Tuesday, 23 April 2024

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ දැන් තත්වය මෙන්න (2020-10-21)

Posted On Wednesday, 21 October 2020 05:43

මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරට ඊයේ දිනයේ දී ආසාදිතයින් 180 දෙනෙකු එක්වීමත් සමග සමස්ථ ආසාදිතයින් ගණන 2,342ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම ආසාදිතයින් 120 දෙනා අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 37 දෙනෙකු සහ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ ආශ්‍රිතයින් 83 දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීට අමතරව ඊයේ දිනයේ දී විදේශ රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් හය දෙනෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඔවුන් අතර ජපානයේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු, රුසියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ කටාර්හි සිට පැමිණි පුද්ගලයෙකු වේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 5,811 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් රෝගීන් 3,457 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

රෝගීන් 2341 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ් නයින්ටින් ආසාදිතයින් 52 කු හඳුනාගෙන තිබේ.

දැනට හුදකලා කර ඇති මතුගම ප්‍රදේශයේ ගම්මාන තුනෙහි සිටින පුද්ගලයින් හැර කළුතර දිස්ත්‍රික්කයේ තවත් නිවාස 400ක් පමණ ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

බේරුවල මග්ගොන ප්‍රදේශයෙන් ඊයේ හඳුනාගැණුනු කොවිඩ් නයින්ටීන් රෝගීයාගේ ආශ්‍රිතයින් සොයා ඔවුන්ද නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට පියවර ගනිමින් සිටින බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජි.සිංහබාහූ මහතා සඳහන් කළේය.

මේ වන විට දිවයින පුරා පොලිස් බල ප්‍රදේශ 24කට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.