Friday, 29 March 2024

දිවියන්ට උගුල් අටවන කිසිවෙකුට මින්පසු කිසිදු සමාවක් නැහැ - වනජීවීන් ආරක්ෂා කිරීමට ඉදිරියේ දී ක්ෂණික ඇමතුම් අංකයක් -වනජීවී ඇමති සී. බී රත්නායක

Posted On Monday, 24 August 2020 06:58

දිවියන්ට උගුල් අටවන කිසිවෙකුට මින්පසු කිසිදු සමාවක් නොදෙන බවත්, මුවන් ගෝනුන් දඩයම් කරන්නන්ට දණ්ඩ නීති සංග්‍රහයේ උපරිම දඩය ලබාදෙන බවත් වනජීවී ඇමති ආර්. එම්. සී. බී රත්නායක මහතා ප්‍රකාශ කළේය.

 

ගම්පොළ දොළුව අඹගස්තැන්න ප්‍රදේශයේ වත්තක අටවා තිබූ උගුලකට හසුවීමෙන් වයස අවුරුදු දෙකහමාරක් පමණ වන දිවියෙකු ඊයේ (23) දින මියයාමත් සමග ලංකාවේ දිවියන්ට මුහුණපෑමට
සිදුව ඇති ශෝචනීය තත්ත්වය පිළිබදව කරුණු විමසීමේදී රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

තමා වනජීවී අමාත්‍ය දූරයට පත්වී තවමත් ගතවී ඇත්තේ ඉතාමත් කෙටි කාලයක් වන අතර වන ජීවීන්ට සිදුකරන හානි සම්බන්ධයෙන් ඉදිරියේදී දණ්ඩනීති සංග්‍රහයේ අනපනත් සංශෝධනය කර
දඩ මුදල තුන්ගුණයක් දක්වා වැඩිකර දැඩි දඩුවම් පැනවීමට ක්‍රියා කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.

දුර්ලභ ගණයේ සතුන්, වන ජීවීන් ආරක්ෂා කිරීමට මෙන්ම වන සංරක්ෂණය උදෙසා පරිසර හිතකාමී පිරිස් වල සහභාගීත්වයෙන් විශේෂ ඒකකයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවත්, පශු වෛද්‍යවරුන් වනජීවී නිලධාරීන්ගෙන් සමන්විත වන මෙම ඒකකය වන ජීවීන්ට හානියක් පැමිණෙන අවස්ථාවකදී ක්ෂණිකව එම ස්ථාන වලට ගොස් කටයුතු කිරීමට හැකි වන අයුරින් සකස් කරන බවත් වනජීවී
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

පොලිස්පතිතුමාද සමග සාකච්ඡා කර ඉදිරියේදී වන සංරක්ෂණය සහ වනජීවීන් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ට වන හානියන් දැනුම් දීමට ක්ෂණික ඇමතුම් අංකයක් Hotline හදුන්වාදීමට ද කටයුතු කරන බව
අමාත්‍යවරයා කියා සිටියේය.
තම ගමේ, ප්‍රදේශයේ වනජීවීන්ට හානියක් හෝ වන විනාශයක් සිදුවේ නම් ග්‍රාමසේවා වසම් මට්ටමෙන් එම හානි පිළිබදව දැනුම් දීමට පහසුව සලසන බවත්, එළෙස හානියක් වේ නම් හැකි
ඉක්මණින් අදාල පාර්ශව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලන බවත් අමාතයවරයා වැඩිදුරටත් පැවසුවේය.

දිවියන් නිසා ප්‍රදේශයේ ජනතාවට මුහුණපෑමට සිදුවී ඇති තර්ජන පිළිබදව සලකා බලමින් ජනතාවගේ ආරක්ෂාව උදෙසා විදුලි වැට ඉදිකිරීමට ක්‍රියා කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.

මෙහිදී ඇතැම් අවස්තා වල සතුන් නිසා ජනතාවට මෙන්ම වගාවන්ට සිදුවන අධික හානිය සිහිකළ ඇමතිවරයා පැවසුවේ, රිළවුන්, වදුරන් වැනි සත්ත්වයන්ගේ ගහණය අධික වීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශ වල භෝග වගාවට දැඩි තර්ජනයක් වී ඇති බවයි. ඒ හේතුවෙන් රිළවුන්, වදුරන් වැනි සතුන් අනවශ්‍ය ලෙස බෝ වීම අවම කිරීමට වදභාවය සදහා එන්නත් ලබාදීමටත්, එම සතුන් අධික ප්‍රදේශ වල සති දෙකක් වැනි කාලයක් ලබාගනිමින් ඉඩකඩ ප්‍රමාණවත් කූඩුවකට සතුන් එකතු කර ගනිමින් ඔවුන් නියමිත ස්ථාන වෙත ගෙනගොස් අතහැර නිදහසේ ජීවත්වීමට සළස්වන බවත් වනජීවී ඇමතිවරයා අවදාරණය කළේය.