Friday, 29 March 2024

ඩෙංගු මර්ධන වැඩසටහන අදින් අවසන්-අවදානම් සහිත ස්ථාන පවත්වා ගෙන යන පුද්ගලයන් 700 ක්

Posted On Wednesday, 06 November 2019 09:54

සක්‍රීයව පවතින අන්තර් මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ඩෙංගු රෝගය ඉහළ යාමේ අවදානමක් පැවතීම හේතුවෙන්, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්ධන ඒකකය මගින් සංවිධානය කරන ලද දීප ව්‍යාප්ත ඩෙංගු මදුරු හා කීට මර්ධන වැඩසටහන අදින් (06) අවසන් කෙරේ.



පසුගිය ඔක්තෝබර් 31 වන දා දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ වූ මෙම විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන, පොලීසිය සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයින්ගේ සහාය මත දින 06 ක් පුරාවට ක්‍රියාත්මක කෙරිණි.

මෙම විශේෂ මර්ධන වැඩසටහනට අදාළව පසුගිය දින 04 ඇතුළත නිවාස සහ ආයතන 50,000 කට ආසන්න ප්‍රමාණයක් පරික්ෂාවට ලක්කර ඇති අතර 30 කට ආසන්නයෙන් මදුරුවන් බෝවන හා බෝ විය හැකි ස්ථාන පිළිබදව හදුනා ගැනීම් සිදු කර ඇත. සමස්තයක් වශයෙන් මේ වන විට 7% කට ආසන්න ප්‍රමාණයක් මදුරුවන් සහ කීටයන් බෝවන ස්ථාන වශයෙන් හදුනා ගෙන ඇත. එමෙන්ම මදුරුවන් බෝ වන හා අවදානම් සහිත ස්ථාන පවත්වා ගෙන යන පුද්ගලයන් 700 කට එරෙහිව නඩු පවරා ඇත.

පවතින තත්ත්වය පරික්ෂා කර බලා තවදුරටත් මෙම මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මතු වුවහොත්, ඉදිරියේ දී ජාතික මට්ටමින් ඩෙංගු මර්ධන හා කීට මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව, රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසීමක දී ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර මහතා ප්‍රකාශ කළේය.


දෛනික ජීවිතයේ දී තම නිවාස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින්, මදුරුවන් බෝ විය හැකි ස්ථාන සොයා බලා එම ස්ථාන ඉවත් කිරිමට කටයුතු කරන ලෙසත්, උණ තත්ත්වයක් පවතින්නේ නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වන ලෙසත්, එහිදී අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.