Friday, 19 April 2024

රාජ්‍ය මාධ්‍යවල හැසිරීම පෙරට වඩා සතුටුදායක මට්ටමක - ආපසු භාර නොදෙන වාහන අත් අඩංගුවට- මහින්ද දේශප්‍රිය

Posted On Wednesday, 01 July 2020 09:52

ඕනෑම ආගමික සිද්ධස්ථානයක හෝ ඕනෑම ආගමික උත්සවයක දී දේශපාලන රැස්වීමක් හෝ දේශපාලන මුහුණුවර ගනු ලබන ඕනෑම විශාල වශයෙන් සිදුකරන සංවිධානාත්මක කටයුත්තක දී දේශපාලනමය වශයෙන් කටයුතු කරන්නේ නම් හෝ වචන භාවිතා කරන්නේ නම් ඔවුන් දුෂිත ක්‍රියා යටතේ අයුතු බලපෑම් සිදු කරන්නන් ලෙස හසු වන බවත්,

එකී වරද සිදු කිරීම වෙනුවෙන් 1981 අංක 01 දරණ පනතේ 78,79, හා 80 යන වගන්ති වලට ප්‍රකාර ව ප්‍රජා අයිතිය අහිමිවීම දක්වා නිතිය ක්‍රියාත්මක කිරීමට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිෂන් සභාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

එමෙන්ම, බඩු බාහිරාදිය බෙදා හැරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙත පැමිණිළි ලැබෙමින් පවතින බවත්, මේ වන විට අමාත්‍යධුර නොදරන හිටපු ඇතැම් අමාත්‍යවරුන් විසින් මාර්තු 02 වන දින ලබා දිය යුතු වාහන තවමත් ළඟ තබාගෙන සිටින හෙයින් ඒවා අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී ඇති බවත් ඒ මහතා මෙහි දී කියා සිටියේය. කෙසේ වුව ද, ප්‍රචණ්ඩ ක්‍රියා පිලිබඳ පැමිණිළි මෙවර දක්නට නොමැති බවත්, රාජ්‍ය මාධ්‍යවල හැසිරීම පෙරට වඩා ඉතාමත් සතුටුදායක මට්ටමක පවතින බව ප්‍රකාශ කළ මහින්ද දේශප්‍රිය මහතා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වල වල දුස් තොරතුරු ප්‍රචාරය වීම පිළිබඳව දැඩි අවදානයෙන් පසු වන බව ද ප්‍රකාශ කළේය.

එමෙන්ම, එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කිරීම පිලිබඳ තොරතුරු ඇත්නම් ඕනෑම වෙලාවක ක්‍රියාත්මක ව ඇති 071-9160000 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.