Thursday, 25 April 2024

ප්‍රභූවරුන් ඡන්දය ප්‍රකාශ කිරීමේ මාධ්‍ය දර්ශන භාවිතා කළ හැක්කේ සවස 05න් පසුවයි

Posted On Monday, 03 August 2020 15:43

වත්මන් ජනාධිපති, හිටපු ජනාධිපතිවරු, වත්මන් අග්‍රාමාත්‍ය හා හිටපු අග්‍රාමාත්‍යවරු, වත්මන් විපක්ෂ නායක හා හිටපු විපක්ෂ නායකවරු යන ප්‍රභූන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සම්බන්ධයෙන් වන මාධ්‍ය දර්ශන භාවිතා කළ හැකි වන්නේ එදින සවස

05න් පසු ඡන්ද කටයුතු අවසන් වූ පසුව පමණක් බවත් ඊට පෙර එම දර්ශන මාධ්‍යයට නිකුත් කිරීමට කිසිදු මාධ්‍ය ආයතනයකට අවසර නොමැති බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (03) දින මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මැතිවරණ කොමිසමේ නිල මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්ය.

වත්මන් ජනාධිපති, හිටපු ජනාධිපතිවරු, වත්මන් අග්‍රාමාත්‍ය හා හිටපු අග්‍රාමාත්‍යවරු, වත්මන් විපක්ෂ නායක හා හිටපු විපක්ෂ නායකවරු යන ප්‍රභූන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා ආවරණය කිරීම කිසිදු මාධ්‍ය නාලිකාවකට ඉඩ නොලැබෙන බවත්, එම අවස්ථාව ආවරණය කළ හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පමණක් බවත්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි

ඉහත නම් සඳහන් ප්‍රභූන්ගේ හැරෙන්නට වෙනත් කිසිදු අපේක්ෂකයකුගේ හෝ මන්ත්‍රිවරයකුගේ ඡන්දය සළකුණු කිරීමේ අවස්ථාවක් කිසිදු මාධ්‍ය ආයතනයකට හෝ කිසිදු පුද්ගලයකුටත් ඉඩ නොලැබෙන බවත්, මෙම ආවරණය කිරීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පවා අවසර නොමැති බවත් නාලක කලුවැව මහතා වැඩිදුරටත් අදහස් දක්වයි.

දිස්ත්‍රික් තේරීම භාර නිලධාරී කාර්යාල හා සම්බන්ධිත මාධ්‍ය මධ්‍යස්ථානවල සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස කටයුතු කරන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මාධ්‍ය නිලධාරීන් බවත්, ඔවුන් සම්බන්ධ කරගෙන මාධ්‍ය කටයුතු සඳහා තොරතුරු ලබාගත හැකි බවත්, කලුවැව මහතා වැඩිදුරටත් පැවසීය.

මේ කටයුතු අවසන් වූ පසුව නිල ප්‍රතිඵල නිකුත් කිරීමේ අවස්ථාවේදී නිල ප්‍රතිඵල එසැනින් දිගුකළ හැකි වන්නේ මැතිවරණ කොමිසමෙන් විකාශන අයිතිය ලබාගත් මාධ්‍ය ආයතන සඳහා පමණක් බවත් එම මාධ්‍ය අයතන මොනවාද යන්න මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පවසා ඇති බවත්, කලුවැව මහතා පැවසීය.

එහිදී අදහස් දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා “රජයේ නිල තොරතුරු දැනුම් දීමේ නියෝජිතයා ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාතෘකා කිහිපයක් යටතේ ජනතාවට තොරතුරු ලබාදීමේ කටයුතු ඉටුකළා. පූර්ව මැතිවරණ කාලය තුළ මහජනතාවට ලබා දිය යුතු තොරතුරු ලබා දීම නිල නිවේදන නිකුත් කිරීම හා ප්‍රවෘත්ති සාකච්ඡා ආදිය විශේෂයෙන් සමාජ මාධ්‍යජාලාවලට තොරතුරු නිකුත් කිරීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ඉටු කළා.” යනුවෙන් ද පැවසීය.