Saturday, 20 April 2024

වෛද්‍ය පීඨ අවසන් වසරේ විභාග වෙනුවෙන් ජූනි 15 දා සියලු වෛද්‍ය පීඨ විවෘත වේ - අනිකුත් පීඨ විවෘත කිරිම අදියරෙන් අදියර

Posted On Tuesday, 26 May 2020 16:50

සියලු ම විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන්ගේ විභාගය පැවැත්විම සඳහා ජූනි මස 15 වන දින සිට එම පීඨ විවෘත කිරිමට කටයුතු කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.



විශ්ව විද්‍යාල යළි ආරම්භ කිරිම සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වු මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, පසුගිය සිකුරාදා,(22) දිනයේ දී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්ව විද්‍යාල කොමිසම අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව දැඩි සෞඛ්‍ය නිතීන් අනුගමනය කරමින් විශව් විද්‍යාල කටයුතු ආරම්භ කිරීම සඳහා අවස්ථාව ලබා දුන් බව සඳහන් කළේය.

මෙහිදී, අවසන් වසරේ වෛද්‍ය සිසුන් සඳහා පමණක් නේවාසිකාර පහසුකම් සැපයෙන අතර එක් වෛද්‍ය සිසුවෙකුට එක් කාමරය බැඟින් ලබා දීමට නියමිතය.එසේ ම ඔවුන් සති දෙකක (02) නිරෝධායනය කාල සීමාවකට යොමු කෙරෙන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

වෛද්‍ය පීඨවල අනුගමනය කරන වැඩපිළිවෙලේ සාර්ථකත්වය මත අනිකුත් පීඨවල අවසන් වසර වල අධ්‍යයන කටයුතු ඉදිරියේ දී අදියරෙන් අදියරට ආරම්භ කිරීමට බලාපොරෝත්තු වන බව ද සභාපතිවරයා පැවසිය.

මේ අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුලු විශ්ව විද්‍යාල නියෝජනය කරමින් උපකුලපතිවරු,මහාචාර්යවරු,ආචාර්යවරු පිරිසක් එක් වූහ.