Saturday, 20 April 2024

අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කිරීම කෙරෙහි ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය

Posted On Tuesday, 10 December 2019 05:39

මගී ජනතාවට කිසිදු පහසුකමක් ලබා නොදෙමින් සහ මගී ජනතාවගේ මුදල් ගසාකමින් වසර ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක කර තිබෙන අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කිරීම කෙරෙහි ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.



අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව සම්බන්ධව ජාතික ගමනාගමන කොමිෂම බස් මගීන් 10000 ක් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකදී එම සියළුම මගීන් 100%ක්ම ප්‍රකාශ කර ඇත්තේ අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කළ යුතු බවත් එම සේවාවෙන් මගින්ට කිසිදු පහසුවක් නොලැබෙන අතර සාමාන්‍ය බස්රථවලට වඩා වැඩියෙන් මුදලක් තමන්ට ගෙවීමට සිදුවන බවයි.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අර්ධ සුඛෝපභෝගී (SEMY LUXARY) බස්රථ සේවාව අහෝසි කිරීමට තමන් කටයුතු කරන බව කී අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා බස්රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කරමින් මහජනතාවට හිංසාවන පරිදි ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් කටයුතු කිරීම පාලනය සඳහාද වැඩපිළිවෙළක් සකස් කිරීමට ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දෙන ලදී. ඒ අනුව සුභාවිත ගීත අඩංගු සී.ඩී. තැටි සෑම පුද්ගලික සහ ලංගම බස්රථයකටම ඉදිරි කාලයේ ලබාදීමටද කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරන ලදී.