Friday, 29 March 2024

අදාළ නියමයන් උල්ලංඝණය කරමින් කටයුතු කරන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර

Posted On Friday, 20 December 2019 09:07

අදාළ නියමයන් උල්ලංඝණය කරමින් කටයුතු කරන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව සහල් පාලන මිල යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් රජයේ නිලපුවත් වෙබ් අඩවියට අඳහස් දක්වමින් පාරිභෝගික සේවා අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඩබ්.එම්.පී. විජේසිංහ මහතා පැවසීය.



සහල් වර්ග 02ක් සඳහා උපරිම සිල්ලර මිළ රුපියල් 98ක් ලෙස නියම කරමින් ගැසට් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් වී තිබේ. ඒ අනුව වාෂ්පයෙන් තම්බන ලද සුදු හෝ රතු සම්බා සහ සුදු හෝ රතු නාඩු කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිළ රුපියල් 98ක් ලෙස දක්වා තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ(19) රාත්‍රි අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණි.

කීරි සම්බා සහ සූදුරු සම්බා මෙන්ම මොට්ටයිකරුපන් හා ආට්ටකාරී යන සහල් වර්ග මෙයට ඇතුළත් නොවන බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

අදාළ නියමයන් උල්ලංඝණය කරමින් කටයුතු කරන වෙළඳුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඩබ්.එම්.පී. විජේසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් සඳහන් කළේය.

දිවයින පුරා පොලිස් ස්ථාන වල පොලිස් නිලධාරින් සමග එකව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් මෙම වැටලීම් සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය