව වැඩිදුරටත් එහි දැක්වේ.

එහෙත් ආර්ථික කටයුතු වෙනුවෙන්, වනාන්තර නොවන ප්‍රදේශ තෝරා ගැනීමට අවශ්‍ය නම් අදාළ චක්‍රලේඛ මුලින්ම අහෝසි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව පරිසරවේදීන්ගේ තර්කය වී තිබේ. 

එමෙන්ම තවදුරටත් කැලෑ ලෙස පවත්වාගෙන යෑමට නුසුදුසු ඉඩම් ගොවීන්ට පැවරීමේ ක්‍රමවේදයක් දැනටමත් තිබියදී, 5/2001 චක්‍රලේඛය හදිසියේ අවලංගු කිරීමට උත්සහ කිරීම සැකයට තුඩුදෙන බව පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන පෙර අවස්ථාවක  කියා සිටියේය.

මේ අතර මතභේදයට තුඩු දී තිබෙන ඉහත කී වන භූමි 'අවශේෂ වනාන්තර ලෙස 'ලේබල් ගැසුවත්' ඒවා "අත්‍යවශ්‍ය වනාන්තර" බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි.

උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවේ පර්යේෂකයන් කළ අධ්‍යයන අනුව වැඩිම අවේනික ප්‍රතිශත වාර්තා වී ඇත්තේ කෑගල්ල, රත්නපුර, කළුතර වැනි දිස්ත්‍රික්කවල පිහිටි 'අවශේෂ වනාන්තරවලින්' යැයි ඔහු බීබීසී සිංහල සේවය වෙත පැවසීය. 

"අනෙක් පැත්තෙන් ගත්තොත් අපිට වැඩිම විදේශ විනිමයක් ගෙන දෙන ආකර්ෂණය තමයි අලි ඇත්තු. ඔවුන්ගෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙන්නත් මේ 'අවශේෂ වනාන්තර' වැඩි වශයෙන් පිහිටි දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින්."

ශ්‍රී ලංකාවේ වන අලි ගහනය 5,900 ක් පමණ යැයි ඇස්තමේන්තු කෙරේ. 2010-2019 කාලය තුළ අලි-මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂික සිදුව ඇති අලි මරණ සංඛ්‍යාව 263 ක් බව වාර්තා පෙන්වා දෙයි.

පරිසරවේදී නයනක රන්වැල්ල පවසන පරිදි වැඩි වශයෙන්ම වන අලි ගැවසෙන 'අවශේෂ වනාන්තර' පිහිටි දිස්ත්‍රික්ක: 

  • මොණරාගල 
  • කුරුණෑගල 
  • අනුරාධපුර 
  • හම්බන්තොට 

ඉහත කී දිස්ත්‍රික්ක තුළ දැනටමත් අලි-මිනිස් ගැටුම උග්‍රව දක්නට ඇති බව ඔහු පෙන්වා දෙයි. 

" මේ තීන්දුව හරහා සමස්ත අලි ගහනයෙන් 60% ක පමණ වාස භූමි අහෝසි වෙලා යනවා. ඉතින් ඒ අලි සම්පත 60% කින් ආපස්සට ගෙන යනවද? නැතිනම් මේ වනාන්තර පද්ධතිය රැක ගනන්වද කියන කාරණය රටක් විදිහට අපි හමුවේ තිබෙනවා."

ඊට අමතරව වියලි මෝසම් වනාන්තර, කඩොලාන වනාන්තර, වගුරු වනාන්තර, තෙත් මෝසම් වනාන්තර, කඳුකර වනාන්තර, කටු පඳුරු සහිත වනාන්තර, උප කඳුකර වනාන්තර, ගංගා ධාර වනාන්තර ඇතුළු ශ්‍රී ලංකාවේ දක්නට ඇති සියලුම වනාන්තර විශේෂ අහෝසි කරන ලද චක්‍රලේඛයෙන් ආරක්ෂා වී තිබු බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි. 

"විශේෂයෙන්ම ලංකාවට වැස්ස ලබා දෙන හෝටන්තැන්න, නකල්ස් සහ ශ්‍රී පාද අඩවිය යා කරන භූමි තුළ ඇති වලාකුළු වනාන්තර අයිති වුණේ මේ කියන කලාපවල. ඒවා නැති වුණොත් මේ රටේ වර්ෂා පතනය නැති වෙනවා. එතකොට මහවැලි, කැළණි. කළු, වලවේ යන ගංගා ඇතුළු ගංගා 103 ටම විශාල බලපෑමක් ඇති වෙනවා."

"එහි අවසාන ප්‍රතිඵලය වශයෙන් මේ රටේ කෘෂිකර්මාන්තය නවතිනවා. ජල විදුලිය ආශ්‍රිත බලශක්ති උත්පාදනය නතර වෙනවා. නාය යාමේ අවදානම සහිත ස්ථාන ගණනාවක් රඳවාගෙන සිටින මේ වනාන්තර නැති වීමෙන් ඒ අවදානම ඉහළ යනවා. මේ සියල්ල එකට එකතු කර එක මිටකට බලන විට මේ වනාන්තර තමයි ලංකාවේ තිබෙන අත්‍යවශ්‍ය වනාන්තර. මේ වනාන්තර නැති වුණොත් මේ රටේ මේ ආණ්ඩුවට 2/3 ක් ඡන්දය දුන්නු මිනිස්සු වගේම පළමු වරට, මේ රටෙන් 2/3 ක් පාරිසරික සරණාගතයන් බවට පත්වෙනවා."

වනාන්තර නොවන ප්‍රදේශ හඳුනා ගැනීමට අවශ්‍ය නම් ඉහත කී චක්‍රලේඛය මුළුමනින්ම අහෝසි නොකර එය කිරීමේ හැකියාව පැවති බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි.

"මේ අපේ රට මරණය වෙත කැඳවන හෝරාවයි. ඒක කරන්න තමයි මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම සූදානම් වෙන්නේ. ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ වර්ෂ පූර්ණය තව දින කිහිපයකින් එළඹෙනවා. එතුමා මේක දිගටම ක්‍රියාත්මක කළොත් වර්තමාන සියවසේ දැවැන්තම පරිසර ඝාතකයා කියන විරුදාවලිය එතුමාට ලැබෙනවා. ඉතින් කරුණාකර ඉන් අත්මිදී රටක හෙට දවස විනාශ කරන කුමන්ත්‍රණයේ කොටස්කරුවෙක් නොවෙන්න කියල අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

බී බී සී සිංහල සේවයේ පළවූ ලිපියක් ඇසුරෙනි.