Friday, 19 April 2024

New Diamond ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පාලනය කිරීම ඉතා සාර්ථක මට්ටමක

Posted On Saturday, 05 September 2020 15:12

එම්ටී නිව් ඩයමන්ඩ් New Diamond නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පාලනය කිරීම ඉතා සාර්ථක මට්ටමකට පත්වී ඇති අතර නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමේ කටයුතු ආරම්භ කර ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

 

ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පාලනය කිරීම පිළිබඳව සහ මේ වනවිට පවතින තත්ත්වය පැහැදිළි කරමින් නවික හමුදාව නිවේදනයක් ද නිකුත් කර තිබේ.

2020 සැප්තැම්බර් 04 වන දින 1600 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය

එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පාලනය කිරීම ඉතා සාර්ථක මට්ටමකට පත්වී ඇති අතර, එම නෞකාව උදෑසන 0530පැය වන විට නාවික සැතපුම් 35ක පමණ දුරක රඳවා තබාගෙන ඇත. මේ සඳහා සිදු කරන ලද ඒකාබද්ධ ප්‍රයත්නයේ ප්‍රථිඵලවලට අනුව නෞකාව සියළු පැති වලින් සුරක්‍ෂිත කර ඇති අතර, මෙම නෞකාව ඊයේ දින (2020 සැප්තැම්බර් 04) 1800 පැය වන විට ගොඩබිමට නාවික සැතපුම් 20ක් පමණ දුරකට ළඟාවී තිබුනද ඒ වන විට නෞකාවේ ගින්න මනාලෙස පාලනය කර තිබූ බැවින් ALP Winger නම් ටග් යාත්‍රාව මෙම නෞකාව ගැඹුරු මුහුද වෙත රැගෙන යාමේ කටයුතු ආරම්භ කරන ලදි.

තවදුරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කරමින් සිටින අතර, මෙම ආපදා සහන මෙහෙයුමට සහය වීම සඳහා ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සාරංග් (ICGS Sarang) නෞකාව, සුජේ (ICGS Sujay) නෞකාව සහ ගිනි නිවීමේ උපාංග සහ වෘත්තීය ගිනි නිවීමේ විශේෂඥයින්ගෙන් සමන්විත ගැඹුරු මුහුදේ මෙහෙයුම් සිදු කරනු ලබන ටීටීටී 1 (TTT One) නමැති ටග් යාත්‍රාව සහ ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් ගුවන් යානා දෙකක් (02) ආපදා සහන මෙහෙයුමට පෙර දින රාත්‍රියේ අළුතෙන් එක්වී ඇත. මේ වන විට ගින්න පැතිරීම පාලනය කිරීමට කටයුතු කර ඇති අතර, ඩ්‍රෝනියර් ගුවන් යානා මත්තල මහින්ද රාජපක්‍ෂ ජාත්‍යාන්තර ගුවන් තොටුපලෙහි ස්ථානගතකර ඇත.

එමෙන්ම, මෙම හදිසි ආපදා තත්වය මත රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන් මගින් ගිනි නිවීම සඳහා ලබා දුන් රසායනික ද්‍රව්‍ය රැගත් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව, සහ පී 4442 වේග ප්‍රහාරක යාත්‍රාව ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සමුද්‍රාරක්‍ෂා සහ සමාරක්‍ෂා යන නෞකාවන් ද මේ වන විට ආපදා සහන මෙහෙයුමට සම්බන්ධ වී අවශ්‍ය සහය ලබා දෙමින් ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා තුනක් (03) සහ වේග ප්‍රහාරක යාත්‍රා තුනක් (03), ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා දෙකක් (02), ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා තුනක් (03), ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකාවක්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ (Hambanthota International Port Group) රාවණා සහ වසඹ යන ටග් යාත්‍රා දිවිත්වය (02) ආපදාවට පත් නෞකාව අයත් සමාගම මගින් යෙදවූ ALP Winger නම් ටග් යාත්‍රාව (01) සහ ගැඹුරු මුහුදේ මෙහෙයුම් සිදු කරනු ලබන ගිනි නිවීමේ විශේෂඥයින්ගෙන් සමන්විත ටීටීටී 1 (TTT One) නමැති ටග් යාත්‍රාව (01) මෙම ගිනි නිවීමේ මෙහෙයුමෙහි නිරත වන අතර, අද උදෑසන සිට නැවතත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සහ බීච් ක්‍රාෆ්ට් යානයක් ද මෙම ආපදා සහන සැළසීමේ මෙහෙයුමට දායක වීමට නියමිතය.

තවද, ආපදා සහන මෙහෙයුම මගින් සිදු කරන අඛන්ඩ සිසිලන ආචරනය හේතුවෙන් මෙම එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නෞකාවේ ඇති වූ ගින්න එහි බොරතෙල් සංචිත සහිත කොටස වෙත පැතිරීම පාලනය කර ඇති බැවින්, තෙල් කාන්දුවීමේ අවදානමක් මේ වන තෙක් ඇති වී නොමැත.