Thursday, 25 April 2024

අනතුරු වැළැක්වීම පිළිබඳ ජාතික අනතුරු නිවාරණ සතිය ජූලි 05 සිට

Posted On Saturday, 04 July 2020 16:08

වසරක දත්ත ගෙන බලන කල අනතුරු නිසා ලොව පුරා මිලියන 4.8 ක පමණ ප්‍රමාණයක් මිය යන අතර එය සමස්තයක් වශයෙන් ගත් කළ ලෝකය තුළ වාර්ෂික ව සිදුවන මරණ වලින් 8% ක් පමණ මරණ සිදුවන්නේ අනතුරු සිදුවීම නිසා බවත්, ලංකාවේ දශක

දෙකකට ආසන්න කාලයක තුළ රජයේ රෝහල්වලට රෝගීන් ඇතුළත් කිරීම් අතරින් පළමු කාරණය වන්නේ ද අනතුරු සිදු වීම නිසා බවත්, ශ්‍රී ලංකාව තුළ සිදුවන අනතුරු වළක්වා ගැනීමේ අරමුණින් සහ මෙරටට අහිමි ව යන ජිවිත බේරා ගැනීමේ අරමුණින් යුතු ව මෙම වසරේ දී ද පස්වන වරටත් ක්‍රියාත්මක කෙරෙන ජාතික අනතුරු නිවාරණ සතිය 2020 ජූලි 05 වැනි දින සිට ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේළි මහත්මිය ඊයේ (03) ප්‍රකාශ කළාය.

 

ඒ මහත්මිය මේ බව කියා සිටියේ, ජාතික අනතුරු නිවාරණ සතිය පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කර්යයංශයේ ඊයේ (03) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ය.

වාර්ෂිකව මිලියන 4-5 ත් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ විවිධ අනතුරු වලට ලක් වන අතර ඉන් ලක්‍ෂ 12 කට ආසන්න පිරිසක් රෝහල් වලට ඇතුළත් ව ප්‍රතිකාර ගනු ලැබේ. එමෙන්ම, 12,000 ක පමණ ප්‍රමාණයක් එදිනෙදා සිදුවන අනතුරු නිසා මියයනු ලැබේ. එය මෙරට සිදුවන මුළු මරණ හා සංසන්දනය කර බැලීමේ දී හතරවන ස්ථානය ගෙන ඇති අතර දිනකට ජිවිත 32 ක් පමණ ලංකාවට අහිමි වී යන බව සංඛ්‍යා දත්ත ගෙන බැලීමේ දී තහවුරු වේ.

මාර්ග අනතුරු, දියේ ගිලීම්, විදුලිසැර වැදීම්, වැටීම්, විෂ වීම්, සත්ත්ව දෂ්ට කිරීම්, ප්‍රචණ්ඩ ක්‍රියා හා මිනීමැරුම් මෙන්ම නොදැනුවත්ව සිදු වන අනතුරු හා සියදිවි හානි කරගැනීම මඟින් ද විශාල පිරිසකගේ ජිවිත රටට අහිමි වන අතර අබාධිත තත්ත්වයට ද පත් වේ. එය ජිවිතය අහිමි වන පුද්ගලයාට පමණක් නොව එම පුද්ගලයා හා සිටින පවුලේ ඥාතීන් හිතමිත්‍රාදීන් කෙරහි ද ඍජු ව විනාශකාරී ලෙස බලපානු ඇත. එහෙත්නි සි ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කිරීම මඟින් මෙකී සැම අනතුරක් ම පාහේ වළක්වා ගත හැකි නමුත් මෙරට වත්මනේ පවතින COVID – 19 ව්‍යාප්තියත් සමඟ අනතුරු සිදු කරගැනීම හෝ සිදු වීම ඉතා අනතුරුදායක වන අතර ඉන් හැකිතාක් වැළකි සිටීමට කටයුතු කිරීම සහ ස්වයං විනය ඇති කරගැනීමට කටයුතු කළ යුතු වන බවත් මෙහි දී වැඩිදුරටත් සඳහන් වීය.

කෙසේ වුව ද, අනතුරු නිවාරණය පිළිබඳව පොදු ජනතාවගේ දැනුවත්කම වැඩිදියුණු කරගැනීමේ අරමුණින්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ අනතුරු නිවාරණය පිලිබඳ කේන්ද්‍රීය ඒකකය වන බෝ නොවන රෝග ඒකකය, ජාතික අනතුරු වැලැක්වීම පිලිබඳ උපදේශන කමිටුවේ මෙහෙය වීම මත මෙලෙස ජාතික අනතුරු නිවාරණ සතියක් සැම වසරකම ජූලි මස පළමු වන සඳුදා සිට සිකුරාදා දක්වා ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, මෙම වසරේ දී ත් පස්වන වරට ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන 2020 ජූලි 05 වැනි දින සිට ජූලි 10 වැනි දින දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර මේ වන විට මෙරටට බලපා ඇති COVID – 19 අධි වසංගත තත්ත්වය හෙතුවෙන් පනවා ඇති ආරක්‍ෂිත සීමාවන් නිසා මෙම වසරේ පෙර වසරවල පැවත් වූ ආකාරය ට සමාජ ක්‍රියාකාරකම් සහිත වැඩසහටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවත් COVID – 19 අසාදනයෙන් ආරක්ෂා වෙමින් අනතුරු නිවාරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත්, අනතුරු සිදුවීමට ඇති අවදානම් ස්ථාන පිළිබඳව ස්වයං පරික්ෂාව දිරිමත් කිරීමටත්, ඉදිරියේ දී අනතුරු ඇතිවීමේ අවදානම අවම කිරීම සදහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග ගැනිමටත් අපේක්‍ෂා කෙරෙන බව ද සඳහන් වීය.

ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන පරිපාලන හා ආරක්ෂණ අංශය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් ජේ.ඒ.එස්. ජයවීර, තරුණ වැඩිහිටි හා අබාධිත ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිරෝමි මාදුවගේ, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ ඉනෝකා සුරවීර යන මහත්ම මහත්මීහු මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූහ.