Friday, 29 March 2024

ඡන්දපොළ සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාමට සෞඛ්‍ය අංශයේ සහාය - විෂබීජ හරණය විධායක නිලධාරීන්ගේ අධීක්ෂණයට

Posted On Friday, 24 July 2020 08:07

මහ මැතිවරණය තුළදී කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය නිලධාරීන් හා හෙඳ නිලධාරීන් යොදා ගැනීමටත් ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ඡන්දපොළ සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාමටත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විධායක නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඡන්දපොළ විශබීජ හරණය කිරීමටත් කටයුතු යොදා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

 

කොරෝනා වෛරසයෙන් තොරව මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

ඒ අනුව ඊයේ (23) මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවලදී මේ සම්බන්ධයෙන් පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් දැනුම්වත් කිරීම සිදුවූ බවත් මෙම සෞඛ්‍ය ආරක්ෂිත ඡන්දපොළ කටයුතු පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් මූලිකත්වය ගෙන කටයුතු කිරීම ඔවුන් විසින් සිදු කරනු ඇති බවත් දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

මෙසේ සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දපොළ පවත්වාගැනීම හා සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දය පැවැත්වීම හරහා ඡනතාව ඡන්දය ලබාදීමට ඇති බිය පහකෙරෙන බවත්, එමෙන්ම ඡන්ද රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට සිය ආරක්ෂාව සම්බන්ධයෙන් බියක් ඇති නොවනු ඇති බවත්, මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.