Thursday, 25 April 2024

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ කටයුතු ඇරඹේ

Posted On Friday, 15 May 2020 15:54

රට පුරා ව්‍යාප්ත වූ කෝවිඩ් 19 (COVID 19) වසංගත තත්ත්වය හේතුවෙන් හදිසි සහ සහ අත්‍යවශ්‍ය කටයුතුවලට සීමා කොට තිබූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයේ කටයුතු පසුගිය 11 වැනිදා සිට නැවත ආරම්භ කෙරිණි.



ඒ අනුව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එදින පැවති රැස්වීමේදී අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් සකසන ලද රාජකාරි දින පැවරුම් ලැයිස්තුවකට අනුව අනෙකුත් කාර්ය මණ්ඩලය සේවයට වාර්තා කිරීමට තීරණය විය.

කෝවිඩ් 19 (COVID 19) වසංගත රෝගය පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ පැතිරීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය වන සියලු සෞඛ්‍යාරක්ෂණ ක්‍රියාමාර්ග මේ වන විට පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කොට ඇති අතර ඒ පිළිබඳ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම අරඹා ඇත. මේ අයුරින් ඉදිරි සති කිහිපය ඇතුළත පාර්ලිමේන්තුවේ කටයුතු සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම මෙහි අරමුණයි.


කෙසේ නමුත් මේ අවස්ථාවේදී අවසර ලත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හැර වෙනත් බාහිර පුද්ගලයන්ට පාර්ලිමේන්තු පරිශ්‍රයට ප්‍රවේශ වීම සීමා කර ඇත.