Thursday, 18 April 2024

අපරාධ සම්බන්ධව තොරතුරු දැන්වීමට පොලීසිය හඳුන්වාදුන් විශේෂ දුරකතනයට ගෙවුණු සති දෙක තුළදී ඇමතුම් 1527ක්

Posted On Tuesday, 11 August 2020 09:26

අපරාධ සම්බන්ධව තොරතුරු දැන්වීමට පොලීසිය හඳුන්වාදුන් විශේෂ දුරකතනයට ගෙවුණු සති දෙක තුළදී ඇමතුම් 1527ක්- 1263ක් මේ වන විටත් විමර්ශනය කරයි

 

මීට සති දෙකකට ඉහතදී අපරාධ සම්බන්ධයෙන් තොරතුරු පොලීසිය වෙත ලබාදීමට විශේෂ දුරකථන අංක දෙකක් පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දුන් අතර ඒ සඳහා ඉතා සාර්ථක ප්‍රතිචාර ලැබෙමින් පවතින බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(10) පොලිස් මුලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

1997 යන දුරකථන අංකය ඔස්සේ මහා පරිමාණ දූෂණ, සංවිධානාත්මක අපරාධ කල්ලිවල දූෂණ හා කප්පම් ගැනීම් වැනි තොරතුරු රහසිගතව ලබා දිය හැකි අතර විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව, ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මේ ඔස්සේ දැනුම් දිය හැකිය. පළමු සතිය තුළදී මෙම අංකයට දුරකතන ඇමතුම් 956 සහ දෙවන සතිය තුලදී 571ක් ලැබුණු අතර ඒ අනුව ගෙවුණු සති දෙක තුළදී ඇමතුම් 1527ක් ලැබුණු බවත් එයින් 1263ක් මේ වන විටත් විමර්ශනය කර තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.එයින් ඇමතුම් 66ක් අධිකරණයට ඉදිරිපත් කල හැකි ඉතා සාර්ථක තොරතුරු බවත් එවැනි තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් මහජනතාවට ස්තුතිය හිමි වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොලීසිය හඳුන්වා දුන් 1917 යන දුකරථන අංකය ඔස්සේ අපරාධ කල්ලි සාමාජිකයන් හෝ වෙනත් කූඨ ගණුදෙනුකරුවන්ගේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට හැක.

මෙම අංකයට පසුගිය සති දෙක තුළදී ඇමතුම් 278ක් ලැබුණු අතර එයින් 38ක් සාර්ථක තොරතුරු වන අතර ඒ පිළිබඳව දැනටමත් විමර්ෂන අරඹා තිබේ.

තවදුරටත් දන්නා තොරතුරු මෙම අංක ඔස්සේ ලබා දෙමින් පොලීසියට සහය වන ලෙසද ජාලිය සේනාරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.