Friday, 19 April 2024

කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වීම සුදුසු නොවේ- ගෞරවන්විත රැකියා සඳහා ඔවුන් යොමු කිරීම රජයේ අරමුණයි- ඇමති නිමල් සිරිපාල ද සිල්වා

Posted On Wednesday, 16 September 2020 06:31

කාන්තාවන් ගෘහසේවිකාවන් ලෙස රැකියා සඳහා විදේශගත කිරීමට තමන් පෞද්ගලිකව විරුද්ධ බවත්, ඔවුන්ට ගෞරවාන්විත රැකියා ලබා දීම රජයේ අරමුණ බවත්, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

 

ඒ අනුව, ඉහළ වැටුප් සහිත රැකියා සඳහා කාන්තාවන් මෙන්ම පිරිමි ශ්‍රමිකයන් යොමු කිරීමට ජාතික වැඩපිළිවෙලක් සකස් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ, පසුගියදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හාලිඇල පිහිටි ජපන් රැකියා පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී මාධ්‍ය වෙත අදහස් පළ කරමිණි. මෙම අවස්ථාවට ජපන් රැකියා වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන IM Japan ආයතනයේ ශ්‍රී ලංකාවේ සාමාන්‍යාධිකාරී හිරොතකා කවහාර (HIROTAKA KAWAHARA) මහතා ද එක්විය.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ අද සමහරු සැප විදින්නේ ගෘහ සේවිකාවන් ලෙස සේවය කොට අප රටට එවන මුදලින් බවය. එම නිසා විදෙස් රැකියා සඳහා යන කාන්තාවන් ගෞරවාන්විත රැකියා සඳහා යොමුකිරීමේදී අනෙක් රටවල විදේශ රැකියා සඳහා පිටත්කරන කාන්තාවන්ට ලබා දෙන පුහුණුවට වඩා හොඳ භාෂා හා ප්‍රායෝගික පුහුණුවක් අපි ලබාදිය යුතු බව අවධාරණය කළේය.

ජපානයේ රැකියා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය සියළුම සහය ලබා දෙන බවත්, ඉදිරියේදී, රැකියා අවස්ථා වැඩියෙන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ IM Japan ආයතනයේ මෙරට සාමාන්‍යාධිකාරී කවහාර මහතා කියා සිටියේ ජපානයේ රැකියා සඳහා යොමු වූ ලාංකික ශ්‍රමිකයන් ඉතාමත් හොඳින් එම කාර්ය කරමින් රටේ ගෞරවය ආරක්ෂා කරන බවත්, රැකියාලාභීන් හැමදෙනාගෙන් ද යහපත් සේවයක් ජපන් ජනතාව අපේක්ෂා කරන බවය.

එම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා ඇතුළු පිරිසක් එක්විය.