Friday, 19 April 2024

නොනිදන නගරයට - නවීන හදිසි ප්‍රතිකාර ඒකකයක්

Posted On Friday, 04 September 2020 07:42

වාණිජ නගරයක් ලෙස සංවර්ධනය වූ දඹුල්ල නගර හා අවට ජනතාව වෙනුවෙන් දඹුල්ල රෝහලට සියලු පහසුකම් සහිත නවීන හදිසි ප්‍රතිකාර ඒකකයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය විසින් ලබාදෙන බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේය.

 

හෙට ( 05) අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එය ජනතා අයිතියට පත්කිරීමට නියමිතව ඇත.

දඹුල්ල නගරය, ප්‍රදේශ ගණනාවකට ප්‍රවේශ වන ප්‍රධාන නගරයක් වීම, කෘෂිකාර්මික කටයුතු ප්‍රධාන ජීවනෝපාය කරගත් ජනතාව බහුල ප්‍රදේශයක් වීම මෙන්ම දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය නිසා අධික ජනකායක් දිවා රෑ දෙකෙහිම නගරයට ඇදී එන තත්වයක පැවතීම යන හේතුවෙන් මෙවැනි නවීන හදිසි ප්‍රතිකාර ඒකකයයක අවශ්‍යතාව කාලයක සිට පැවතිනි.

හදිසි අනතුරු වලට ලක්වූවන්ට ප්‍රතිකාර කිරීමට මෙන්ම හදිසි ප්‍රතිකාර අවශ්‍යවන අනෙකුත් රෝගීන්ටද ප්‍රතිකාර කිරීමට මෙම නවීන ඒකකය සියලු පහසුකම් වලින් සමන්විතව ඇත. මේ ජනතාවාදී පියවර නිසා ඉදිරි කාලයේදී ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට ද හැකිවනු ඇත.

මෙසේ ඉදිරියේදීත් කොළඹින් පිටත තවත් රෝහල් රැසක් නවීන පහසුකම් සහිතව සංවර්ධනය කිරීම පිලිබඳව ද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කරමින් සිටින බව වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා කියයි. ඒ සියලු කටයුතු වෙනුවෙන් ව්‍යාපෘතිය තාක්ෂණික හා මුල්‍ය පහසුකම් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් පවසයි.