Tuesday, 23 April 2024

ලොව සිදු වන මරණ අතුරින් දෙවන ස්ථානය පිළිකා නිසා සිදුවන මරණයි - ප්‍රතිමත්තිමය වශයෙන් රටක් බොහෝ දේ කළ යුතුයි - විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම

Posted On Tuesday, 11 February 2020 07:33

පිළිකාව වැළඳීමේ ඉඩකඩ අඩු කිරීමට සෞඛ්‍ය අංශයට පමණක් තනිව සිදු කළ යුතු දෙයක් නොවන අතර ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් රටක් බොහෝ දේ සිදු කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා අවධාරණය කර සිටියි.



“මම අපි ඔබ වෙනුවෙන්” මෙවර තේමා කරගනිමින් ජාතික පිළිකා මර්ධන වැඩසටහන සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එක් ව පිළිකාව ඇති වීම වළක්වන්නේ කෙසේ ද පිලිබඳ ව සාකච්ඡාවට භාජනය කරමින් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (10) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවැත්විණි.

ලොව සිදු වන මරණ අතුරින් දෙවන ස්ථානය පිළිකා වලින් සිදුවන මරණයි. එහෙත්, මෙම පිළිකා මරණ අතුරින් 1/3 ක් ම වැළක්විය හැකි වන බවත් එදිනෙදා ජිවන රටාවේ සිදු කරගත හැකි යහපත් චර්යාමය හේතුන් මඟින් පිළිකා ඇතිවීමේ අවදානම අවම කර ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය ජානකි විදානපතිරණ මහත්මිය මෙහි දී අදහස් දක්වමින් කියා සිටියාය.

ලංකාවේ දෛනිකව පිළිකා රෝගීන් 64 ක් වාර්තා වෙන අතර වසරකට ලංකාවේ පිළිකා රෝගීන් ලෙස 23,530 ක් හඳුනාගනු ලැබේ. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ තත්ත්වය පිලිබඳ ව සඳහන් කරමින් දිනකට 38 දෙනකු පිළිකා නිසා මිය යන බවත්, වසරකට ලංකාවේ පිළිකාව නිසා මියයන ගණන 14,013 ක් බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය උපදේශක විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා මෙහි දී කියා සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා දැඩිව අවධාරණය කර සිටින ලොව බරපතල සෞඛ්‍ය ගැටළුවක් ව පවතින පිළිකාව නිසා සෑම මිනිත්තුවකටම ලොව තුළ පිළිකා රෝගීන් 17 දෙනකු මියයයි. පෙනහළු පිළිකාව ලොව පිරිමින් අතර බහුලව තිබෙන පිළිකාව වන අතර පුරස්ථි ග්‍රන්ථි පිළිකාව සහ මහා අන්ත්‍රය ආශ්‍රිත පිළිකාව මෙන්ම අමාශය ආශ්‍රිත පිළිකාව ද සුලභ ව දක්නට ලැබෙන බව ද වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා කියා සිටියේය.

පෙනහළු පිළිකාව සඳහා දුම් පානය ප්‍රධානතම හේතුව වන අතර එය ලෝකයේම ගනු ලබන දත්ත හා සැසඳීමේ දී ලක්ෂයකට මරණ 32 ක් වාර්තා වෙන්නේ මෙම දුම්පානය හේතුවෙන් සිදුවන පෙනහළු පිළිකාව වන බව ද මෙහි දී සුරාජ් පෙරේරා මහතා පෙන්වා දෙනු ලැබිය. එමෙන්ම, පියයුරු පිළිකාව ලොව පුරා සිටින කාන්තාවන් සඳහා බහුලවම වැළඳීමේ ඉඩකඩ පවතින බව ද මෙහි දී කියා සිටියේය.

පිළිකාව වැළඳීමේ ඉඩකඩ අඩු කිරීමට සෞඛ්‍ය අංශයට පමණක් තනිව සිදු කළ යුතු දෙයක් නොවන අතර ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් රටක් ලෙස බොහෝ දේ සිදු කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා අවධාරණය කර සිටියේය.

එමෙන්ම, මත්පැන් පානය කිරීම පිළිකා ඇතිවීමට බලපාන ප්‍රධානතම හේතුවක් වන අතර එය වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බව ද ඒ මහතා මෙහි දී පෙන්වා දෙනු ලැබිය. වායු දුෂණය ද මෙරට පිළිකා ඇතිවීම කෙරෙහි තදින්ම බලපාන බවත්, මිනිසුන් විසින් පොලිතීන් පිළිස්සීම ද ඊට ප්‍රධානතම සාධකයක් වන බවත්, ඉන් ඇතිවන විෂ වායු වායුගෝලයට මුදාහැරිම නිසා පිළිකා වැළඳීමේ ඉඩකඩ ඉතා වැඩි බවත් මෙහි දී ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය නයනා ද අල්විස් මහත්මිය සෞඛ්‍යමත අහාර වේල සහ පිළිකා නිවාරණය පිළිබඳ ව සාකච්ඡා කිරීමේ දී වැඩිදුරටත් කියා සිටියේය. කෘතිම ව සැකසූ ආහාර නිරන්තර භාවිතය සහ අවිධිමත් ජිවන රටාව ද ව්‍යායාම හිඟ කම යන දී කරුණු ද මීට බලපානු ලබන බව ද ඒ මහත්මිය මෙහි දී අවධාරණය කර සිටියාය.