Tuesday, 16 April 2024

තැපැල් ඡන්දාදායකයින්ට ඡන්දය භාවිතයට ඇති බාධා ඉවත් කිරීමට පියවර

Posted On Wednesday, 18 December 2019 08:39

තැපැල් ඡන්ද අයිතිවාසිකම් ලබාගැනීමේ අයිතිවාසිකම් පුළුල් කෙරෙන සුදුසු සංශෝදනයක්, ජනාධිපතිවරණය හා අනෙකුත් ඡන්ද සදහා ඇතුළත් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනයන් සකස් කරන ලෙස අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් ලබා දී තිබෙ.



පසුගිය ජනාධිපතිවරණයේදී ලද අත්දැකීම් අනුව විශාල අපේක්ෂකයින් සංඛ්‍යාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නිසා රජයට දරන්නවූ දැවැන්ත වැය බරත්, ඡන්දදායකයින්ට සිදුවූ අපහසුතාවයත් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට, මැතිවරණ කොමසාරිස්වරයාට, මැතිවරණය පවත්වාගෙන යාමට වූ අපහසුතාවයන් සැලකිල්ලට ගෙන විශේෂයෙන්ම ඒ අතුරින් අතිමහත් බහුතරයක් අපේක්ෂකයින්ට 0.1% වත් ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකිවූ බව සැලකිල්ලට ගනිමින් ජනාධිපති මැතිවරණ පනත කුමන ආකාරයකින් සංශෝධනය කොට ඒ සදහා මෙම තත්වය මගහරවාලීම සදහා ජනාධිපතිවරණ මැතිවරණ නීතිය කුමන ආකාරයකින් සංශෝදනය විය යුතුද යන්න පිළිබදව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හා අධිකරණ අමාත්‍යාංශයේ නියෝජිතයින් ගෙන් සැදුම්ලත් කමිටුව,  අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස්වන ලදි.

මීට අමතරව පළාත් පාලන ඡන්ද පැවැත්වීම සදහා දැනට ඇති නීතිමය බාධාවන් ඉවත්කරවා ගනිමින් ඒ සදහා සුදුසු සංශෝධනයන් පිළිබදව පුළුල් ලෙස සාකච්ඡා කොට ඉක්මන් විසදුමක් යෝජනා කරන ලෙස අමාත්‍යවරයා මෙම නියෝජිතයින්ට දන්වා සිටියේය. මීට අමතරව බොහෝ රාජ්‍ය ආයතනවල සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට තැපැල් ඡන්දය පාවිච්චි කිරීමේ අවසරය නොලැබෙන හෙයින් තැපැල් ඡන්දදායකයින්ගේ ප්‍රමාණය වඩාත් පුළුල් කොට ඇත්ත වශයෙන්ම මැතිවරණ සමයේදී තම ලියාපදිංචි කොට්ඨාශය සදහා තැපැල් ඡන්ද අයිතිවාසිකම් ලබාගැනීමේ අයිතිවාසිකම් පුළුල් කෙරෙන සුදුසු සංශෝදනයක් ජනාධිපතිවරණය හා අනෙකුත් ඡන්ද සදහා ඇතුළත් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනයන් සකස් කරන ලෙසත් ඉන් අනතුරුව එකී කාර්යයන් සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව අවශ්‍ය නීති සම්පාදනය සදහා පාර්ලිමේන්තුව වෙත නොපමාව ඉදිරිපත් කළ යුතු බවත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.