Friday, 19 April 2024

දෙදින නිල සංචාරයක් සදහා ඇමරිකානු රාජ්‍ය ලේකම් හෙට දිවයිනට

Posted On Monday, 26 October 2020 04:25

දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා හෙට (27) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඔහු ලබන 28 වනදා දක්වා මෙරට රැඳී සිටින අතර සිය සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙරට අතර පවතින බහුආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් අදාළව එහිදී අවධානය යොමු කිරීමට නියමිත බවය. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූරකාලය තුළ මෙරටට පැමිණෙන අමෙරිකානු ඉහළම මට්ටමේ රාජ්‍ය නිලධාරියා වන්නේ පොම්පෙයෝ මහතාය.

මේ අතර රට තුළ පවතින කොවිඩ් - 19 වෛරසය හමුවේ විදෙස් නියෝජිතයින්ගේ පැමිණීම සම්බන්ධයෙන් අද (26) උදෑසන මෙරට ප්‍රධාන නාලිකාවක්   සමග එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සිටියේ මෙවන් අදහසකි.

“මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනිමින් පවතිනවා. එකම දේ ලංකාවට එන හැම විදේශිකයෙක්ම තමුන්ගේ ඔර්ජින් එකේ දී පටන් ගන්න තැනදී පීසීආර් පරීක්ෂණයකට ලක්වෙනවා. ඒ වගේම ලංකාවට ආවට පස්සේ, ගුවන් තොටුපොළේ දී පීසීආර් පරීක්ෂණයකට ලක්වෙනවා. නමුත් රාජ්‍ය තාන්ත්‍රිකයින්ට බලපාන්නේ, ඒ රාජ්‍ය තාන්ත්‍රිකයින් සම්බන්ධ අන්තර්ජාතික නීතියේ තියෙන ප්‍රතිපාදන. එහෙම නැතිනම් වියානා සම්මුතීන්. ලෝකයේ ඉන්න සෑම රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ම නිරෝධායන කඳවුරුවලට ගිහිල්ලා නිරෝධායනය වෙන්නේ නෑ. අපේ රට නියෝජනය කරලා පිටරටකට යන රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට ත් ඒ ආකාරයට තමයි. ඒක ලෝකයේ තියෙන සම්මත ක්‍රමවේදයක්. ඒ සම්මත ක්‍රමය අනුගමනය කරනවා.“