Wednesday, 24 April 2024

රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලය එම දිස්ත්‍රික්කයෙන් පිටත කිසිදු ස්ථානයකට ගෙන යාමට කිසිදු තීරණයක් ගෙන නැත

Posted On Monday, 21 September 2020 06:50

රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලය එම දිස්ත්‍රික්කයෙන් පිටත කිසිදු ස්ථානයකට ගෙන යාමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපිතව ඇති රත්නපුර සහ කහවත්ත කම්කරු කාර්යාල දෙක ඉදිරියටත් එම දිස්ත්‍රික්කය තුළම පවත්වාගෙන යනු ඇති බවත් කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එන්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා පැවසීය.

 

ලේකම්වරයා මේ බව කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලය අවිස්සාවේල්ලට ගෙන යන බව සඳහන් කරමින් පැවැති විරෝධතා සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

අවිස්සාවේල්ලට ගෙන යනු ලබන්නේ රත්නපුරේ පිහිටා ඇති දිස්ත්‍රික් කම්කරු කාර්යාල දෙක නොව සබරගමු කලාප කම්කරු කාර්යාලය බවත් එම කාර්යාලය රත්නපුර දිස්ත්‍රික්කයට පමණක් අයත් වූවක් නොව සබරගමු පළාතටම අයත් වූවක් බවත් එය කම්කරු දෙපාර්තමේන්තුව විසින් අවිස්සාවේල්ලේ අලුතින් ඉදිකර ඇති රජයේ ගොඩනැගිල්ලක් වෙත ගෙන යාම පලාතේ සියලු දෙනාටම පහසුවක් බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා පැවසීය. කලාප කාර්යාලවල ප්‍රධාන කාර්යභාරය වන්නේ දිස්ත්‍රික් කම්කරු කාර්යාල සහ උප කාර්යාලවල කටයුතු අධීක්ෂණය කිරීම ය.

සබරගමු කලාප කම්කරු කාර්යාලය අවිස්සාවේල්ලට ගෙන ඒමෙන් පසු මෙතෙක් එම කලාප කම්කරු කාර්යාලයෙන් සැලසුනු 30% සේවාව සහ මිය ගිය අයගේ ප්‍රතිලාභ ගෙවීමේ (එල් අංශයේ) කටයුතු මෙන්ම අභියාචනා විභාග කිරීමේ කටයුතු රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලයෙන් ප්‍රදේශයේ ජනතාවට ඉටුකර ගත හැකි වන බව ද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

මෙම කලාප කම්කරු කාර්යාලය මගින් කෑගල්ල,අවිස්සාවේල්ල,රත්නපුර සහ කහවත්ත යන දිස්ත්‍රික් කම්කරු කාර්යාල හතර ද වරකාපොළ,යටියන්තොට සහ ඇඹිලිපිටිය යන උප කම්කරු කාර්යාල තුන ද රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාලය ද අධීක්ෂණය කෙරෙන බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම කලාප කම්කරු කාර්යාලය අවිස්සාවේල්ලේ පිහිටා ඇති කම්කරු දෙපාර්තමේන්තුව ට අයත් ඉඩකඩ සහ කලාප කම්කරු කාර්යාලයකට අවශ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු ඇතුළු සියලු පහසුකම් සහිත නව ගොඩනැගිල්ල වෙත ගෙන එනු ලබන්නේ පෞද්ගලික ගොඩනැගිලි තුළ කුලී පදනම මත පවත්වාගෙන යන රජයේ කාර්යාල රජයේ ගොඩනැගිලි වෙත ගෙන යාමේ රජයේ ප්‍රතිපත්තිය අනුව ය.