Thursday, 25 April 2024

ශ්‍රී ලංකාවට පැමිණෙන දේශීය සහ විදේශීය ජාතිකයින් නිරෝධායනය කිරිමට නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන සහ විශේෂඥ වෛද්‍ය වරුන් සූදානමින්

Posted On Tuesday, 10 March 2020 06:56

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් හා එක්ව සහයෝගීත්වයෙන් රට තුළ මාරාන්තික ‘කොවිඩ් -19’ (කොරෝනා වෛරසය) පැතිරී යාම පාළනය කිරිමේ ජාතික වගකීම ත්‍රිවිධ හමුදාව යළිත් වරක් භාරගෙන තිබේ.


ඒ අනුව ‘කොවිඩ් -19’ කොරෝනා වෛරසයට මුහුණ දී ඇති විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් නිරෝධායනය කිරීම සඳහා මඩකලපුව පූනානී සහ කන්දකාඩු වැඩිදියුණු කරන ලද තාවකාලික නිරෝධානය මධ්‍යස්ථාන දෙකෙහී අවම වශයෙන් සති දෙකක කාළයක් පුරා 2000-2500 අතර පිරිසකට නේවාසිකව ප්‍රතිකාර කිරීමට කිරිමට අවශ්‍ය සියළු පහසුකම් මේවන විට සුදානම් කර ඇති අතර ඒ අනුව හදිසි අවස්ථාවක රෝගින් 300 කට පමණ ප්‍රතිකාර කිරිම සඳහා දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථානය සුදානම්ව ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් සමඟ සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති මෙම ස්ථානයන් හරහා ශ්‍රි ලංකා යුද්ධ හමුදාව සහ රාජ්‍ය ආයතන එක්ව මෙම ජාතික වගකීම සිදු කරනු ලබයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු මහතා ඇතුළු සියලු පාර්ශවකරුවන්, කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ (වෛද්‍ය) කර්නල් සවීන් ගමගේ මහතා, පොලොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් අද (9) දින උදෑසන එම ස්ථාන දෙකට පැමිණ නිරීක්‍ෂන කටයුතු හී නිරතවූ අතර එහිදි යුද්ධ හමුදාධිපතිතුමන්ට එම නිරෝධාන ක්‍රියාවලිය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ ඇති සූදානම පිළිබද අවබෝධයක් ලබාදීම සඳහා ඒ පිළිබඳව කෙටි හැදින්වීමක් ද සිදු කරන ලදී.

පසුගිය පැය 48 ක කාළය තුළ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සියයක් පමණ මඩකලපුව පුනානී සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයන්හී එම නිරෝධායන ක්‍රියාවලිය සිදුකිරිමට අවශ්‍ය සියලු පහසුකම් සඳහා සූදානම් කරනු ලැබීය. මෙම සති දෙකක දිගු නිරෝධායන ක්‍රියාවලිය සඳහා ‘කොවිඩ් 19’ කොරෝනා වෛරසයේ බලපෑමට ලක්වූ විදේශීය රටවල සිට පැමිණෙනු ලබන පුද්ගලයින් 2000-2500 ක පිරිසක් එකවර යොමු කිරිමේ හැකියාව ඇත.

රැඳවියන්ගේ දෛනික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය සියළුම මූලික පහසුකම්වලින් එම ගොඩනැගිලි සමන්විත අතර ඒවාට අවශ්‍ය වෛද්‍ය විද්‍යාත්මක නිරෝධායන අරමුණු සඳහා ගැලපෙන උෂ්ණත්වමානක, ඇතුළු වයිෆයි සන්නිවේදන පහසුකම්, අනෙකුත් සෞඛ්‍ය පහසුකම් ඇතුළත්ව තිබිණි. මෙහිදි සති දෙකක කාලයක් පුරා එම රැදවියන්ට නිරෝධානය කිරීම සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) සමඟ වෛද්‍ය කණ්ඩායම් 5-6 පමණ රඳවා තැබේ. ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත මෙම නිරෝධායන මධ්‍යස්ථානය මේවන විට ක්‍රියාත්මක කර ඇති අතර, ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවෙන් සෘජුවම පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් ආරම්භක මුල් අදියර වශයෙන් මෙම ස්ථානයන්හී රඳවා නිරෝධායනය කරනු ලැබේ.

වර්ෂ 1897 අංක 3 දරණ නිරෝධායන හා රෝග නිවාරණ ආඥාපනතේ රෙගුලාසි යටතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත පවරා ඇති බලතල අනුව පූනානි සහ කන්දකඩු මධ්‍යස්ථාන මෙම ජාතික අවශ්‍යතාව සඳහා තාවකාලිකව ලබා ගන්නා ලද අතර මෙම නිරෝධායන ක්‍රියාවලියේ නිසි පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරකිමින් වෛද්‍ය වෘත්තියේ ඉහළම ආචාර ධර්ම පිළිපදීමින් ශ්‍රී ලංකා හමුදාව, මෙරටට පැමිණෙන විදේශගතව සිටින ලංකිකයින් හා විදේශිකයන්ට නිරෝධායන ක්‍රියාවලිය සිදු කිරිමට නියමිතව ඇති අතර, වෛද්‍ය සහ අනෙකුත් රාජ්‍ය බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන ලෙසට සියළුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත. මෙරට තුළ මෙම මාරාන්තික වෛරසය පැතිරීම මුළුමනින්ම වැලැක්වීම සඳහා මෙම පොදු ක්‍රියාවලියේ රහස්‍යභාවය සුරකින ලෙසත් වැඩිදුරටත් එමගින් ඉල්ලා තිබේ.

යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා විසින් ලබාදුන් මාර්ගෝපදේශවලට අනුව කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිවාරණ වෛද්‍ය හා මානසික  සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් (වෛද්‍ය) සවින් ගමගේ මහතාගේ මඟපෙන්වීම යටතේ නැගෙනහිර ක්‍රියාත්මක කරනු ලබන මෙම මහජන සෞඛ්‍ය මෙහෙවර මීට පෙර ඉදිකළ  දියතලාව නීරෝධායන මධ්‍යස්ථානයට බෙහෙවින් සමාන වන අතර යුද හමුදාවේ සහ වෛද්‍ය නිලධාරීන්ගේ ඒකාබද්ධ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  කණ්ඩායමක් විසින් මෙහි කටයුතු මෙහෙයවනු ලැබේ.