Friday, 29 March 2024

මහ මැතිවරණය ඡන්ද ගණන් කිරීම අගෝස්තු 06 වන දින උදැසන - මහින්ද දේශප්‍රිය

Posted On Monday, 27 July 2020 15:43

මහ මැතිවරණය ඡන්ද ගණන් කිරීම අගෝස්තු 06 වන දින උදැසන 07 ට ආරම්භ කරන අතර පළමු නිල ඡන්ද ප්‍රතිඵලය එදින සවස තේ පානයට පෙර ලබා දීමට හැකි වනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටී.

 

ඊයේ (26) රාජගිරිය බැංකු පියස ශ්‍රවණාගාරයේ දී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ඒ අනුව ඡන්ද විමසීම බාධාවකින් තොරව පැවැත්වීමට හැකි බවත්, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ අවසන් දිනය ඡන්ද විමසීමේ දිනයට දින 07 කට පෙර අවසන් කරනු ලබන බවත් එහි දී ප්‍රකාශ කළේය.

එමෙන්ම, ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබී ඇති පුද්ගලයින් වෙතොත් තම කොට්ඨාසයේ ග්‍රාම නිළධාරී හමු වී තමන්ගේ නම ඡන්ද ලැයිස්තුවේ තිබේ දැයි පරික්ෂා කරගන්නා ලෙසත්, එසේ නොමැතිනම් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට ගොස් තම ජාතික හැඳුනුම් පත් අංකය මඟින් තමන් ලියාපදිංචි වී ඇති ද යන්න බලාගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටින ලදුව, එසේ නම ලියාපදිංචි වී නොමැතිනම් ඡන්ද පත්‍රිකා නොලැබෙන අතර නම ලියාපදිංචි වී ඇති එහෙත් ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණ ද වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමෙන් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කර හැකි බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඡන්ද ක්‍රියාදාමය පෙරවරු 7.00 සිට සවස 5.00 දක්වා ක්‍රියාත්මක වීමේ දී කාලය පිලිබඳ ගැටළුවක් වේ ද යන්න මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමේ දී ඒ මහතා කියා සිටියේ එසේ ගැටළුවක් පැනනොනගින බවත්, ඡන්ද ගණන් කිරීම් ආරම්භ කරන්නේ 06 වන දා වන අතර දිස්ත්‍රික්ක දෙකක ඡන්ද ගණන් කිරීම පෙරවරු 7.00 ට ඇරඹෙන අතර, අනිත් සියලුම ප්‍රදේශ වල ඡන්ද ගණන් කිරීම පෙරවරු 8.00 ට ආරම්භ කෙරෙන බවත් ය.

කෙසේවුව ද, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන අවට නිළධාරීන් සිටී නම් ඔවුන්ට පෙරවරු 6.00 සිට පැමිණීමට නියම කොට ගණන් කිරීම් කටයුතු පෙරවරු 6.00 ටම ආරම්භ කළ හැකි වන බවත් ඒ මහතා මෙහි දී කියා සිටියේය.