Friday, 29 March 2024

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීම ප්‍රමාද විය හැකියි - ඇමති ප්‍රසන්න රණතුංග

Posted On Monday, 29 June 2020 06:47

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීම ප්‍රමාද විය හැකි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

 

අගෝස්තු 01 වෙනිදා කටුනායත ගුවන් තොටුපළ විවෘත කිරීමට සියල්ල සුදානම් වුව ද විදෙස්ගත ශ්‍රමිකයන් විශාල පිරිසක් දිවයිනට පැමිණීමට ඉල්ලුම් කර ඇති බැවින් ඔවුන් සියලු දෙනා රැගෙන ඒමට තවත් කාලයක් ගතවීම ඊට හේතුව බව ද ඇමතිවරයා කියා සිටී.

වත්තල ඊයේ (27) ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේ ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමතිවරයා මෙසේ ද කීවේය.
“මේ වන විට 50,000කට ආසන්න විදේශගත ශ්‍රමිකයින් පිරිසක් ලංකාවට එන්න ඉල්ලලා තියෙනවා. ඒ අය තානාපති කාර්යාල වල ලියාපදිංචි වෙලා ඉන්නවා. ජනාධිපතිතුමාගේ අදහස තමයි ඒ සියලු දෙනා ලංකාවට ගෙන්න ගන්න ඕනේ කියන එක. ජනාධිපතිතුමා කිව්වේ ඒ අය ගෙනාවත් රටේ ජනතාවත් ආරක්ෂා විය යුතු බවයි. ඒ නිසා අපි ඉතා පරිස්සමින් තමයි මේ කටයුත්ත කරන්නේ. ඉදිරියේ දී ඒ අය දිගින් දිගටම ගෙන්වන්න අපි කටයුතු කරගෙන යනවා. මේ එන සියලු දෙනා පි.සි.ආර් පරීක්ෂාවකට ලක් කිරීම අනිවාර්යයි. පි.සි.ආර් පරීක්ෂාවෙන් පස්සේ ප්‍රතිඵලය ලැබෙන්න පැය කීපයක් යනවා. ඒ නිසා මේ වැඩේට අපිට හිතුවට වඩා කාලයක් ගත වේවි.

අපේ ඉලක්කය වුණේ අගෝස්තු 01 වෙනි දා වන විට සංචාරකයන් ලංකාවට ගේන්න. ගුවන් තොටුපළ විවෘත කරන්න. නමුත් මේ තත්ත්වය තුල අපිට අගෝස්තු 15 න් පස්සේ හෝ අගෝස්තු අග වන විට තමයි ගුවන් තොටුපළ සම්පූර්ණයෙන් ම විවෘත කරන්න වෙන්නේ. නමුත් අගෝස්තු 01 වෙනි දා ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සාහය අපේ සම්පූර්ණයෙන් ම අතහැරලා නෑ. ඒත් පවතින තත්ත්වය තුළ එය තරමක් ප්‍රමාද විය හැකිය.