Wednesday, 24 April 2024

තැපැල් ඡන්දයේ දෙවැනි දිනය අදයි

Posted On Friday, 01 November 2019 04:52

2019 ජනාධිපතිවරණයේ  තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි දිනය අද(නොවැම්බර් 01) අදාළ සේවා ස්ථානවල  දී සිදු කෙරේ. ඊයේ (31) තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ විය.



තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථානවලට ආරක්‍ෂාව සැපයීමට හා අධීක්‍ෂණය කිරීම සඳහා නිලධාරීන් යෙදවීමට සිදුව ඇති හෙයින්, සියලූම පොලිස් ස්ථානවල හා සියලූම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම නොවැම්බර් 04 හා 05 දිනවල සිදුකිරීමට නියමිතය.

අදාල දිනයන් හි දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 07 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරිම හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

තැපැල් ඡන්දය භාවිතා කෙරෙන අදාළ සේව ස්ථාවල සියලු පහසුකම් සළසන්නැයි තේරිම්භාර නිලධාරින් මඟින් දිවයිනේ ම සියලු සහතික කිරීමේ නිලධාරීන් වෙත දන්වා යවා ඇතැයි ද මතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඡන්දය භාවිතා කිරීමට වලංගු හැඳුනුම්පතක් අත්‍යාවශ්‍ය වෙයි. ඒ අනුව,ජාතික හැඳුනුම්පත,වලංගු රියදුරු හැඳුනුම්පත,වලංගු ගමන් බලපත්‍රය,විශ්‍රාම වැටුප් හැදුනුම්පත,වැඩිහිටි හැදුනුම්පත,භික්ෂු භික්ෂුණී හැදුනුම්පත,ග්‍රාමනිලධරී තාවකාලිකව නිකුත් කළ හැදුනුම්පත,වතු අධිකාරි විසින් නිකුත් කරන සහතික පත්‍රය ඉදිරිපත් කළ යුතු වෙයි. වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් නොකරන කිසිඳු අයෙකුට තැපෑලෙන් ඡන්දය දීමේ අවස්ථාව හිමි නොවේ

ඊයේ දින තැපැල් ඡන්දය ඉතාම සාමකාමී ලෙස පැවැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි. තැපැල් ඡන්ද පැවැතෙන සියලු සේවා ස්ථාන වෙත පොලිස් ආරක්ෂාව ද යොදවා තිබේ.

 

තැපැල් ඡන්ද දායකයින් විසින් තම සේවා ස්ථාන තුළ දී ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ඡායාරූප ගැනීමෙන්,වීඩියෝ කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ. කෙසේ වෙතත් ඇතැම් නිලධාරීන් මෙය උල්ලංඝණය කර ඡායාරූප ගෙන මුහුණු පොතේ දමා අති බවට තොරතුරු ලැබී ඇති බවත් එය සොයා ගත හැකි බවත් එසේ සිදු කරන නිලධරීන්ට එරෙහිව වසර තුනක සිරදඬුවමක් ලබා දිය හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඊයේ (31) ඡන්ද මධ්‍යස්ථන 1700ක් තුළ තැපැල් ඡන්දය පවැත්විණි.