Friday, 29 March 2024

හෝමාගම රෝහල COVID-19 වෛරසය අසාදනය වී ඇති බවට සැක කටයුතු රෝගීන් සඳහා විවෘත වේ - විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

Posted On Monday, 23 March 2020 16:37

හෝමාගම රෝහල COVID – 19 වෛරසය අසාදනය වී ඇති බවට සැක කටයුතු රෝගීන් සඳහා අද දින සිට ක්‍රියාත්මක වන පරිදි විවෘත වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.



අද (23) කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව කීය.

ඒ වෙනුවෙන් හෝමාගම රෝහල සම්පුර්ණයෙන්ම ඒ සඳහා යෙදවෙන බවත්, හෝමාගම, අවිස්සාවේල්ල, කොස්ගම, හොරණ, අතුරුගිරිය, නවගමුව, කරවනැල්ල සහ වෑතර යන අවට පිහිටි රෝහල් වල සිට කෙලින්ම COVID – 19 යැයි සැක කටයුතු රෝගියෙක් යැයි තහවුරු කරගැනීමෙන් අනතුරුව එම රෝගීන් මෙම රෝහල වෙත ඍජු ව ඇතුළත් කිරීමේ හැකියාව පවතින බවත් කියා සිටී.

ඒ සඳහා රෝගීන් විසින් ජනතාව වෙත වෛරසය පැතිරීම වැළක්වීම සඳහා තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන්, හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී දැනුවත් කර කටයුතු කිරීම වඩා සුදුසු වන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

ඇතැම් අවස්ථා වල දී ඇතැම් පුද්ගලයින් හට තම නිවෙස් තුළ දී ස්වයං නිරෝධායනයට අපහසුතාවයන් ඇති වන අවස්ථා හඳුනාගෙන තිබෙන බවත්, නිවෙස් කුඩා වීම වැනි විවිධ හේතූන් මත  එකී අපහසුතාවයන් ඇති වී තිබෙන බවත්, අධ්‍යක්ෂකවරයා කියා සිටියේ එවැනි අවස්ථා වල දී හෝමාගම රෝහලේ එක් පසෙක නිරෝධායන මධ්‍යස්ථානයක් ද වෙනම සකස් කර ඇති බවත්, ඒ  ඒ ප්‍රදේශ වල නිරෝධායන කිරීමට අවශ්‍ය පුද්ගලයින් එහි දී නිරෝධායනය කළ හැකි බවත් ය.

එමෙන්ම, කළුතර ප්‍රදේශයේ රෝගීන් 11 දෙනකු හඳුනාගෙන ඇති බවත්, මෙම ප්‍රදේශයේ ඇඳිරි නිතිය ඉවත් කළ ද එම ප්‍රදේශයේ ජනතාව සමාජමය වශයෙන් දුරස්තභාවයකින් යුතුව කටයුතු  කළ යුතු බවත් මෙහි දී අවධාරණය කර සිටියේය.