Thursday, 25 April 2024

ශ්‍රීපාද බැතිමතුන් වෙනුවෙන් ක්‍රමවත් සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවාවක්

Posted On Monday, 09 December 2019 07:56

ශ්‍රිපාද වන්දනා සමය දෙසැම්බර් 11 වන උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වන බැවින් වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන්  ක්‍රමවත් සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවාවක් සැපයීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක (පරිපාලන) ජයන්ත කුමාර මහතා පැවසීය.



මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ යම් අවදානමක් පවතින බැවින් ප්‍රදේශය ආශ්‍රිතව මදුරුවන් පලවා හැරීමේ  දූමකරණය හා පවිත්‍රතා කටයුතු අද දිනයේ (09) සිදු කෙරෙන බවත් ශ්‍රිපාද වන්දනා සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සියලුම දන්සැල් හි සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ද  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු වන බව ඒ මහතා සදහන් කරන ලදී.

මෙහිදී සියලුම සනීපාරක්ෂක කටයුතු රත්නපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන අතර කැළිකසල නිසි ලෙස බැහැර කරමින් අවට පරිසරය ද සුරක්ෂිත කිරීමට කටයුතු කරන ලෙස සිරිපා වන්දනාවට පැමිණෙන සියලු බැතිමතුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ද ජයන්ත  කුමාර මහතා වැඩිදුරටත් සදහන් කරන ලදී.