Thursday, 25 April 2024

මෛත්‍රිගේ තිළිණ ප්‍රදානය මැතිවරණ කාර්යාලය නවත්වයි

Posted On Tuesday, 16 June 2020 08:02

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් විශ්ව විද්‍යාලය​ට ඇතුළුවීමට සුදුසුකම් ලබා සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ලක්දරු දිරිය පදනම විසින් සංවිධානය කර තිබූ උළෙලක් පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල නිලධාරීන් විසින් ඊයේ (15 වැනිදා) අත්හිටවූයේය

 
 

පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිලධාරින් ඊයේ (15 වැනිදා) 10.30ට පමණ පැමිණ මෙම වැඩමුළුව පැවැත්වීමට නොහැකි බව දැනුම් දුන් අතර එම අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශාලාවට පැමිණ අසුන්ගෙන සිටි සිසුන් අමතා තමන් කිසිසේත්ම මැතිවරණ නීති උල්ලංඝනය නොකරන බවත් පවතින මැතිවරණ නීතියට ගරු කරන බවත් මැතිවරණ කොමිසමේ නිලධාරින් පැමිණ මෙය අත්හි‍ටුවීමට කීම නිසා තමන් මෙම ඇගයීම් තිළිණ හා සහතික පත් ප්‍රදානය කිරීම අගෝස්තු 05 දායින් පසු සිදු කරන බවත් දන්වා සිසුන් අපහසුවට පත් වීම පිළිබදව සමාව ඉල්ලා සිටින බවද පවසා නික්ම ගියේය.

මේ පිළිබදව පොළොන්නරුව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල මෙනෙවියගෙන් අප කළ විමසුමක දී පැවසුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට භාණ්ඩ බෙදා දීමේ කටයුත්තක් සිදුවන බවට ලැබුණු පැමිණිල්ලක් අනුව තම නිලධාරින් එහි යවා එම වැඩසටහන අත්හි‍ටුවීමට කටයුතු කළ බවයි.

ප්‍රියන්ත බණ්ඩාර - ​පොළොන්නරුව/ ප්‍රභාත් සමන් - වැලිකන්ද

•කේ.ජී. කරුණාරත්න - තමන්කඩුව